ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.

ප්‍රධාන වෙබ් අඩවියට ගෙන යන්න

අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න

ඊශ්‍රායලයෙන් ටෙහෙරානයට ප්‍රහාර එල්ල වන අතරේ කටාර් සහ සෞදි බලශක්ති මධ්‍යස්ථානවලට ඉරානයෙන් ප්‍රහාර

බේරූට් සහ දකුණු ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 31 දෙනෙකු මිය ගොස් 149 දෙනෙකු තුවාල ලබා ඇති බව ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. කලාපය පුරා ඉරාන ප්‍රහාර අඛණ්ඩව පවතින අතර, බහරේන් සහ ඩුබායි වලින් පිපිරීම් වාර්තා වී ඇති අතර, කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය අසලින් දුමාරයක් වාර්තා වී ඇත.

සාරාංශය

  • නවතම තොරතුරු සඳහා නව සජීව පිටුව වෙත පිවිසෙන්න...
  • ඉරානය සමග ඇමෙරිකා-ඊශ්‍රායල ගැටුම තෙවන දිනටත්
  • ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය වෙඩි හුවමාරුවක්
  • ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් 31 දෙනෙකු මරුට - ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යාංශය
  • ලෙබනනයේ ගම්මාන 50කට වැඩි ගණනක පදිංචිකරුවන්ට ඉවත් වන ලෙස IDF දැනුම් දෙයි
  • ඇමෙරිකානු හමුදා සාමාජිකයින් තිදෙනෙක් මරුට: පස් දෙනෙකු "බරපතළ තුවාල"
  • ඇමෙරිකානු හමුදා මෙහෙයුම සති ගණනක් පැවතිය හැකි බව ට්‍රම්ප් පවසන අතර ඉරානයට එරෙහි ප්‍රහාර දැඩි කිරීමට ඊශ්‍රායලය ප්‍රතිඥා දෙයි
  • ගෝලීය තෙල් මිල ඉහළට
  • ගල්ෆ් ගුවන් අවකාශය වසා දැමීමත් සමග සංචාරකයින්ට බාධා

සජීවී වාර්තාකරණය

බීබීසී සිංහල

  1. මැද පෙරදිග මෙහෙයුම් පිළිබඳව ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් නිවේදනයක්, ශ්‍රී ලංකන් ගුවන් ගමන් 10ක් අදත් අවලංගුයි

    මැදපෙරදිග ඇතැම් ප්‍රදේශවල ගුවන් අවකාශය අඛණ්ඩව වසා දැමීම හේතුවෙන්, අද (මාර්තු 02) ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ පහත සඳහන් ශ්‍රීලංකන් ගුවන් ගමන් අවලංගු කර ඇත:

    • UL225 කොළඹ – ඩුබායි
    • UL226 ඩුබායි – කොළඹ
    • UL217 කොළඹ – දොහා
    • UL218 දොහා – කොළඹ
    • UL253 කොළඹ – දමාම්
    • UL254 දමාම් – කොළඹ
    • UL265 කොළඹ – රියාද්
    • UL266 රියාද් – කොළඹ
    • UL229 කොළඹ – කුවේට්
    • UL230 කුවේට් – කොළඹ
  2. ඉරාන ප්‍රහාරයකින් පසු කුවේට් නගරය පුරා දුමාරයක් නැඟී එන අයුරු

    කුවේට් නගරයට ඉහළින් දුම් වළාවක් නැඟී එන ආකාරය නව ඡායාරූපවලින් දැක්වෙනවා.

    එක්සත් ජනපද තානාපති කාර්යාලය අසල ප්‍රහාරයක් විය හැකි බවට වාර්තා වීමෙන් පසු මෙම දුමාරය දක්නට ලැබිණි. කුවේටයේ සිටින එක්සත් ජනපද පුරවැසියන්ට තානාපති කාර්යාලයට නොපැමිණෙන ලෙසත්, නිවසවලට වී සිටින ලෙසත් තානාපති කාර්යාලය අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

    ඉරානය මැද පෙරදිග පුරා ප්‍රහාර දියත් කිරීමත් සමඟ ඊයේ කුවේටයේ එක් අයෙකු මිය ගිය බව වාර්තා විය. ඇමෙරිකානු හමුදා කඳවුරක් සහිත ඇමරිකානු මිත්‍ර පාක්ෂිකයෙකු වන කුවේට් ද තමන් දෙසට එල්ල කරන ලද මිසයිල ප්‍රහාර රැසක් වළක්වා ගත් බව පැවසීය.

  3. ඉරාකයේ එර්බිල් ගුවන්තොටුපළට ඉහළින් සන්නද්ධ ඩ්‍රෝන යානා තුනක් වෙඩි තබා බිම හෙළා ඇති බවට වාර්තා

    උතුරු ඉරාකයේ කුර්දිස්තාන් කලාපයේ එර්බිල් ගුවන් තොටුපළට ඉහළින් පියාසර කළ සන්නද්ධ ඩ්‍රෝන යානා තුනක් වෙඩි තබා බිම හෙළා ඇති බව ආරක්ෂක මූලාශ්‍ර උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළා.

    ඇමෙරිකානු හමුදා මෙම ගුවන් තොටුපළේ ස්ථානගත කර තිබෙනවා.

    කඳවුර අසලින් විශාල පිපිරීම් හඬක් ඇසුණු බවට AFP ප්‍රවෘත්ති ඒජන්සියේ මාධ්‍යවේදියෙකු කළ වාර්තාවලින් පසුව මෙම සිදුවීම වාර්තා වී තිබුණි.

    ඇමෙරිකා එක්සත් ජනපදය සති අන්තයේ ගුවන් තොටුපළ ආශ්‍රිතව පියාසර කළ යානා ඩ්‍රෝන යානා කිහිපයක් ප්‍රතිග්‍රහණය කළා.

  4. කුවේටයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය අවට ප්‍රදේශයෙන් දුමාරයක්

    කුවේට්හි එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් හෝ ඒ අසලින් දුමාරයක් නැඟී එන අයුරු දැක ගන්නට ඇතැයි, AFP සහ රොයිටර් පුවත් ඒජන්සි වාර්තා කරනවා.

    ගිනි නිවන භටයින් සහ ගිලන්රථ ප්‍රදේශයේ දක්නට ලැබෙන බව රොයිටර් පුවත් සේවය සඳහන් කළා.

  5. ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් 31 දෙනෙකු මරුට - ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යාංශය

    ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, බේරූට් සහ දකුණු ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් 31 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

    තුවාල ලබා ඇති සංඛ්‍යාව 149 ක්.

    නවතම තොරතුරු ගෙන එන තෙක් අප සමඟ රැඳී සිටින්න.

  6. දෝහා, බහරේන් සහ ඩුබායිවලින් පිපිරීම් වාර්තා වෙයි

    කටාර්හි දෝහා අගනුවර පිපිරීම් ඇසුණු බව ඇසින් දුටු සාක්ෂිකරුවන් උපුටා දක්වමින් රොයිටර්ස් සහ AFP වාර්තා කරනවා.

    එමෙන් ම, බහරේන් සහ ඩුබායිවලින් පිපිරීම් වාර්තා වුණු බව ඔවුන් පැවසුවා.

    ඒ මාධ්‍යවේදීන්ගේ වාර්තා උපුටා දක්වමින්.

  7. තෙල් මිල ඉහළට, පීටර් හොස්කින්ස් - ව්‍යාපාරික වාර්තාකරු, සිංගප්පූරුව

    එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් දිගින් දිගට ම එල්ල කරන ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඉරානය මැද පෙරදිග පුරා ප්‍රහාර දියත් කරමින් සිටිනවා.

    හෝමූස් සමුද්‍ර සන්ධිය අසල අවම වශයෙන් නැව් තුනකට ප්‍රහාර එල්ල වී ඇති අතර එය ගෝලීය තෙල් මිල ඉහළ යාමට හේතු වී තිබෙනවා.

    එක්සත් රාජධානියේ සමුද්‍ර නිරීක්ෂණ මධ්‍යස්ථානයට අනුව, නැව් දෙකකට ප්‍රහාර එල්ල වී තිබුණු අතර, තවත් නෞකාවක් අසල හඳුනා නොගත් යමක් ඊට ඉතා ආසන්නව පුපුරා ගොස් තිබුණා.

    ලෝකයේ තෙල් හා ගෑස්වලින් 20%ක් පමණ ප්‍රවාහනය කෙරෙන මෙම සමුද්‍ර සන්ධිය හරහා ගමන් නොකරන ලෙස ඉරානය නෞකාවලට අනතුරු අඟවා තිබෙනවා.

  8. තවත් තොරතුරු...

    • ඉරානයේ බාලිකා පාසලකට එල්ල වූ ප්‍රහාරයකින් අවම වශයෙන් 153 දෙනෙකු මිය ගොස් ඇති බව එරට නිලධාරීන් වාර්තා කළා.
    • ඊශ්‍රායලයේ මාගන් ඩේවිඩ් ඇඩොම් ගිලන්රථ සේවාවට අනුව අනුව, බෙයිට් ෂෙමෙෂ් නගරයට එල්ල වූ ඉරාන මිසයිල හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් නව දෙනෙකු මිය ගොස් තිබෙනවා.
    • ගැටුම් ආරම්භ වූ දා සිට ඊශ්‍රායලයට එල්ල වූ මාරාන්තික ම ප්‍රහාරය මෙය බව සැලකෙනවා.
    • ඉරානය එල්ල කළ ප්‍රහාරවලින් සෙනසුරාදා පෙබ: 28 සිට පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇතැයි එක්සත් අරාබි එමීර් රාජ්‍යය වාර්තා කර ඇති අතර, බහරේනය, ඉරාකයේ එර්බිල් නගරය සහ ජෝර්දානය යන රටවල ද පිපිරීම් වාර්තා වුණා.
    • අද උදෑසන වන විට ගෝලීය තෙල් මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.
    • බ්‍රිතාන්‍ය අගමැති ශ්‍රීමත් කියර් ස්ටාර්මර් පවසා ඇත්තේ එක්සත් ජනපදයට බ්‍රිතාන්‍ය හමුදා කඳවුරුවල සිට ආරක්ෂක ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ දෙන නමුත් "දැනට ප්‍රහාරාත්මක ක්‍රියාමාර්ගවලට එක් නොවන" බවයි.
    • සයිප්‍රසයේ කඳවුරකට එල්ල වූ ඩ්‍රෝන බවට සැක කෙරෙන ප්‍රහාරයකට ප්‍රතිචාර දක්වන බව රාජකීය ගුවන් හමුදාව තහවුරු කළා.
  9. තෙවන දිනය... අප මෙතෙක් දන්නා දේ...

    • ඉරානය සමග ඇමෙරිකා-ඊශ්‍රායල ගැටුම තෙවන දිනට පිවිස ඇති අතර, සියලු පාර්ශ්වයන් මහා පරිමාණ ගුවන් ප්‍රහාර එල්ල කර ගනිමින් සිටිනවා.
    • "අපේ සියලු අරමුණු සාක්ෂාත් කර ගන්නා තුරු" ඉරානයට එරෙහි "සටන් මෙහෙයුම්" අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා බව ඩොනල්ඩ් ට්‍රම්ප් වීඩියෝ පණිවිඩයකින් නිකුත් කරමින් පැවසුවා.
    • ඉරාන ප්‍රහාරයකින් ඇමෙරිකානු හමුදා සාමාජිකයින් තිදෙනෙකු මිය ගොස් පස් දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බවත් එම ගණන තවත් "ඉහළ" යා හැකි බවත් එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා සඳහන් කළා.
    • අද අලුයම ඊශ්‍රායලය ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක යැයි කියන ස්ථාන වෙත ප්‍රහාර එල්ල කළේ, එම සටන්කාමී කණ්ඩායම ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කිරීමෙන් පසුවයි.
    • ප්‍රහාර එල්ල කරන බවට අනතුරු අඟවමින් ලෙබනනයේ නගර සහ ගම්මාන 50කට වැඩි ගණනක පදිංචිකරුවන්ට ඉවත් වන ලෙස ඊශ්‍රායලය දැනුම් දී තිබෙනවා.
    • "ඔබේ ආරක්ෂාව සඳහා, ඔබ වහා ම ඔබේ නිවාසවලින් ඉවත් වී ගම්මානවලින් අවම වශයෙන් මීටර් 1,000 ක් දුරින් විවෘත ප්‍රදේශවලට යා යුතු," යැයි එම අනතුරු ඇඟවීමේ සඳහන් වුණා.
  10. සුබ උදෑසනක්!

    ඉරානය සමග ඊශ්‍රායලය සහ ඇමෙරිකා එක්සත් ජනපදය ආරම්භ කළ ගැටුමේ තෙවන දිනය අදයි.

    එහි නවතම තොරතුරු අප මෙම සජීව පිටුව ඔස්සේ ඔබ වෙත ගෙන එනවා. රැඳී සිටින්න අප සමගින්...

  11. දෙවැනි දිනයේ සාරාංශය

    ඊශ්‍රායල් - ඇමෙරිකානු ඒකාබද්ධ ප්‍රහාර හමුවේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය වීමෙන් පසුව ඉරානය අන්තර්කාලීන නායකත්ව මණ්ඩලයක් නම් කර තිබෙනවා.

    ඉරාන විදේශ අමාත්‍යවරයා පවසන්නේ "දිනකින් හෝ දෙකකින්" නව නායකයෙකු තෝරා ගත හැකි බවයි. ඉරානයේ මෙහෙයුම් නියමිත පරිදි සිදුවන බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන අතර, එක්සත් ජනපදය ඉරාන නාවික හමුදාවේ නැව් නවයක් "විනාශ කර ගිල්වා දමා" ඇති බව ඔහු පවසනවා.

    ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ටෙහෙරානයට තවත් ප්‍රහාර රැල්ලක් දියත් කර ඇති බව පවසන අතර, වාර්තා වන ප්‍රහාරයක් පාසලකට එල්ල වීමෙන් පසු ළමුන් ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 153 දෙනෙකු මිය ගොස් ඇති බව ඉරාන බලධාරීන් පවසනවා.

    ඉරානය පවතින ආතතීන් මැද පෙරදිග කලාපය වෙත දිගින් දිගට ම සිය ප්‍රතිප්‍රහාර එල්ල කරමින් සිටිනවා. මේ හේතුවෙන් මැදපෙරදිග පුරා සිටින ජනතාව ද දැඩි කනස්සල්ලට පත්ව සිටිනවා.

    ඊයේ දිනයේ ඉරානය විසින් කලාපය වෙත සිය ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ආරම්භ වූ අවස්ථාවේ සිට පසුගිය පැය 24 තුළ මැදපෙරදිග කාලාපයේ රටවල වාර්තාවූ සිදුවීම් පිළිබඳ සාරාංශයක් පහත දැක්වෙනවා.

    ඊශ්‍රායලය: ඊශ්‍රායලයේ බෙයිට් ෂෙමේෂ් වෙත මිසයිල ප්‍රහාරයක් එල්ල වීමෙන් අවම වශයෙන් පුද්ගලයින් නව දෙනෙකු මිය ගොස් තිබෙනවා.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යය: ඊයේ සිට ඉරාන ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති බව එක්සත් අරාබි එමීර් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය (MoD) පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය පවසන්නේ මේ දක්වා මිසයිල 167 ක් සහ ඉරාන ඩ්‍රෝන යානා 541 ක් සමඟ කටයුතු කර ඇති බවයි. එම ඩ්‍රෝන යානාවලින් 35 ක් රටේ භූමිය තුළට වැටී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මරණ තුනක් සහ සුළු තුවාල 58 ක් මෙන්ම "ගොඩනැගිලිවලට හානි" ද සිදුවී ඇති බවයි. අමාත්‍යාංශය පවසන්නේ තමන් දැඩි අවධානයෙන් සිටින බවත් ඕනෑම තර්ජනයකට ප්‍රතිචාර දැක්වීමට සූදානම් බවත්ය.

    ඩුබායි සහ අබුඩාබි ගුවන් තොටුපළවලදී එක් අයෙකු මිය ගොස් 11 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. බලධාරීන් "සිදුවීමක්" ලෙස හඳුන්වන මෙම සිදුවීමෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළට ද හානි සිදුවුණා.

    ඩ්‍රෝන යානයක සුන්බුන් හේතුවෙන් තරු පහේ බර්ජ් අල් අරාබි හෝටලයේ පිටත මුහුණතෙහි "සුළු ගින්නක්" ඇති වූ බව බලධාරීන් පවසා තිබෙනවා.

    කුවේට්: කුවේට් ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ ඉරානය තම රටට ප්‍රහාර එල්ල කළ දා සිට තම ගුවන් හමුදාව බැලස්ටික් මිසයිල 97 ක් සහ ඩ්‍රෝන යානා 283 ක් විනාශ කර ඇති බවයි. කුවේට් නිල ප්‍රවෘත්ති ඒජන්සියට අනුව, "අඛණ්ඩ කලාපීය වර්ධනයන් මධ්‍යයේ" එක් අයෙකු මිය ගොස් 32 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

    අලි අල්-සලෙම් ගුවන් කඳවුර බැලස්ටික් මිසයිල ගණනාවකින් ඉලක්ක කර ඇති නමුත් කුවේට් ගුවන් ආරක්ෂක හමුදා ඒවා සාර්ථකව වළක්වා තිබේ.

    ඕමානය: ඕමාන වෙරළට ඔබ්බෙන් තෙල් නැවක් පහර දී තිබේ. මීට අමතරව හෝමූස් සමුද්‍ර සන්ධිය අසලදී අවම වශයෙන් නැව් දෙකක් නාඳුනන මිසයිල ප්‍රහාරවලට ලක්ව තිබේ. ඕමානයේ රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ඩක්ම් වාණිජ වරාය ඩ්‍රෝන යානා දෙකකින් ඉලක්ක කර ඇති බවත්, ඉන් එක් සේවකයෙකුට තුවාල සිදු වූ බවත්ය. වසර ගණනාවක් තිස්සේ එක්සත් ජනපද-ඉරාන සාකච්ඡාවල ප්‍රධාන මැදිහත්කරුවෙකු ලෙස ඕමානය කටයුතු කර ඇති අතර මේ දක්වා ඉරාන ප්‍රහාරවලින් බේරී ඇත.

    බහරේන්: බහරේනයේ ජාතික සන්නිවේදන මධ්‍යස්ථානය පැවසුවේ එක්සත් ජනපද නාවික හමුදාවේ පස්වන බලඇණියේ සේවා මධ්‍යස්ථානය "මිසයිල ප්‍රහාරයකට" ලක්ව ඇති බවයි. එය ගල්ෆ්, රතු මුහුද, අරාබි මුහුද සහ ඉන්දියානු සාගරයේ ඇතැම් ප්‍රදේශවල මෙහෙයුම් සඳහා වගකිව යුතුය.

    ජෝර්දානය: ජෝර්දානයේ සුන්බුන් පතිතවීම් 100 කට වඩා වාර්තා වී තිබෙනවා. ජෝර්දානයේ මහජන ආරක්ෂක අධ්‍යක්ෂ මණ්ඩලය පවසන්නේ සෙනසුරාදා උදෑසන සිට රට පුරා මිසයිල සහ සුන්බුන් කැබලි වැටීම් 101 ක් වාර්තා වී ඇති බවත් ඉන් කිසිවෙකුටත් අනතුරක් වූ බවට වාර්තා වී නොමැති බවයි.

    නැවත හෙට උදෑසන ඔබට මැද පෙරදිග කලාපය උණුසුම් කොට ඇති මෙම ගැටුමේ නවතම තොරතුරු ගෙන ඒමට අපි සුදානම්.ස්තූතියි !

  12. ඇමෙරිකා එක්සත් ජනපදය ඉරාන නාවික හමුදාවේ නැව් නවයක් 'විනාශ කර ගිල්වා දැමූ' බව ට්‍රම්ප් කියයි

    ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social හි පළ කර ඇති සටහනකට අනුව ඇමෙරිකා එක්සත් ජනපදය ඉරාන නාවික හමුදාවට අයත් නැව් නවයක් "විනාශ කර ගිල්වා" ඇති බව කියා සිටිනවා.

    ජනාධිපති ට්‍රම්ප් ගේ සම්පූර්ණ ප්‍රකාශය

    "මට දැන් දැනගන්නට ලැබුණා අපි ඉරාන නාවික හමුදාවේ නැව් 9 ක් විනාශ කර ගිල්වා දැමුවා කියලා. ඒවායින් සමහරක් සාපේක්ෂව විශාල හා වැදගත් ඒවා කියලා. අපි ඉතිරි නෞකා පසුපස හඹා යනවා. ඒවා ඉක්මනින් මුහුදු බත් කරනවා. ඊට අමතරව එල්ල කළ තවත් ප්‍රහාරයකින්, අපි බොහෝ දුරට ඔවුන්ගේ නාවික මූලස්ථානය විනාශ කර දැමුවා. ඊට අමතරව, ඔවුන්ගේ නාවික හමුදාව ඉතා හොඳින් ඉන්නවා! ජනාධිපති ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප්"

  13. ඉරාන මෙහෙයුම 'ඉතා හොඳින් සිදුවන' බවත් ඉරාන නායකයින් 48 දෙනෙකු මිය ගිය බවත් ට්‍රම්ප් කියයි

    පසුගිය පැය කිහිපය තුළ, ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයේ සිදුවෙමින් පවතින හමුදා මෙහෙයුම පිළිබඳ නවතම තොරතුරු ලබා දී ඇති අතර, ඔහු ඇමෙරිකා එක්සත් ජනපද මාධ්‍ය ආයතන ගණනාවක් සමග දුරකථනයෙන් කතා කර ඇත.

    ඇමෙරිකානු ජනාධිපතිවරයා පැවසූ දේවල සාරාංශය පහතින්:

    "[ඉරාන] නායකයින් 48 දෙනෙකු එක් වෙඩි පහරකින් අවසන් කර ඇති බවත්" ඉරානයේ මෙහෙයුම "වේගයෙන් ඉදිරියට සිදුවෙමින්" පවතින බවත් ට්‍රම්ප් ෆොක්ස් නිව්ස් වෙත කියා සිටියා.

    CNBC සමග කළ වෙනත් සම්මුඛ සාකච්ඡාවකදී, ඇමෙරිකානු ජනාධිපතිවරයා කියා සිටියේ එක්සත් ජනපද මැතිවරණ ව්‍යාපාරය "නියමිත කාලයට අනුව ඉතා හොඳින් ඉදිරියට යන බවයි". “අපි අපේ කාර්යය කරන්නේ අප වෙනුවෙන් විතරක් නෙමෙයි සමස්ත ලෝකය වෙනුවෙන්” යැයි එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියා.

    MS NOW වෙත කතා කරමින් ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනයෙන් පසු ඉරාන ඩයස්පෝරාව විසින් ඇමෙරිකා එක්සත් ජනපදයේ සැමරුම් පැවැත්වූ ආකාරය තමා දුටු බවයි.

    "මම හිතන්නේ ඒක අපූරුයි," විශේෂයෙන් විශාල ඉරාන ඩයස්පෝරාවක් වාසය කරන ලොස් ඇන්ජලීස් හි ජනතාව ප්‍රීතිය සමරන අයුරු දැක්වෙන දර්ශන ගැන සඳහන් කරමින් ඔහු කේබල් ප්‍රවෘත්ති නාලිකාවට කියා සිටියා.

    වත්මන් ඉරාන නායකයින් පසුගිය සතියේ අගභාගයේදී අත්හැර දැමූ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට කැමැත්තක් දක්වා ඇති බව ජනාධිපතිවරයා අත්ලාන්තික් පුවත්පත සමග කියා සිටියා.

    “ඔවුන්ට කතා කිරීමට අවශ්‍යයි, මම කතා කිරීමට එකඟ වී සිටිනවා, ඒ නිසා මම ඔවුන් සමඟ කතා කරනවා. ඔවුන් ඒක ඉක්මනින් කළ යුතුව තිබුණා. ඔවුන් ඉතා ප්‍රායෝගික සහ කිරීමට පහසු දේ ඉක්මනින් ලබා දිය යුතුව තිබුණා. නමුත් ඔවුන් ඕනෑවට වඩා බලා සිටියා." ට්‍රම්ප් එහිදී කියා සිටියා.

  14. 'අපි දන්නේ නැහැ මොනවා වෙයිද කියලා' - ඉරානයේ මීළඟට සිදුවිය හැක්කේ කුමක්ද? හිටපු CIA අධ්‍යක්ෂක

    ඉරානයේ මෙහෙයුම "අසාමාන්‍ය බුද්ධි අංශ සාර්ථකත්වයක්" බව හිටපු CIA අධ්‍යක්ෂ ඩේවිඩ් පෙට්‍රයස් බීබීසී ප්‍රවෘත්ති වෙත පවසා සිටියා.

    "ඉන් පසුව කුමක් සිදුවේදැයි අපි දන්නේ නෑ " යනුවෙන් ඔහු තවදුරටත් පවසනවා.

    ටෙහෙරානය මීට පෙර අන්තර්කාලීන නායකත්වයක් ප්‍රකාශයට පත් කළ ද, අපට "ඔවුන්ගෙන් කිසිවක් අසන්නට ලැබුණේ නැහැ " ඔහු කියා සිටියා.

    විද්‍යුත් සංඥා නිසා ඔවුන් ජංගම දුරකථන භාවිතා නොකරනු ඇතැයි "විශ්වාස කරන" බව ඔහු පවසනවා.

    කමෙයිනිගේ අනුප්‍රාප්තිකයා ගැන විමසූ විට, පෙට්‍රයස් කියාසිටියේ "සාමාන්‍යයෙන් විශේෂඥයින්ගේ සභාව තවත් දැඩි පූජක දෘෂ්ටිවාදියෙකු තෝරා ගනු ඇතැයි තමන් සිතන" බවයි.

    නමුත්, පාලන තන්ත්‍රය තුළ, "වඩා ප්‍රායෝගික" පුද්ගලයින් ද සිටින බව ඔහු පවසනවා.

    සන්දර්භය සඳහා: විශේෂඥයින්ගේ සභාව යනු උත්තරීතර නායකයා තෝරා පත් කර ගැනීම සහ අධීක්ෂණය යන දෙකට ම වගකිව යුතු සාමාජිකයින් 88 දෙනෙකුගෙන් සමන්විත ව්‍යවස්ථාමය ආයතනයකි.

    භූමි බලයකින් තොරව ඉරාන පාලනය පෙරළා දැමිය හැකිද යන්න " බලයට එන අය මත එය රඳා පවතින" බවත්, නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් "එය කිරීමට කැමති නැති" බව ඔහුට හොඳටම විශ්වාස බවත් ඔහු කියා සිටිනවා.

  15. 'සතුරු කඳවුරු විනාශ කරමින් සිටින' බවට ඉරාන ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක්, ගොන්චේ හබිබියසාඩ් සහ සාරා ජලාලි - බීබීසී පර්සියානු සහ BBC Monitoring

    ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියාන්ගේ පටිගත කරන ලද වීඩියෝ පණිවිඩයක් එරට රාජ්‍ය රූපවාහිනියේ විකාශය කෙරුණා.

    එහිදී ඔහු ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවය ගැන ඔහු තම ශෝකය පළ කරන අතර, අන්තර්කාලීන නායකත්ව මණ්ඩලය තම කටයුතු ආරම්භ කර ඇති බව පැවසුවා.

    ඉරාන රාජ්‍ය මාධ්‍යයට අනුව, පෙසෙෂ්කියාන්, ඉරානයේ පූජක මණ්ඩලය ඊළඟ උත්තරීතර නායකයා තෝරා ගන්නා අතරතුර එරට පාලනයේ ඇති වන රික්තයක් වළක්වා ගැනීම සඳහා පත් කරන ඇති ත්‍රිපුද්ගල අතුරු කමිටුවේ සාමාජිකයෙකු ද වෙයි.

    ඔහු අධිකරණ ප්‍රධානියා වන මොහ්සේනි එජෙහෙයි සහ අයතුල්ලා අලි රේසා අරාෆි සමග කටයුතු කරන බව වාර්තා වෙනවා.

    රටේ සන්නද්ධ හමුදා සතුරන් "කලකිරීමට" පත් කරනු ඇති බවත්, ඔවුන් දැනට "සතුරු කඳවුරු විනාශ කරමින්සි සිටින" බවත් ඔහු පැවසුවා.

    ජාතිය ඇමතීමට පැය භාගයකට පෙර, ඔහු Xහි සටහනක් පළ කළ අතර, එහිදී ඔහු කියා සිටියේ, මෑත කාලීන ප්‍රහාරය "ඉස්ලාමීය ජනරජයේ රජයේ යුතුකම් සහ වගකීම් ඉටු කිරීමට ඇති අධිෂ්ඨානයට බාධාවක් නොවන" බවයි.

    ඉරානයේ උත්තරීතර නායකයාගේ අභාවයෙන් හේතුවෙන් ඇති වූ "ශෝකය" "දිගු කාලයක්" "ජනතාවගේ මනසෙහි පවතිනු ඇති" බව ද ඔහු පැවසුවා.

  16. මැදපෙරදිග ප්‍රහාර අඛණ්ඩව දෙවන දිනටත්: මරණ සංඛ්‍යාව ඉහළට

    ඇමෙරිකා එක්සත් ජනපද සහ ඊශ්‍රායල හමුදා දෙවන දිනටත් ඉරානය සමග ප්‍රහාර හුවමාරු කර ගැනීමත් සමග ජීවිත හානි වැඩි වෙමින් පවතිනවා.

    ඇමෙරිකානු මධ්‍යම අණදෙන නිලධාරියා (සෙන්ට්කොම්) පවසන්නේ ඇමෙරිකානු සේවා සාමාජිකයින් තිදෙනෙකු මිය ගොස් පස් දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බවයි.

    ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ, ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය (IRGC) බැලස්ටික් මිසයිල හතරකින් USS ඒබ්‍රහම් ලින්කන් ගුවන් යානා ප්‍රවාහන නෞකාවට පහර දුන් බවයි.

    නමුත් ටෙහෙරානය එල්ල කළ කිසිදු මිසයිලයක් සිය නෞකාව "අසලටවත් නොපැමිණි බව" ඇමෙරිකානු මධ්‍යම සේනා විධානය පැවසුවා.

    බෙයිට් ෂෙමේෂ් නගරයට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් නව දෙනෙකු මිය යාමෙන් පසු ඉරානය "අහිංසක සිවිල් වැසියන් මරා දැමූ" බවට ඊශ්‍රායල් ආරක්ෂක හමුදාව චෝදනා කළා.

    බීබීසී මැදපෙරදිග වාර්තාකරුට අනුව එය මෙම ගැටුමේදී ඊශ්‍රායලයේ මෙතෙක් සිදු වූ මාරාන්තික ම ප්‍රහාරය ලෙස විස්තර කරනවා.

    ඊයේ (පෙබරවාරි 28) ප්‍රහාරවලින් මිනාබ්හි බාලිකා පාසලකට පහර දීමෙන් පසු පුද්ගලයින් 153 දෙනෙකු මිය ගොස් ඇති බව ඉරාන නිලධාරියෙකු පවසන නමුත්, ප්‍රදේශයේ කිසිදු මෙහෙයුමක් පිළිබඳව තමන් "නොදැනුවත්" බව ඊශ්‍රායල් ආරක්ෂක හමුදා ප්‍රකාශකයෙක් පවසනවා.

    ගැටුම කලාපීය වශයෙන් පැතිර යත්ම, ඊයේ සිට ඉරාන ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය පවසන අතර, එරට ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ නාවික කඳවුරක් ඩ්‍රෝන ප්‍රහාරයකට ලක් වූ බවයි.

    "දිනකින් හෝ දෙකකින්" නව නායකයෙකු තෝරා ගත හැකි බව ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ මරණයෙන් පසු, ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි අල් ජසීරා වෙත කියා සිටියා.

    ඒ, පාලන තන්ත්‍රය සඳහා අන්තර්කාලීන නායකත්ව කමිටුවක් ප්‍රකාශයට පත් කර තිබීම හේතුවෙනි.

  17. තෙල් මිල ඉහළ යාම 'නොවැළැක්විය හැකියි', දිගුකාලීන ගැටුමක් ඇති වුවහොත් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවිය හැකි බවට අනතුරු ඇඟවීම්

    බ්‍රෙන්ට් බොරතෙල් වෙළෙඳපොළේ ගනුදෙනු ඉරිදා ග්‍රිනිච් වේලාවෙන් 23:00 දක්වා විවෘත නොවන අතර, පුද්ගලික ගැනුම්කරුවන් අතර වෙළඳාම්වලින් පෙනී යන්නේ බැරලයක මිල 10% කින් පමණ ඉහළ ගොස් ඩොලර් 80 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

    දිගුකාලීන ගැටුමක් ඇති වුවහොත් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවිය හැකි බවට සමහර විශ්ලේෂකයින් අනතුරු අඟවා තිබෙනවා.

    ඉරිදා, සෞදි අරාබිය සහ රුසියාව ඇතුළු ඛණිජතෙල් නිපදවන රටවල ඔපෙක්+ කණ්ඩායම, ඕනෑම මිල ඉහළ යාමක් පියවා ගැනීම සඳහා දිනකට බැරල් 206,000 කින් ඔවුන්ගේ නිෂ්පාදනය වැඩි කිරීමට එකඟ වූ නමුත්, සමහර විශේෂඥයින් මින් සැබෑ ලෙසම සහනයක් ලැබෙනු ඇතිද යන්න ගැන සැක පළ කර ඇත.

    AA හි සභාපති එඩ්මන්ඩ් කිං අනතුරු ඇඟවූයේ මෙම බාධා නිසා ලොව පුරා පෙට්‍රල් මිල ඉහළ යා හැකි බවයි.

    "මැදපෙරදිග පුරා ඇති වන කැලඹිලි සහ බෝම්බ ප්‍රහාර නිසැකවම ගෝලීය වශයෙන් තෙල් බෙදා හැරීම කඩාකප්පල් කිරීමට උත්ප්‍රේරකයක් වනු ඇති අතර එය අනිවාර්යයෙන්ම මිල ඉහළ යාමට හේතු වනු ඇතැයි," ඔහු පැවසුවා.

    "සිල්ලර මිල වැඩිවීමේ විශාලත්වය සහ කාලසීමාව ගැටුම කොපමණ කාලයක් පවතින්නේද යන්න මත රඳා පවතී." යැයි ඔහු කියා සිටියා.

  18. ඉදිරි දිනවලදී සිදුවන්නේ ටෙහෙරානයට එල්ල වන ප්‍රහාර 'වැඩි වීම පමණයි' - නෙතන්යාහු

    තම ආරක්ෂක අමාත්‍යවරයා, මාණ්ඩලික ප්‍රධානියා සහ මොසාඩ් ආරක්ෂක සේවා ප්‍රධානියා සමග පැවති හමුවකදී ඉරානයට එරෙහි "සටන අඛණ්ඩව සිදු කරන ලෙස උපදෙස් ලබා දුන්" බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.

    ටෙල් අවිව්හි පිහිටි ඊශ්‍රායල ආරක්ෂක බළකා කිර්යා මූලස්ථානයේ සිට ප්‍රකාශයක් කරමින් නෙතන්යාහු මෙසේ සඳහන් කළා: "අපේ හමුදා දැන් වැඩි බලයක් යොදලා ටෙහෙරානයේ හදවතට පහර දෙමින් සිටිනවා, ඉදිරි දිනවලදී මෙය තවත් වැඩි වේවි."

    "කොහොම වුණත්, මේවා වේදනාකාරී දවස්. ඊයේ මෙහි, ටෙල් අවිව්වල සහ දැන් බෙයිට් ෂෙමෙෂ්වල, අපට ආදරණීය මිනිසුන් අහිමි වුණා. මම ඒ පවුල්වලට ශෝකය පළ කරනවා, ඊශ්‍රායල පුරවැසියන් වන ඔබ සැම වෙනුවෙන්, තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා."

    "අපේ පැවැත්ම සහ අපේ අනාගතය සහතික කිරීම" සඳහා ඊශ්‍රායලය "ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ මුළු ශක්තිය ම" යොදා කටයුතු කරන බව ඔහු පවසනවා.

  19. රෙසා පහ්ලවී: උත්තරීතර නායකයාගේ මරණය 'අවසානය' නොවෙයි, ගොන්චේ හබිබියසාඩ් සහ සාරා ජලාලි - බීබීසී පර්සියානු සහ BBC Monitoring

    1979 වසරේදී ඉස්ලාමීය ජනරජය විසින් බලයෙන් පහ කරන ලද ඉරානයේ අවසාන ෂා රජුගේ පුත්‍රයා සහ හිටපු ඔටුන්න හිමි කුමරු, ඉරානයේ උත්තරීතර නායකයාගේ මරණය "අවසානය" නොවන බවත් ඉස්ලාමීය ජනරජය "පෙරලා දමන ලෙසත්" ඉරාන වැසියන්ගෙන් Xහි සටහනක් තබමින් ඉල්ලා සිටියා.

    ජනතාවට "වීදි බැස විරෝධතා දැක්වීමට" සූදානම් විය යුතු බවත් රාත්‍රියේදී තම නිවෙස්වල සිට හඬ නගා සටන් පාඨ කියන ලෙසත් ඔහු පැවසුවා.

    පහ්ලවි මීට පෙර ඉරාන නිලධාරීන්ගෙන් "යටත් වන ලෙස" ඉල්ලා සිටි අතර හමුදා සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලින් මෙම "බියකරු සිහිනය" ඉක්මනින් අවසන් කිරීම සඳහා ඔවුන්ගේ ආයුධ "අපරාධ ජනරජය" ආරක්ෂා කිරීමට නොව "ඉරානයේ මහ ජාතිය ආරක්ෂා කිරීමට" භාවිත කරන ලෙසත් ඉල්ලා සිටියා.

    ඉරානයේ මෑත කාලීන රාජ්‍ය විරෝධී විරෝධතා අතරතුර, පහ්ලවී ප්‍රමුඛ විපක්ෂ චරිතයක් ලෙස මතු වූ අතර, ඇතැම් ස්ථානවල විරෝධතාකරුවන් ඔහුගේ නම හඬ ගා පවසන අයුරු අසන්නට ලැබුණා.

  20. කටුනායක වෙත පැමිණීමට සහ පිටත්වීමට නියමිත ගුවන් ගමන් 115 ක් අවලංගුයි

    මැදපෙරදිග කළාපයේ මේ වනවිට උද්ගතව වී ඇති යුධමය වාතාවරණයත් සමග එම කළාපයේ රටවල් තම ආරක්ෂාව පතා ගුවන් අවකාශයන් වසා දැමීම නිසා හෙට (මාර්තු 02) දින රාත්‍රී 09.50 වන තෙක් කාළය තුළ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට සහ පිටත්වීමට නියමිත ගුවන් යානා 115 ක ගුවන් ගමන් වාර අවලංගු වී ඇති බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර කළමනාකාරවරයා සඳහන් කරනවා.

    ඒ අනුව මැදපෙරදිග කළාපයේ රටවල සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත ශ්‍රී ලන්කන් ඇතුළු අනෙකුත් විදේශීය ගුවන් සේවා යානා වල ගමන් වාර 55 ක් සහ කටුනායක ගුවන් තොටුපොළෙන් මැදපෙරදිග කලාපය බලා පිටත්ව යාමට නියමිතව තිබූ ගුවන් ගමන් වාර 60 ක් ඒ අනුව අවලංගු වී තිබෙන බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කළා.