ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.

ප්‍රධාන වෙබ් අඩවියට ගෙන යන්න

අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න

ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරය නිම කරමින් ඉන්දීය අගමැති දිවයිනෙන් පිටත්ව යයි

ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරය නිම කරමින් ඉන්දීය අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝදි දිවයිනෙන් පිටත්ව ගියේ ය.

සාරාංශය

  • ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරය නිම කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දිවයිනෙන් පිටත්ව ගියේය.
  • අගමැති මෝදි ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගත්තේය
  • ඉන්දියානු රජයේ සහය ඇතිව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති කිහිපයක් ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් විවෘත කරනු ලැබීය
  • සාම්පූර් සූර්ය විදුලි බලාගාර ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතින් විවෘත කෙරුණි
  • දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව, සෞඛ්‍ය සහයෝගීතාව, ඩිජිටල්කරණ සහයෝගීතාව ඇතුළු ගිවිසුම් හුවමාරු කර ගැණුනි
  • අගමැති මෝදිට 'ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ ගෞරවාභිධාන' සම්මානය පිරිනැමිණි.

සජීවී වාර්තාකරණය

ඉෂාරා ධනසේකර - සංස්කාරක , සම්පත් දිසානායක - ඩිජිටල් වාර්තාකරු/ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, තාරක සම්මාන් - මාධ්‍යවේදී

  1. ඉන්දීය අගමැතිගේ සංචාරය විද්වතුන් දකින්නේ කෙසේ ද?

    ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය පිළිබඳව හිටපු රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකු වන ආචාර්ය දයාන් ජයතිලක ඇතුළු විද්වතුන්ගෙන් බීබීසි සිංහල අදහස් විමසුවා.

    වැඩිදුර කියවන්න, මෙතැනින් පිවිසෙන්න

  2. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දිවයිනට පැමිණෙයි

    ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මීට සුළු වේලාවකට පෙර දිවයිනට පැමිණියා. ඒ, 'ඉන්දියා 1' විශේෂ ගුවන් යානයෙන්.

    තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි යානය අද රාත්‍රී 8:33ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ගොඩ බස්වනු ලැබුවා.

    ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණියේ, බැංකොක් නුවර පැවති බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව ය.

  3. ශ්‍රී ලංකාවට මීට පෙර පැමිණ ඇති ඉන්දීය අගමැතිවරුන් කවුද?

    මෑත ඉතිහාසය පිළිබඳව සලකා බැලීමේදී 1960 දශකයේ සිට ගත් කල ගත වූ වසර 65ක කාලය තුළ ඉන්දීය අග්‍රමාත්‍යවරුන් 8 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.

    ඒ අනුව, 1962 වසරේදී ඉන්දියාවේ පළමු අග්‍රාමාත්‍ය ශ්‍රී ජවහර්ලාල් නේරු ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, 1973 ඉන්දිරා ගාන්ධි ද ශ්‍රී ලංකාවේ සංචාරය කර තිබුණා.

    1979 වර්ෂයේදී එවකට ඉන්දීය අග්‍රාමාත්‍ය මොරාජි දේසායි ශ්‍රී ලංකාවේ සංචාරය කළ අතර 1987දී ඉන්දීය අග්‍රමාත්‍ය රජීව් ගාන්ධි ශ්‍රී ලංකාවේ සංචාරය කළා.

    1991 - ශ්‍රී නරසිම්හ රාඕ - එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ පාලන සමය තුළ (6 වන සාක් රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීමට) ශ්‍රී ලංකාවට පැමිණි අතර, 1998 වසරේදී ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ පාලන සමය තුළ ඉන්දීය අග්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායි - (10 වන සාක් රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීමට) ශ්‍රී ලංකාවට පැමිණ තිබුණා.

    2008 වසරේදී ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං (15 වන සාක් රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීමට) ශ්‍රී ලංකාවට පැමිණියා.

    අනතුරුව රාජ්‍ය සංචාරයක් සඳහා ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවට පැමිණියේ, 2015 වසරේදී යි.

  4. අගමැති මෝදිගේ මෙවර ශ්‍රී ලංකා සංචාරයේදී සිදුවන්නේ මොනවා ද?

    ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමේ නිල උත්සවය අප්‍රේල් 5 වන දා කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී පැවැත්වෙනවා.

    අග්‍රාමාත්‍ය මෝදිගේ සංචාරය අතරතුරදී දෙරට අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් ගණනාවක් ද හුවමාරු කර ගැනීමට නියමිත යි.

    ඒ අනුව, ඉදිරි දිනවලදී දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව, සෞඛ්‍ය සහයෝගීතාව, ඩිජිටල්කරණ සහයෝගීතාව පිළිබඳ ගිවිසුම්වලට සහ බලශක්ති සහයෝගීතාවට අදාළ ගිවිසුම් දෙකකට අත්සන් කිරීමට නියමිත ය.

    එමෙන් ම, දෙරට අතර දැනටමත් අත්සන් කර ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ ගිවිසුම් ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය අතරතුර හුවමාරු කර ගැනීමට නියමිත යි. ඉන්දීය රජයේ සහය ඇතිව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති කිහිපයක් ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් විවෘත කරනු ලබනවා.

    සාම්පූර්හි ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවයට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කොළඹ සිට ඔන්ලයින් ඔස්සේ එක් වෙනවා. ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අනුරාධපුරයට ගොස් ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගැනීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළා.

    ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි සමග ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා, ජාතික ආරක්ෂක උපදේශකවරයා, විදේශ කටයුතු ලේකම්වරයා සහ ඉන්දීය රජයේ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම සංචාරයට එක් වෙනවා.

  5. ආයුබෝවන්!

    ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි අද (අප්‍රේල් 4) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

    ඔහුගේ මෙම රාජ්‍ය සංචාරයේ සුවිශේෂී තොරතුරු බීබීසී සිංහල මෙම සජීවී වෙබ් පිටුව ඔස්සේ ඔබ වෙත ගෙන ඒමට කටයුතු යොදා තිබෙනවා.