සෙනසුරාදා මහර බන්ධනාගාරයේ "රැඳවියන් විසින් ඇති කරන ලද නොසන්සුන්කාරී තත්ත්වය" අතරතුර බන්ධනාගාරයේ මුළුතැන්ගෙය සහ එදින විවෘත කරන ලද නව පුනරුත්ථාපන ගොඩනැගිල්ල "සම්පූර්ණයෙන් ම විනාශ කර ඇතැයි" බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක පවසනවා.
එමෙන් ම පුනරුත්ථාපන කාර්යාලය, ප්‍රධාන ජේලර් කාර්යාලය සහ බන්ධනාගාර රෝහල ද විනාශ කර ඇතැයි ඔහු පැවසුවා.
බන්ධනාගාර ඉදිකිරීමට යෝජිත නව කාර්යාල පරිශ්‍රයක තහඩු ආවරණ යොදා තාප්පය වෙන් කර ඇති ස්ථානයකට රැඳවියන් පැමිණ එයට පහර දුන් බවත්, ඔවුන් එතැනින් පිටතට පැමිණීමට උත්සහ කළ බවත්, ප්‍රධාන ගේට්ටුවට පහර දුන් බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.
ඔහු පැවසුවේ, අද උදෑසන වන තෙක් පැවති එම "නොසන්සුන්කාරී තත්ත්වය" බන්ධනාගාර නිලධාරීන්, පොලිසිය සහ ආරක්ෂක අංශ එක්ව මේ වන විට "සමනය" කර ඇති බවයි.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත ද එම අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, සෙනසුරාදා දිනයේ බන්ධනාගාරය තුළ "දැඩි නොසන්සුන්තාවක්" ඇති වූ බවයි.
එදින සවස 4ට පමණ ආරම්භ වූ මෙම තත්ත්වය ඉරිදා (අගෝස්තු 2) අලුයම 5.00 දක්වා පැවති බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටි අතර ඔහු පැවසුවේ ගිනි තැබීමෙන් බොහෝ දේපළ විනාශ වී ඇති බවයි.
එමෙන් ම, මෙවැනි තත්ත්වයක් නැවත ඇති නොවීමට බස්නාහිර පළාතේ අනෙකුත් බන්ධනාගාරවල ද ආරක්ෂාව තහවුරු කර ඇති බව ඔහු සඳහන් කළා.
මෙම තත්ත්වය ඇති වන විට රිමාන්ඩ් භාරයේ පසු වූ සහ දඬුවම් නියම වී සිටි රැඳවියන් 4,100කට වැඩි ගණනක් මහර බන්ධනාගාරය තුළ සිටි බව ඔහු පැවසුවා.
මෑතකදී බීබීසී සිංහල යොමු කළ තොරතුරු ඉල්ලීමකින් හෙළි වූයේ මෙම මහර බන්ධනාගාරයේ රඳවා තැබිය හැකි රැඳවියන් සංඛ්‍යාව 991ක් බවයි.