මැගසින්, කුරුවිට සහ පල්ලන්සේන බන්ධනාගාරවල නොසන්සුන්තා පාලනය කෙරේ - බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක

මැගසින්, කුරුවිට සහ පල්ලන්සේන බන්ධනාගාරවල බ්‍රහස්පතින්දා රාත්‍රියේ සහ සිකුරාදා උදෑසන හටගත් නොසන්සුන්තා පාලනය කර තිබේ. මෙම බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, ත්‍රිවිධ හමුදාව යොදවා ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. අප වාර්තාකරුවන් සඳහන් කළේ, අනුරාධපුර සහ ගාල්ල ආදී බන්ධනාගාරවල ද ආරක්ෂාව තර කර ඇති අයුරු නිරීක්ෂණය වුණු බවය.

සාරාංශය

  • මැගසින්, කුරුවිට සහ පල්ලන්සේන බන්ධනාගාරවල නොසන්සුන්තා පාලනය කෙරේ - බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක
  • බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, ත්‍රිවිධ හමුදාව යොදවයි
  • කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් දෙදෙනෙකු මරුට. තුවාල ලැබූ 13 දෙනෙකු රෝහල්ගත කෙරේ
  • බන්ධනාගාර රැඳවියන්ගේ ගැටලු සොයා බැලීමට ඒකාබද්ධ යාන්ත්‍රණයක්
  • රස පරීක්ෂක වාර්තා කඩිනම් කර, ඇප නීති සංශෝධන හඳුන්වා දෙනවා - අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර

සජීවී වාර්තාකරණය

  1. කුරුවිට සහ පල්ලන්සේන බන්ධනාගාරවල නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කෙරේ, - බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක

    කුරුවිට බන්ධනාගාරය තුළ හා පල්ලන්සේන එළිමහන් සිරකදවුර තුළ අද දින සිකුරාදා ඇතිවූ රැඳවියන්ගේ නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට බන්ධනාගාර නිලධාරීන් විසින් පාලනය කරනු ලැබ ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක පවසනවා.

    ඔහු සඳහන් කළේ, ඒ සඳහා ශ්‍රී ලංකා පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ ද සහයෝගය ලබා ගෙන ඇති බවයි.

    පසුව එම බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, ත්‍රිවිධ හමුදාව යොදවා ආරක්ෂාව තර කර ඇති බව ඔහු පැවසුවා.

    බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මේ වන විට සිදුවීම් සම්පූර්ණයෙන් පාලනය කර ඇති අතර සිද්ධීන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවයි.

  2. බන්ධනාගාර රැඳවියන්ගේ ගැටලු සොයා බැලීමට ඒකාබද්ධ යාන්ත්‍රණයක්, - ජනාධිපති මාධ්‍ය අංශය

    බන්ධනාගාර 33ට ම අදාළව බන්ධනාගාර නිලධාරීන්, පොලිසිය, විශේෂ කාර්ය බළකාය, සහ අවශ්‍ය අවස්ථාවලදී ත්‍රිවිධ හමුදාව ඇතුළු සියලු පාර්ශවකරුවන්ගෙන් සමන්විත ඒකාබද්ධ යාන්ත්‍රණයක් ඉදිරි සතියේදී ස්ථාපනය කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

    බන්ධනාගාරවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති අතර එහිදී මෙම තීරණය ගෙන තිබෙනවා.

    මෙම සාකච්ඡාවේදී රැඳවියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තවදුරටත් ගත යුතු පියවර පිළිබඳ ද පුළුල් ලෙස සාකච්ඡා කර තිබෙනවා.

  3. ගාල්ල බන්ධනාගාරය අවට ආරක්ෂාව තර කර තිබුණු ආකාරය

    ගාල්ල බන්ධනාගාරය අවට ආරක්ෂාව තර කර තිබුණු ආකාරය
    ගාල්ල බන්ධනාගාරය අවට ආරක්ෂාව තර කර තිබුණු ආකාරය
    ගාල්ල බන්ධනාගාරය අවට ආරක්ෂාව තර කර තිබුණු ආකාරය
    ගාල්ල බන්ධනාගාරය අවට ආරක්ෂාව තර කර තිබුණු ආකාරය
  4. 'රස පරීක්ෂක වාර්තා කඩිනම් කර, ඇප නීති සංශෝධන හඳුන්වා දෙනවා', - අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර

    "ඉතා ඉක්මනින් රස පරීක්ෂක වාර්තා ලබා දී නීති සංශෝධනය කර ඇප ලබා ගැනීමේ හැකියාව ලබා දෙන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසනවා.

    ඔහු මේ බව සඳහන් කළේ, එම අමාත්‍යංශයේදී සිකුරාදා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

    "බන්ධනාගාරවල සිටින රැඳවියන්ගේ ඥාතීන්ට ආදරණීයන්ට සහ මිත්‍රයන්ට යම් පණිවිඩයක් ලබා දීමේ අවශ්‍යතාවය තිබෙනවා.

    "මූලිකව ම දැනට වසරක් තිස්සේ බන්ධනාගාරවල තිබෙන තත්ත්වයන් නිරීක්ෂණය කිරීමේදී රැඳවියන්ගේ මූලික චෝදනාවක් වූයේ රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීම නිසා ඇප ලබා ගැනීමට නොහැකිව ඇති බවයි.

    "මෙම තත්ත්වය අපි පසුගිය වසරේ හඳුනා ගෙන අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කළා.

    "රස පරීක්ෂක දෙපාර්තමේන්තුව තුළ පුරප්පාඩු 118ක් තිබුණා. ඒ නිසා කාර්යක්ෂම ලෙස රස පරීක්ෂක වාර්තා පැමිණියේ නැහැ. රස පරීක්ෂක වාර්තා පැමිණෙන තෙක් වසරක් පමණ රිමාන්ඩ් බන්ධනාගාරයේගත කරන්න සිදු වුණා.

    "මේ වන විට රස පරීක්ෂක වාර්තා ලබා දීමට අවශ්‍ය කාර්ය මණ්ඩලය හැතතෑවක් පමණ බඳවා ගැනීමට පියවර ගෙන තිබෙනවා.

    "මේ මාසය වන විට නව යන්ත්‍ර ගෙන එනවා. ඒ නිසා රස පරීක්ෂක වාර්තා කඩිනම් කිරීමේ හැකියාවක් තිබෙනවා. මේ වන විට රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මසකට වාර්තා හත් දහස් පන්සීයත් නවදහසක් අතර ගණනක් නිකුත් කරන්න ඉදිරියේදී පියවර ගන්නවා.

    "මත්ද්‍රව්‍යවල ශුද්ධ බර ප්‍රමාණය ග්‍රෑම් දහයකට වැඩි නිසා අභියාචනාධිකරණයට ඇප ලබා ගැනීමට යොමුවීමෙන් ඇප ලබා ගැනීමට ප්‍රමාද වන බව රැඳවියන්ගේ ඥාතීන් සඳහන් කළා.

    "මේ නීතිය සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනවා. ඒ අනුව යම් මත්ද්‍රව්‍ය වැරදිවලට මහාධිකරණයෙන් ඇප ලබා ගැනීමේ හැකියාව නැවත ඇති කරනවා.

    "මේ මොහොත වන විට යම් කූඨ අරමුණු ඇති පුද්ගලයින් බන්ධනාගාරවල සිටින අය මෙහෙයවලා කලබල ඇතිකිරීම් තත්වයන් ඇති කරනවා. ඔබගේ ගැටලු විසඳනවා. ඉවසීමෙන් කටයුතු කරන්න. පහසුකම් ප්‍රමාණවත් නොමැති නිසා බන්ධනාගාරවල අධික තදබදයක් තිබෙනවා. අපි ඒ පහසුකම් ලබාදීමට මෙන් ම බන්ධනාගාර තදබදය අඩු කරන්න අවශ්‍ය පියවර ගන්නවා.

    "කිහිප දෙනෙකුගේ කූඨ අරමුණු අනුව අපි සම්පත් ලබා දුන්නත් ඒවා ගිනි තියනවා නම් බාධා එන්නේ බන්ධනාගාරගතව සිටින රැඳවියන් වන ඔබටයි.

    "රජය විසින් දැන් රස පරීක්ෂක වාර්තා කඩිනම් කිරීමටත් පහසුකම් වැඩි කිරීමටත් පියවර ගෙන ඇති බැවින් රජයට සහය වෙන්න. බන්ධනාගාර තුළ කළහකාරී ලෙසින් හැසිරි තමන්ගේ සම්පත් විනාශ කර ගන්න එපා. සුළු දෙනෙකුගේ අවශ්‍යතාව වෙනුවෙන් ඔබව මෙහෙයවන එක නවත්වන්න.

    "ඉතා ඉක්මනින් රස පරීක්ෂක වාර්තා ලබා දී නීති සංශෝධනය කර දී ඇප ලබා ගැනීමේ හැකියාව ලබා දෙනවා."

  5. මැගසින්, කුරුවිට සහ පල්ලන්සේන බන්ධනාගාරවල නොසන්සුන්තා ගැන අප මෙතෙක් දන්නේ මොනවා ද?

    • බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියට ආසන්නව නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් අතර ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූ අතර ඉන් ඒ හේතුවෙන් රැඳවියන් 10 දෙනෙකු තුවාල ලබා එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණා.
    • බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, රැඳවියන් 9 දෙනෙකු වෙනත් බන්ධනාගාරයක් වෙත මාරු කිරීමට ද පියවර ගත් බවත් තත්ත්වය පාලනය කළ බව ත් ය.
    • බන්ධනාගාරයේ ආරක්ෂාව තර කිරීම සඳහා පොලිස්, පොලිස් විශේෂ කාර්ය බළකා සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් යොදවා තිබුණු බව එහි සිටි බීබීසී වාර්තාකරුවන් පැවසුවා. - කුරුවිට බන්ධනාගාරයේ සිකුරාදා උදෑසන "නොසන්සුන්තාවක්" හට ගත් අතර ඉන් තුවාල ලැබූ 13 දෙනෙකු ප්‍රතිකාර සඳහා රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා.
    • එම නොසන්සුන්තාව හේතුවෙන් දෙදෙනෙකු මිය ගියා.
    • අනතුරුව සිකුරාදා මීගමුව, පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ රැඳවියන් පිරිසක් එහි වහලයක් මත නැග විරෝධතාවක් ආරම්භ කළ අතර තත්ත්වය පාලනය කිරීමට පොලිසිය සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් යොදවා තිබුණා.
    • මෙම සිද්ධි පිළිබඳව අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සිකුරාදා පාර්ලිමේන්තුවේදී පැවසුවේ, "මෙම බන්ධනාගාර සිද්ධීන් සියල්ල එක්ව ගත් කළ යම් සැලැස්මක් අනුව සිදුවන බව නිරීක්ෂණය" වන බවයි.
    • විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේ මෙම "ප්‍රශ්නය පිළිබඳව මීට වැඩිය ලොකු අවධානයක් යොමු කරල මේක ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් හැටියට අරගෙන විසඳුමක් ලබා දිය යුතු," බවයි.
    2026 වසරේ 'නොසන්සුන්තා' ඇති වූ බන්ධනාගාර පිහිටා ඇති ස්ථාන
  6. අනුරාධපුර බන්ධනාගාරයේ ආරක්ෂාව තර කෙරේ

    අනුරාධපුර බන්ධනාගාරය

    දිවයිනේ බන්ධනාගාර කිහිපයක ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් අනුරාධපුර බන්ධනාගාරයේ ආරක්ෂාව තර කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, සිකුරාදා දහවල් වන විට අනුරාධපුර බන්ධනාගාරය අවට ප්‍රදේශයට යුද්ධ හමුදාව යොදවා ආරක්ෂාව තර කිරීමට කටයුතු කර ඇති අයුරු නිරීක්ෂණ වුණු බව අප වාර්තාකරු පැවසුවා.

  7. Breaking, ජනපති සහ බන්ධනාගාර බලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක්

    ජනාධිපති අනුර කුමාර දිසානායක සහ බන්ධනාගාර බලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් සිකුරාදා (අගෝස්තු 7) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න පෙරේරා පවසනවා. බීබීසීය කළ විමසීමකදී ඔහු මේ බව තහවුරු කළා.

  8. පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානය තුළට කඳුළු ගෑස් ප්‍රහාර

    කඳුළු ගෑස්

    පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානයට තුළට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

    එම මධ්‍යස්ථානය අසළ සිටින අප වාර්තාකරු පැවසුවේ, මීට ටික වේලාවකට පෙර පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විශෝධන මධ්‍යස්ථානය තුළට ඇතුළු වූ බවයි.

    ඒ සමගම කඳුළු ගෑස් ප්‍රහාර එල්ල වන අයුරු නිරීක්ෂණය වූ බවත් තවමත් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල වෙමින් ඇති බවත් ඔහු සඳහන් කළා.

  9. 'මේක ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක්' - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

    බන්ධනාගාර කිහිපයක් ආශ්‍රිතව ඇති වී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය රටේ ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් බවත්, එය බරපතළ තත්ත්වයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (අගෝ: 07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

    ඔහු පෙන්වා දුන්නේ, 'මේ ප්‍රශ්නය පිළිබඳව මීට වැඩිය ලොකු අවධානයක් යොමු කරල මේක ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් හැටියට අරගෙන විසඳුමක් ලබා දිය යුතු' බව ය.

    "මේක බරපතළ තත්ත්වයක්. කවුරු මොනව කිව්වත් මේක ජාතික ආරක්ෂාවටත් ප්‍රශ්නයක්. ඔය කොච්චර කිව්වත් ඒක ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක්. අපි විශේෂයෙන් ම මේ බන්ධනාගාර ප්‍රශ්නය කේන්ද්‍ර කරගෙන විශ්වාසභංග යෝජනාවක් ගෙනාවා. ඇමතිතුමා වෙනුවෙන් 152ක් ඡන්දය දුන්නා. අපි ඇමතිතුමාට විරුද්ධව 36ක් ඡන්දය දුන්නා. තමුන්නාන්සෙලා අත්පුඩි ගැහුවා. ඔල්වරසන් දුන්නා. කෑගැහුවා. නමුත් ඒ ජයග්‍රහණයෙන් පස්සෙ මහර බන්ධනාගාරයෙත් මේ ප්‍රශ්නය ඇති වුණා. මැගසින් එකෙත් මේ ප්‍රශ්නය ඇති වුණා, ඊයෙ රෑ. කුරුවිට අද උදේ. ඒ වගේ ම ඔබතුමා කියන ආකාරයට පල්ලන්සේන බන්ධනාගාරයෙත් ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙනව. ඇත්ත වශයෙන් ම මේ පිළිබඳව ඔබතුමන්ලා දැඩි පියවර ගන්නට ඕන. එකක් මතක තියා ගන්න, මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් කිසිසේත් අපි අනුමත කරන්නෙ නෑ. නමුත් මේ ප්‍රශ්නය පිළිබඳව මීට වැඩිය ලොකු අවධානයක් යොමු කරල, මේක ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් හැටියට අරගෙන විසඳුමක් ලබා දෙන්න කියන එක මම මේ අවස්ථාවේදි ඉල්ලීමක් කරනවා.”

  10. 'අපිට සැකයක් නිර්මාණය වෙලා තියෙනවා මේවා කුමන්ත්‍රණකාරී කඩාකප්පල්කාරී ක්‍රියාවක් ද කියලා' - මහජන ආරක්ෂක ඇමති

    වීඩියෝ ශීර්ෂ වැකිය, 'අපිට සැකයක් නිර්මාණය වෙලා තියෙනවා මේවා කුමන්ත්‍රණකාරී කඩාකප්පල්කාරී ක්‍රියාවක් ද කියලා'

    මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල බන්ධනාගාර කිහිපයක ඇතිවූ ගැටුම්කාරී සිදුවීම් සම්බන්ධව අද (අගෝස්තු 07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පැවසුවේ මීගමුවෙන් ආරම්භ වූ මෙම ගැටුම් මේ වන විට පල්ලන්සේන බන්ධනාගාරය දක්වා ව්‍යාප්ත වී ඇති බවය.

    මෙම ගැටුම් සම්බන්ධව මෙතෙක් ලැබි ඇති බුද්ධි තොරතුරු සහ ඇතැම් විමර්ශන මත මෙය යම් කුමන්ත්‍රණකාරී ක්‍රියාවක්ද යන්න පිළිබඳව සැකයක් මේ වන විට මතුව ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.

    මේ සඳහා ආසන්නතම හේතුව වී ඇත්තේ මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් බව පෙන්වා පවසන අමාත්‍යවරයා මෙය මර්දනය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ද පැවසුවා.

    "මීගමුව බන්ධනාගාරයෙන් ඇතිවූ ගැටුම් මේ වෙන කොට පල්ලන්සේන බන්ධනාගරය දක්වා ක්‍රමිකව වර්ධනය වෙලා තියෙනවා. මේ පිළිබඳව ලැබුණු බුද්ධි තොරතුරු වගේ ම මේ දක්වා කරන ලද විමර්ශන දෙස බැලුවම අපිට සැකයක් නිර්මාණය වෙලා තියෙනවා මේවා කුමන්ත්‍රණකාරී කඩාකප්පල්කාරී ක්‍රියාවන් ද කියලා. මේවට ආසන්නතම සිදුවීම හඳුනාගෙන තියෙන්නේ මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම්. ඒවා මර්ධනය කරන්න අවශ්‍ය පියවර ගෙන තියෙනවා." අමාත්‍යවරයා කියා සිටියා.

    මෙම නොසන්සුන්තාවයන් මැඩ පැවැත්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග තුළ කිසිදු රැඳවියෙකුගේ ජීවිත හානියක් සිදු නොවී තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා උත්සාහ ගනිමින් සිටින බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

    "ඊයේ රාත්‍රියේ 10.15 ට විතර වැලිකඩ බන්ධනාගාරයේ 40ක පමණ පිරිසක් එලියට ඇවිල්ලා නොසන්සුන්තාවයක් ඇතිවුණා. එතැනදී බන්ධනාගාර නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බලකාය වගේම ආරක්ෂක අංශ නිලධාරීන් මැදිහත් වෙලා සිද්ධිය පාලනය කරන්න කටයුතු කළා. එතැනදී ඇතිවුණ සිදුවීමෙන් දැනට එක් රැඳවියෙක් මියගිහින් තවත් 10 දෙනෙක් තුවාල ලබලා; ඒ අය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. කුරුවිට බන්ධනාගාරයේ අද උදෑසන 6.30 ට පමණ ඇතිවුණ නොසන්සුන්තාවයෙන් මේ වෙනකොට දෙදෙනෙක් මියගිහින් 13 දෙනෙක් තුවාල ලබලා තියෙනවා. තුවාල ලබපු අය රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබනවා. නියෝජ්‍ය කථානායකතුමනි, බන්ධනාගාර තුළ ඇතිවෙන මේ නොසන්සුන්තාවයන් පාලනය කරද්දී අපි උත්සාහ කරනවා කිසිදු රැඳවියෙක්ගේ හෝ නිලධාරීන්ගේ ජීවිත අහිමි නොවන විදිහට වැඩ කරන්න."

    මෙම බන්ධනාගාර සිද්ධීන් සියල්ල එක්ව ගත් කළ මෙය යම් සැලැස්මක් අනුව සිදුවෙන බව නිරීක්ෂණය වන බව පැවසූ අමාත්‍යවරයා මේ පිළිබඳව පූර්ණ විමර්ශන සිදු වෙමින් පවතින බවත් ඉන් පසුව වැඩිදුර ප්‍රකාශයක් සිදුකිරීමට කටයුතු කරන බවත් පැවසුවා.

  11. බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට වාර්තා වන ශ්‍රී ලංකාවේ බන්ධනාගාර ගැටුම් ඉතිහාසය: 1900 සිට 2026 දක්වා

    ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයන් පිළිබඳ ඉතිහාසය 1900 වසර දක්වා දිව යන අතර එතැන් සිට අවස්ථා ගණනාවකදී බන්ධනාගාර කිහිපයක ම ගැටුම්කාරී තත්ත්වයන් සිදුව තිබෙනවා.

    මේ වන විට 2026 වසර තුළදී පමණක් නොසන්සුන්කාරී තත්ත්වයන් 5ක් වාර්තා වී ඇති අතර මීට පෙර එලෙස සිදුවීම් කිහිපයක් එක ම වසර තුළ සිදුවූ බවට වාර්තා වන්නේ 2012 වසරේදී ය. එම වසරේදී නොසන්සුන්කාරී තත්ත්වයන් 2ක් ඇති විය.

    මීට පෙර අප විසින් පළකළ මෙම ලිපිය කියවන්න

  12. 'බන්ධනාගාර නොසන්සුන්තා පිටුපස බළල් අතක් ඇති දැයි සැකයක්' - සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව

    වීඩියෝ ශීර්ෂ වැකිය, බන්ධනාගාර නොසන්සුන්තා පිටුපස 'බලල් අතක් ඇති දැයි සැකයක්'

    බන්ධනාගාර තුළ දිගින් දිගට ම ඇතිවන නොසන්සුන්තා පිටුපස "කිසියම් බළල් අතක් ක්‍රියාත්මක වන්නේ දැයි සිතෙන බව" සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසනවා.

    "තදබදය වැඩි වෙලා තියෙනවා, තදබදය වැඩි වුණා කියලා ඇති වෙන ප්‍රශ්නයක් නෙමෙයි අපි දකින්නේ, මොකක් හරි බලල් අතක් මේක පිටිපස්සේ තියෙනවාද කියලා අපිට හිතෙනවා."

    "සිතාමතා ඇති කරන දෙයක් දෝ කියලා අපිට සැකයක් අපිටත් තියෙනවා," යැයි එම කමිටුවේ කැඳවුම්කරු සුදේශ් නන්දිමාල් සිල්වා ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවා.

    ඔහු පැවසුවේ, බන්ධනාගාර තුළ අධික තදබදය මීට එක් හේතුවක් වුවත්, මත්ද්‍රව්‍ය ජාවාරම් නිසා බන්ධනාගර තුළ මෙවැනි ගැටුම් ඇති වන බවයි.

    "බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය රැගෙන එන්නේ නිලධාරීන්" බව ද ඔහු සඳහන් කළා.

    "මත්ද්‍රව්‍ය ජාවාරම බන්ධනාගාර තුළ ඉතා ම සූක්ෂමව සිදුවෙමින් පවතිනවා. දූෂිත බන්ධනාගාර නිලධාරීන් පිරිසක් විසින් මේ තත්ත්වය ඇති කරනවා දැයි අපිට බරපතළ සැකයක් මතු වෙලා තියෙනවා."

    "දැන් මේක පැටර්න් එක් විදිහට ඇවිත් තියෙනවා, මේ බන්ධනාගාර තුළ කළබලකාරී තත්ත්වයක් ඇති කිරීම."

    "බන්ධනාගාර තදබදයක් එක් හේතුවක් වුණත්, දැන් ඒක වෙන තත්ත්වයකට පෙරළිච්ච තත්ත්වයක් තමයි අපිට දක්නට ලැබිලා තියෙන්නේ," යැයි සුදේශ් නන්දිමාල් සඳහන් කළා.

    ඔහු අවධාරණය කළේ, "දේශපාලන උවමනා ඉෂ්ට කරගන්න උත්සහ කරනවා නම්," රජය ඊට එරෙහිව දැඩි පියවර ගත යුතු බව ය. මෙම තත්ත්වය තුළ "අහිංසක රැඳවියොත් අද අනතුරට පත් වෙනවා," ඔහු වැඩිදුරටත් පැවසුවා.

  13. 2026 වසරේ ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ ඇතිවූ 'නොසන්සුන්කාරී' තත්ත්වයන්

    ආසන්න මාස දෙකක කාලය තුළ ශ්‍රී ලංකාවේ බන්ධනාගාර ආශ්‍රිතව නොසන්සුන්කාරී තත්ත්ව කිහිපයක් ඇති විය. ඒ අනුව, 2026 වසරේ මේ වන විට එවැනි නොසන්සුන්තාවයන් 05ක් වාර්තා වී තිබෙනවා.

  14. පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානයේ රැඳවියන් පිරිසක් වහලයක් මතට

    වීඩියෝ ශීර්ෂ වැකිය, පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානයේ රැඳවියන් පිරිසක් වහලයක් මතට

    මීගමුව, පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ රැඳවියන් පිරිසක් එහි වහලයක් මත නැග විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

    අප වාර්තාකරු පැවසුවේ, මේ වන විට පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම විශෝධන මධ්‍යස්ථානය වෙත ඇතුළු වෙමින් සිටින බවයි.

  15. කුරුවිට බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාව: දෙදෙනෙකු මරුට

    වීඩියෝ ශීර්ෂ වැකිය, කුරුවිට බන්ධනාගාරයේ තත්ත්වය

    කුරුවිට බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන් තත්ත්වයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.

    අප වාර්තාකරු පැවසුවේ, තුවාල ලැබූ 13 දෙනෙකු රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි.

  16. නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් 11 දෙනෙකු බන්ධනාගාර රෝහලට

    නව මැගසින් බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධියෙන් තුවාල ලැබූ රැඳවියන් 11 දෙනෙකු බන්ධනාගාර රෝහල වෙත ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර රැඳවියන් 9 දෙනෙකු වෙනත් බන්ධනාගාරයක් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා.

    ඊයේ මධ්‍යම රාත්‍රියට (අගෝස්තු 6) ආසන්නව නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් අතර ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් රැඳවියන් කලහකාරීව හැසිරී ඇති අතර බන්ධනාගාර නිලධාරීන් විසින් එම සිදුවීම පාලනය කර ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී.ගජනායක කියා සිටියා.

    ඒ සඳහා ශ්‍රී ලංකා පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේද සහයෝගය ලබා ගෙන ඇත. බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, ත්‍රිවිධ හමුදාව යොදවා ආරක්ෂාව තර කර ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

    මේ වනවිට නව මැගසින් බන්ධනාගාරයේ සිදුවීම සම්පූර්ණයෙන් පාලනය කොට ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇතැයි ඔහු පැවසුවා.

  17. 'දැන් තත්ත්වය යම් ප්‍රමාණයක පාලනයකට යටත් වෙලා තියෙනවා'- අධිකරණ ඇමති

    වීඩියෝ ශීර්ෂ වැකිය, කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාව: දෙදෙනෙකු මරුට. තුවාල ලැබූ 13 දෙනෙකු රෝහල්ගත කෙරේ

    කුරුවිට බන්ධනාගාරයේ තත්ත්වය යම් ප්‍රමාණයකට පාලනය කර ඇතැයි අධිකරණ අමාත්‍යවරයා පවසනවා.

    කුරුවිට බන්ධනාගාරයේ තත්ත්වය මේ වනවිට යම් ප්‍රමාණයකට සමනය වී ඇතැයි අධිකරණ අමාත්‍ය හර්ෂණ නානයක්කාර බීබීසී සිංහල වෙත කියා සිටියා.

    අමාත්‍යවරයා පැවසුවේ, දැනට බන්ධනාගාරයට අවශ්‍ය ආරක්ෂාව යොදවා ඇති බවයි.

    දැනට දෙදෙනෙකු මිය ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතත්, එය ස්වාධීනව තහවුරු කළ නොහැකි බව බව අමාත්‍යවරයා පැවසුවා.

    බන්ධනාගාරය වටා ආරක්ෂාවට යුද හමුදාව සහ STF කැඳවා ඇතත්, බන්ධනාගාරය තුළට ඔවුන් ඇතුළු වී නැහැ.

    අමාත්‍යවරයා පැවසුවේ, අවශ්‍ය වුවහොත් කැඳවීම සඳහා ඔවුන් ආසන්නව සූදානමින් සිටින බවයි.

    තත්ත්වය පාලනය සඳහා කඳුළු ගෑස් ප්‍රහාර හා වෙඩි තැබීම් සිදුව ඇති බවද අමාත්‍යවරයා තහවුරු කළා.

    වෙඩි තැබීම් වලින් තුවාල වූ සංඛ්‍යාව ගැන නිශ්චිත තොරතුරු නැති බවත් තත්ත්වය පාලනය සඳහා මෙම වෙඩි තැබීම් කර ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් බවත් ඔහු පැවසුවා.

    "දැන් තත්ත්වය යම් ප්‍රමාණයක පාලනයකට යටත් වෙලා තියෙනවා, එතන ආරක්ෂාව තහවුරු වෙලා තියෙනවා” අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

  18. කුරුවිට බන්ධනාගරයේ නොසන්සුන් තත්ත්වයක්. ආරක්ෂාවට STF සහ යුද හමුදාව කැඳවයි

    කුරුවිට බන්ධනාගරයේ අද සිකුරාදා (අගෝස්තු 07 වැනිදා) නොසන්සුන් තත්ත්වයක් ඇතිව තිබෙනවා.

    අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර කියා සිටියේ, තත්ත්වය පාලනය සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) සහ යුද හමුදාව බන්ධනාගාරය වටා යොදවා ඇති බවයි.

    තත්ත්වය පාලනය සඳහා කඳුළු ගෑස් භාවිත කර ඇති බව ද අධිකරණ අමාත්‍යවරයා බීබීසී සිංහල වෙත පැවසුවා.

    කුරුවිට බන්ධනාගාරය තුළ මෙම නොසන්සුන්තාව ඇතිවුණේ ඊයේ රාත්‍රි කාලයේ බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ ද නොසුන්සුන් තත්ත්වයක් ඇතිවූ පසුබිම තුළයි.

    අප කළ විමසීමක දී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මේවන විට මැගසින් බන්ධනාගාරයේ ඇතිවූ තත්ත්වය පාලනය කර ඇති බවයි.

    පසුගිය මස 5 වැනිදා මීගමුව බන්ධනාගාරයේත්, පසුගිය 01 වැනි දා මහර බන්ධනාගාරයේත් නොසන්සුන් තත්ත්වයක් ඇති වුණා.

  19. ආයුබෝවන්!

    කුරුවිට බන්ධනාගාරයේ අද උදෑසන "නොසන්සුන්තාවක්" හට ගෙන ඇතැයි එහි සිටින බීබීසී වාර්තාකරුවන් අප වෙත පැවසුවා. ඒ පිළිබඳව සජීවී තොරතුරු අප මෙම පිටුව ඔස්සේ ඔබ වෙත ගෙන ඒමට සූදානමින්. රැඳී සිටින්න අපත් සමග.