සෙරීනා විලියම්ස්: වැඩිම ධනයක් ඉපැයූ ක්‍රීඩිකාව

Serena Williams congratulates Naomi Osaka (right) after she beat her in the US Open final
ඡායාරූප ශීර්ෂ වැකිය, සෙරීනා විලියම්ස් සහ නයෝමි ඔසාකා
Published

වර්තමානයේ ලොව සුපිරිතම ටෙනිස් ක්‍රීඩිකාව ලෙස සැලකෙන සෙරීනා විලියම්ස් පසුගිය වසරේ වැඩිම ධනයක් ඉපැයූ ක්‍රීඩිකාව ලෙස නම් කර තිබේ.

තිස්හත් හැවිරිදි සෙරීනා උපයා ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 29.2 කි. ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 25ක් ම උපයා ඇත්තේ වෙළෙඳ ප්‍රචාරණ කටයුතු මගිනි.

ඇය මේ වනවිට ජයගෙන ඇති 'ග්‍රෑන්ඩ් ස්ලෑම්' මුල්පෙළේ තරඟ ජයග්‍රහණ සංඛ්‍යාව විසිතුනකි.

ෆෝබ්ස් සඟරාව විසින් එළි දක්වා ඇති ලෝකයේ වැඩිම මුදලක් උපයන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 දෙනාගේ ලැයිස්තුවේ සිටින එකම කාන්තාව වන්නේද සෙරීනා ය. ඇය එම ලැයිස්තුවේ 63වන ස්ථානයේ පසු වේ.

2018 වසරේදී වැඩිම මුදල් ඉපැයූ ක්‍රීඩිකාවන් පිළිබඳ තොරතුරු ද ෆොර්බ්ස් සඟරාවේ පළ කොට තිබේ.

එහි ඉදිරියෙන්ම සිටින්නේ ටෙනිස් ක්‍රීඩිකාවන් එකොළොස් දෙනෙකි.

ඇමෙරිකානු විවෘත ටෙනිස් තරඟාවලියේ දී සෙරීනා පරාජය කර මෙවර ශූරතාව ජයගත් ජපානයේ නයෝමි ඔසාකා පසුගිය වසරේ වැඩිම ධනයක් ඉපැයූ ක්‍රීඩිකාවන් අතර දෙවැනි ස්ථානයේ පසුවේ.

ඇමෙරිකානු විවෘත ටෙනිස් තරඟාවලිය ජයග්‍රහණය කිරීමෙන් පසුව ඔසාකා වෙළෙඳ සමාගම් අතර අවධානයට ලක්විණි.

ඉන්පසු 21-හැවිරිදි ඔසාකා, කාන්තා ටෙනිස් වර්ගීකරණය අනුව ලෝකයේ අංක එක බවට පත්වීමට ද සමත් වූවාය.

ඇය 'නයිකි' සමාගම සමග ද වෙළෙඳ ප්‍රචාරණ ගිවිසුමකට එළඹුණාය.

මාස 12ක් තුළ ඇය උපයා ඇති මුදල ඩොලර් මිලියන 16කි.

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දීය බැඩ්මින්ටන් ක්‍රීඩිකා පී වී සිධු

ජර්මනියේ ඇන්ජලි කර්බර් එම ලැයිස්තුවේ තුන්වන ස්ථානයේ පසුවේ. මෙවර 'විම්බල්ඩන්' කාන්තා ශූරතාව දිනු සිමොනා හාලෙප් පසුගිය වසරේ වැඩිම ධනයක් ඉපැයූ ක්‍රීඩිකා ලැයිස්තුවේ සිව් වන ස්ථානයේ පසුවන්නීය.

එම ලැයිස්තුවේ මුල් ස්ථාන පහළොවෙන් දොළහක් ම ටෙනිස් ක්‍රීඩිකාවන් විසින් හිමිකර ගනු ලැබ ඇත.

ඔවුන් අතර සිටින අනෙක් ක්‍රීඩිකාවන් වන්නේ ඇමෙරිකානු පාපන්දු ක්‍රීඩිකා ඇලෙක්ස් මෝර්ගන්, ඉන්දීය බැඩ්මින්ටන් ක්‍රීඩිකා පී.වී. සිධු සහ තායිලන්ත ගොල්ෆ් ක්‍රීඩිකා එරියා යුටානුගන් වෙති.