ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.

ප්‍රධාන වෙබ් අඩවියට ගෙන යන්න

අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න

මුදාගත් ඉරාන නාවිකයින්ට ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට මසක සහන වීසා කාලයක්

මානුෂිකත්වය පදනම් කරගනිමින් ජාත්‍යන්තර නීති රීති අනුව කටයුතු කරමින් මුදවා ගනු ලැබූ ඉරාන නාවික කණ්ඩායමට මසක පමණ කාලයක් සඳහා සහන වීසා ලබාදී මානුෂීය රැකවරණය ලබාදීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.

සාරාංශය

  • "එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතියේ අදාළත්වය අවසන් වී ඇත. දැන් එළැඹී ඇත්තේ ජිනීවා සම්මුතීන්හි අදාළත්වය ක්‍රියාත්මක වන කාලයයි" - නීතිඥ කුසල් කාවින්ද අමරසිංහ
  • IRIS DENA නාවිකයින් 32ගෙන් 22 දෙදෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරට
  • හික්කඩුව නාරිගම වෙරළට ඉරාන නෞකාවේ බවට සැක කෙරෙන භාණ්ඩ ගොඩගසයි.
  • 'ගිලුණු නෞකාවේ සිටි ඉරාන කාර්ය මණ්ඩලය සහ දිවි ගලවා ගත් පිරිස් ආපසු ඉරානය වෙත නොයවන්නැයි ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට බලපෑම්' - වාර්තා
  • IRIS Bushehr නෞකාවේ සිට කොළඹ වරයාට රැගෙන ආ 204 දෙනා වැලිසර නාවික හමුදා කඳවුරට රැගෙන යයි.

සජීවී වාර්තාකරණය

බීබීසී සිංහල

  1. ඉරාන නෞකා තුනක් මාර්තු 9 සහ 13 ශ්‍රී ලංකාවට සේන්දු වීමට විදේශ කටයුතු අමාත්‍යංශයෙන් අවසර ඉල්ලා සිටි බව ජනපති පවසයි

    පෙබරවාරි 26 වන සහයෝගිතා වර්ධනය කරනු ලබන සංචාරයක නිරත වීම සඳහා ඉරාන රාජ්‍යය විසින් එරටට අයත් නෞකා තුනක් මාර්තු 9 සහ 13 යන දින තුළ ශ්‍රී ලංකාවට සේන්දු වීමට විදේශ කටයුතු අමාත්‍යංශයෙන් අවසර ඉල්ලා සිටි බව ජනාධිපතිවරයා පැවසුවා.

    ඔහු සඳහන් කළේ, ඒ වන විටත් එම නැව් මෙරට ජල තීරයට ආසන්නයේ රැඳී සිටි බවයි. ඒ අතරතුරු ලද මානුෂික ඉල්ලීමකට අනුව එම නෞකාවක සිටි නිලධාරීන් දෙදෙනෙකු මෙරටට ගෙන ආ බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළා.

  2. 'ආසන්න වශයෙන් ගත් විට ගාලු වරායේ සිට මුහුදු සැතපුම් 19ක දුරින් යම් යාත්‍රාවකට ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව සහ එම ප්‍රදේශයෙන් ආපදා අනතුරු සංඥාවන් නිකුත් කරන බව වාර්තා වුණා'- ජනපති

    මාර්තු 04 වන දා අලුයම 5 පසු වී විනාඩි 08 සහ විනාඩි 30 අතර කාලය තුළ අපේ ජල තීරයෙන් ඔබ්බෙන්, ආසන්න වශයෙන් ගත් විට ගාලු වරායේ සිට මුහුදු සැතපුම් 19ක දුරින් යම් යාත්‍රාවකට ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව සහ එම ප්‍රදේශයෙන් ආපදා අනතුරු සංඥාවන් නිකුත් කරන බව වාර්තා වුණු බව ජනපතිවරයා පවසනවා.

    "ඒ අනුව ආපේ නාවික හමුදාව සහ විශේෂයෙන් ගුවන් හමුදාව විශාල මෙහෙයුමක නිරත වුණා. එම මෙහෙයුමේදී අපි මධ්‍යස්ථයි වගේම මානවවාදි බව කිව යුතුයි." ඔහු එහිදී පවසා සිටියා.

    "ඒ අනුව, අපේ හමුදාව ක්ෂණිකව මැදිහත් වීමෙන් පුද්ගලයන් 32ක් මුදවා ගැනීමේ හැකියාව ලැබුණා. මළ සිරුරු 84ක්ද හමු වුණා. අපි මළ සිරුරු 84ත්, තුවාල ලැබූ පුද්ගලයන් තිස් දෙදෙනාත් ගොඩබිමට රැගෙන ආවා. දැන් එම තුවාලකරුවන් කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා." ඔහු විශේෂ මාධ්‍ය හමුවේදී කියා සිටියා.

  3. 'ජාත්‍යන්තර ගැටුම් සඳහා ශ්‍රී ලංකා භූමිය, මුහුදු කලාපය හෝ ගුවන් කලාපය කිසිදු ආකාරයකින් භාවිත කිරීමට ඉඩ දෙන්නේ නැහැ' - ජනපති

    දැනට ජාත්‍යන්තරව මතුව තිබෙන ගැටුමේදී හෝ වෙනත් ජාත්‍යන්තර ගැටුමකදී ශ්‍රී ලංකා භූමිය, මුහුදු කලාපය හෝ ගුවන් කලාපය කිසිදු ආකාරයකින් භාවිත කිරීමට ඉඩ නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක බ්‍රහස්පතින්දා රාත්‍රියේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී පැවසුවා.

  4. 'IRIS Bushehr නෞකාවේ සිටින පිරිස් වැලිසර නාවික හමුදා කඳවුර වෙත රැගෙන යනවා' - ජනපති

    ඉරාන නෞකාවේ සිටින පිරිස් වෛද්‍ය අධීක්ෂණයකට ලක් කර ඔවුන්ව නිසි පරිදී ලියාපදිංචි කර වැලිසර නාවික හමුදා කඳවුරට රැගෙන යන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කළා.

  5. කොළඹ වරායට ආසන්නයේ ඇති IRIS Busher නෞකාව සහ එහි සිටින පිරිස් භාරයට ගන්න සූදානම් - ජනපති

    කොළඹ වරාය ආසන්නයේ ඉරානයට අයත් IRIS Bushehr නමැති නෞකාවක් නැංගුරම් ලා ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

    ඔහු මේ බව සඳහන් කළේ, දැන් පැවැත්වෙන විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදීයි.

    එම නෞකාව මෙන් ම එහි සිටින පිරිස් ශ්‍රී ලංකාවේ භාරයට ගැනීමට සූදානම් බව ජනාධිපතිවරයා එහිදී පැවසුවා.

    "නැවේ ඉන්න පිරිස බේර ගන්නත් නැව ස්ථානගත කරන තැනත් ගැන අපි දීර්ඝ විදිහට කතා කරා. අපි තීරණය කළා ඒ නෞකාව ත්‍රිකුණාමලයට රැගෙන යන්න. අපේ නාවික හමුදාව ඒ ඉරාන නෞකාවේ සිටි 208 දෙනෙක් කොළඹ වරායට රැගෙන එන්න කටයුතු කරනවා.," ජනාධිපතිවරයා සඳහන් කළා.

    නෞකාවේ සිටින පිරිස් කොළඹ වරායට ගෙන යාමෙන් පසු නෞකාව ත්‍රිකුණාමලය වාරයට රැගෙන යන බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

  6. ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්

    ප්‍රශ්නගත ඉරාන නෞකා සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මේ වන විට විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වේ.

    එහි තොරතුරු බලාපොරොත්තු වන්න...

  7. අමාත්‍ය විජිත හේරත් ඉරාන විදේශ අමාත්‍යවරයා සමග සාකච්ඡාවක

    ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ඉරාන විදේශ අමාත්‍ය අරග්චි සමග ​මැදපෙරදිග කලාපයේ වේගයෙන් පැතිර යමින් තිබෙන තත්ත්වය පිළිබඳව බදාදා සාකච්ඡා කර තිබෙනවා.

    ​එහිදී අමාත්‍යවරයා වර්ධනය වෙමින් පවතින ගැටුම්කාරී තත්ත්වයන් පිළිබඳව ශ්‍රී ලංකාවේ දැඩි කණස්සල්ල පළ කර ඇති අතර, කලාපීය සාමය යළි ඇති කිරීම සඳහා රාජ්‍යතාන්ත්‍රික සංවාදයේ ඇති වැදගත්කම යළිත් අවධාරණය කර තිබෙනවා.

  8. ඉරාන නෞකාවට ශ්‍රී ලංකා නාවික හමුදාව මානුෂීය ආධාර ලබා දෙන්නේ ඇයි?

    ඉරාන නෞකාවේ සිටි පිරිසට මානුෂීය ආධාර ලබාදීම සිය වගකීමක් වන්නේ කෙසේ ද යන්න පිළිබඳව බීබීසී සිංහල නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත්ගෙන් විමසීමක් කළා.

    ඊට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ, එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතිය සහ සමුද්‍රීය සෙවීම් සහ මුදාගැනීම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (SAR) මත පදනම්ව මෙවැනි මුදා ගැනීම් කටයුතු සඳහා ශ්‍රී ලංකාව බැඳී සිටින බවයි.

    "ලංකාව වගේ 27 ගුණයක විශාල ප්‍රමාණයක් දක්වා ලංකාවට සෙවීම් සහ මුදාගැනීම් සඳහා වගකීම තියෙනවා" මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා. මෙහි නෛතික භාවය පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිපීඨයේ කථිකාචාර්ය, නීතිඥ කුසල් කාවින්ද අමරසිංහ මීට පෙර අපට පැහැදිලි කිරීමක් කළා.

    "ඉරානය සමග ඇමෙරිකා එක්සත් ජනපදය හා ඊශ්‍රායලය යුද්ධයකට අවතීර්ණය තිබෙනවා. 1949 ජිනීවා සම්මුතීන්හි පොදු දෙවන ව්‍යවස්ථාව අනුව මෙම සන්නද්ධ ගැටුම රාජ්‍ය පාර්ශවයන් අතර හටගත් අන්තර්ජාතික සන්නද්ධ ගැටුමක්"

    "අන්තර්ජාතික මානුෂවාදී නීතිය හෙවත් අන්තර්ජාතික යුධ නීතිය අනුව, අන්තර්ජාතික සන්නද්ධ ගැටුමකදී එම සන්නද්ධ ගැටුමට පාර්ශවකාරී නොවන රාජ්‍යයන් වෙත පවා රාජ්‍ය වගකීම් නිර්මාණය වන අවස්ථා අපට හඳුනාගත හැකි වෙනවා. ශ්‍රී ලංකාව ද දැන් මුහුණ දී සිටින්නේ එවැනි තත්ත්වයකට." ඔහු පැවසුවා.

    "1949 ජිනීවා සම්මුතින්ගේ දෙවන සම්මුතිය අනුව නාවුක යාත්‍රාවක් නැව්බත්වීමෙන් පසු අනතුරට පත් සටන්කාමී පාර්ශවයන්ට අයත් නාවුක පිරිස් වෙත මානුෂවාදී ලෙස සැලකීම අදාළ පාර්ශවයන් වෙත පවතින නෛතික වගකීමක්. ශ්‍රී ලංකාව ද ජිනීවා සම්මුතින් වෙත රාජ්‍ය පාර්ශවකාරීත්වය දරන බැවින් එම වගකීම අත්හළ නොහැකි වෙනවා." ඔහු කියා සිටියා.

    තවද 1949 තුන්වන ජිනීවා සම්මුතියේ 4(ආ) 2 ව්‍යවස්ථාව අනුව, සටන්කාමී පාර්ශවයක (belligerent party) පිරිස් සටනට පාර්ශවකාරී නොවන පර්ශවයක් (non-belligerent power) වෙත පැමිණියහොත් අන්තර්ජාතික නීතිය අනුව ඔවුන් අගති විරහිතව රැකබලාගැනීම එම සටනට පාර්ශවකාරී නොවන රාජ්‍යය සතු රාජ්‍යය වගකීමකි.

    ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට බලපෑම් කිරීමට වෙනත් කිසිඳු පාර්ශවයකට අවකාශයක් හිමි නොවන බව ද ඔහු කියා සිටියා.

  9. ඉරාන නෞකාවේ සිටි පුද්ගලයින් 84 දෙනෙකුගේ මළ සිරුරු සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වයි

    ඉරාන නෞකාවේ සිටි පුද්ගලයින් 84 දෙනෙකුගේ මළ සිරුරු සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (පෙබරවාරි 05) පැවැත්විණි.

    ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල වරාය පොලීසිය ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දැක්වීමෙන් පසු ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් සමීර දොඩංගොඩ සහ ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් මහේෂිකා විජයතුංග මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වනු ලැබුවා.

    මෙහිදී මහේස්ත්‍රාත්වරු මෘත ශරීර නිරීක්ෂණය කිරීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා ගාල්ල ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කළා.

    ඒ අනුව අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

  10. නෞකා අනතුරින් 'මිය ගිය පුද්ගලයින්ගේ ශරීර ජංගම ශීතකරණයක රැඳවීමට පියවර' - ගාල්ල ජාතික රෝහලේ අධ්‍යක්ෂ

    ඉරාන නෞකා අනතුරින් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින්ගේ මෘත ශරීර ජංගම ශීතකරණයක රැඳවීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ගාල්ල ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයා පවසනවා.

    බීබීසී සිංහල කළ විමසීමකට පිළිතුරු දෙමින් රෝහල් අධ්‍යක්ෂකවරයා මේ බව සඳහන් කළා.

    "අපි මෝචරි කූලර්ස් කන්ටේනර් එකක් ගෙනල්ලා ඒ ශරීර ටික ඒකේ තැන්පත් කරන්න හදන්නේ. ඔක්කොම ටික අපේ මෘත ශරීරාගාරයේ තියන්න ඉඩ නැහැ. ඔක්කොම අපිට දාන්න තරම් අපේ ධාරිතාවක් නැහැ," ඔහු පැවසුවා.

  11. ඉරාන නාවික හමුදා නෞකාවකට ඇමෙරිකාව ප්‍රහාර එල්ල කිරීම පිළිබඳ ඉරාන විදේශ ඇමතිගෙන් ප්‍රතිචාර

    ශ්‍රී ලංකාවේ ගාල්ලට ඔබ්බෙන් වූ මුහුදේදී ඉරාන නාවික හමුදා නෞකාවකට ඇමෙරිකාව ප්‍රහාර එල්ල කිරීම පිළිබඳ ඉරාන විදේශ අමාත්‍ය සෙයිද් අබ්බාස් අරග්චි x පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රතිචාර දැක්වූවා.

    ඔහු කියා සිටියේ, ඉරාන වෙරළට සැතපුම් 2,000ක් ඈතින් මුහුදේදී එක්සත් ජනපදය දරුණු අපරාධයක් සිදු කර ඇති බවයි.

    නාවිකයින් 130කට ආසන්න සංඛ්‍යාවක් රැගත් ඉන්දියානු නාවික හමුදාවේ අමුත්තෙකු වූ ඩෙනා ෆ්‍රිගේට් නෞකාවට ජාත්‍යන්තර මුහුදේදී අනතුරු ඇඟවීමකින් තොරව පහර දී ඇතැයිද ඔහු කියා සිටියා.

    "මගේ වචන මතක තබා ගන්න: එක්සත් ජනපදය තමන් දුන් පූර්වාදර්ශය ගැන දැඩි ලෙස කනගාටු වනු ඇත," එහි වැඩිදුරටත් සඳහන් වුණා.

  12. 'කොළඹ වරායට තදාසන්නව තවත් ඉරාන නැවක්?'

    ශ්‍රී ලංකාවේ ජාතික ජල තීරය ආසනයේ තවත් ඉරාන නෞකාවක් ඇතැයි ද යන්න සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේතුවේදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්සගෙන් ප්‍රශ්න කළා.

    "කොළඹ වරායට තාදසන්නව තියෙන දෙවැනි නැවක් ගැන ඔබතුමා දන්නවා ද? මොකක් ද ඒක ගැන කටයුතු කරන ආකාරය. ඇයි ඒක පිළිබඳව කරුණු ඉදිරිපත් නොකරන්නේ?"

    ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ, එම නෞකාව ඇත්තේ ශ්‍රී ලංකාවේ ජාතික ජල තීරයේ නොවන බවයි.

    "මේ කියන නැව තවමත් තිබෙන්නේ අපේ ජාතික ජල තීරය තුළ නෙවෙයි. එය තිබෙන්නේ ජාතික ජල තීරයට ආසන්න අනන්‍ය ආර්ථික කලාපයේ. අපි ඒ ජීවිත සම්බන්ධයෙන් උපරිම මැදිහත් වීම කරමින් ඉන්න බව පමණක් මට කියන්න පුළුවන්. මේ කටයුතු අවසන් වුණා ම සවිස්තර වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නම්," ඔහු පිළිතුරු දෙමින් පැවසුවා.

  13. ඉරාන නෞකාව 'ගාල්ල වරායට එන්න අපේ ආණ්ඩුවෙන් අවසර ඉල්ලලා පැය 11ක් නවත්තාගෙන හිටියා', - මුජිබර් රහුමාන් - සමගි ජනබල වේගය

    ඉරාන නෞකාව ශ්‍රී ලංකාවේ ගාලු වරායට ඇතුළු වීමට අවසර ඉල්ලා පැය 11ක කාලයක් මුහුදේ නැංගුරම් ලා සිටි බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී මුජිබර් රහුමාන් බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

    "ආණ්ඩුව පැය 11ක් තිස්සේ මේකට උත්තරයක් දුන්නේ නැහැ. පැය 11ක කාලයක් ගියාට පස්සේ තමයි මේ තොරතුර ඇමෙරිකානු හමුදාවට ගියේ... ඒ ගොල්ලන්ගේ සබ්මැරීන් එක, ඒක මේ අවට තිබුණේ නැහැ. සබ්මැරීන් එක තිබුණේ ගල්ෆ් කලාපයේ. ගල්ෆ් කලාපයේ ඉඳන් මෙතනට ආවා මේකට පහර දෙන්න," ඔහු පැවසුවා.

    "ඇයි පැය 11ක් තිස්සේ නැව නවත්තා ගෙන ඉන්න ඉඩ දුන්නේ. ජාත්‍යන්තර ප්‍රඥප්ති අත්සන් කරලා තියෙද්දී ඇයි ඒ වරායට ඉඩ නොදුන්නේ?," ඔහු එහිදී ආණ්ඩු පක්ෂයෙන් ප්‍රශ්න කළා.

  14. ඉරාන නෞකාව අනතුරට පත් වූයේ ගාලු වාරයේ සිට නාවික සැතපුම් 19ක් දුරින් - කැබිනට් ප්‍රකාශක

    ඉරාන නෞකාව අනතුරට පත් වූයේ ගාලු වාරයේ සිට නාවික සැතපුම් 19ක් දුරින් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

    ඔහු මේ බව සඳහන් කළේ, විපක්ෂයේ මන්ත්‍රීවරුන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.

  15. ඉරාන නෞකා අනතුර ගැන පාර්ලිමේන්තුවේදී විපක්ෂය ප්‍රශ්න කරයි

    ඉරාන නෞකාව අනතුර සම්බන්ධයෙන් මේ වන විට පාර්ලිමේන්තුව තුළ විවාදයට ලක් වෙනවා.

    එහි තොරතුරු ඔබ වෙත අප ගෙන ඒමට සූදානම්.

  16. බ්‍රහස්පතින්දා උදෑසන වන විට තත්ත්වය..., මෘත ශරීර 84ක් සොයා ගැනේ

    ඉරාන නෞකා අනතුරෙන් මිය ගිය පුද්ගලයින්ගේ මෘත ශරීර 84ක් මේ වන විට සොයා ගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් බීබීසී සිංහල වෙත පැවසුවා.

    ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, අතුරුදන් වූවන් සොයා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක බව ය.

    මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න...

  17. ඉන්දියන් සාගරයේදී ඇමෙරිකාව ඉරාන යුද නැවක් ටෝපිඩෝ ප්‍රහාරයකින් ගිල්වා දමන අයුරු

    ඉන්දියන් සාගරයේදී ඇමෙරිකාව ඉරාන යුද නැවක් ටෝපිඩෝ ප්‍රහාරයකින් ගිල්වා දමන අයුරු දැක්වෙන දර්ශන ඇමෙරිකානු යුද දෙපාර්තමේන්තුව සිය X ගිණුමේ පළ කර තිබෙනවා.

  18. ඉරාන නෞකා අනතුරෙන් මිය ගිය පුද්ගලයින්ගේ මෘත ශරීර ගාල්ල ජාතික රෝහලට රැගෙන ආ අයුරු

    අනතුරට ලක් වූ ඉරාන නෞකාවේ සිටි පුද්ගලයින්ගේ මළ සිරුරු මේ වන විට ගාල්ල ජාතික රෝහල වෙත ගෙන එමින් පවතින බව එහි සිටින අප වාර්තාකරු පවසනවා.

    ඔහු සඳහන් කළේ තවත් මළ සිරුරු ගෙන ඒමට නියමිත බවයි.

  19. මෘත ශරීර ගාල්ල ජාතික රෝහලට

    අනතුරට ලක් වූ ඉරාන නෞකාවේ සිටි පුද්ගලයින්ගේ මළ සිරුරු මේ වන විට ගාල්ල ජාතික රෝහල වෙත ගෙන එමින් පවතින බව එහි සිටින අප වාර්තාකරු පවසනවා.

  20. Breaking, ඉන්දියන් සාගරයේදී ඉරාන යුද නැවක් ටෝපිඩෝවකින් ගිල්වා දැමූ බවට ඇමෙරිකානු ආරක්ෂක ලේකම්වරයාගෙන් ප්‍රකාශයක්

    ඉන්දියන් සාගරයේදී ඉරාන යුද නැවක් ටෝපිඩෝවකින් ගිල්වා දැමූ බව එක්සත් ජනපද ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් මීට සුළු මොහොතකට පෙර පෙන්ටගනයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී පැවසුවා.

    "ඇත්තට ම ඊයේ, ඉන්දියන් සාගරයේදී, ඇමෙරිකානු සබ්මැරීනයක් ජාත්‍යන්තර ජල තීරයේදී ඔවුන් ආරක්ෂිත යැයි සිතා සිටි; ඉරාන යුද නැවක් ගිල්වා දැමුවා. ඒ වෙනුවට අපි ටෝපිඩෝවකින් ගිල්වා දැමුවා. නිහඬ මරණයක්. ඒ දෙවන ලෝක යුද්ධයෙන් පසු සතුරු නැවක් ටෝපිඩෝවකින් ගිල්වා දැමූ පළමු අවස්ථාව," ඔහු එහිදී පැවසුවා.

    කෙසේ වෙතත්, ප්‍රහාරයට ලක් වූ නෞකාව කුමක් ද යන්න සම්බන්ධයෙන් ඔහු එහිදී සඳහන් කළේ නැහැ.

    "දෙවන ලෝක යුද්ධයෙන් පසු සතුරු නැවක් ටෝපිඩෝවකින් ගිල්වා දැමූ පළමු අවස්ථාව" බවට ඔහු කළ ප්‍රකාශය නිවැරදි නොවේ.

    1982 ෆෝක්ලන්ඩ් යුද්ධයේදී, ආර්ජන්ටිනාවේ එක ම කෲස් නෞකාව වන ජෙනරල් බෙල්ග්‍රානෝ, බ්‍රිතාන්‍ය න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීනයක් එල්ල කළ ටයිගර්ෆිෂ් ටෝපිඩෝ දෙකකට හසුවීමෙන් පසු දකුණු අත්ලාන්තික් සාගරයේ ගිලී ගියා. 1971දී තවත් ගිලී යාමක් සිදු වුණා.

    ඉන්දියානු යුද්ධ නෞකාවක් වන INS කුක්රි පාකිස්ථාන සබ්මැරීනයක් විසින් ටෝපිඩෝවකින් ගිල්වා දමනු ලැබුවා. කෙසේ වෙතත්, ඉරාන යුද නෞකාව ගිල්වා දැමීම 1945න් පසු ඇමෙරිකානු සබ්මැරීනයක් මේ ආකාරයෙන් සතුරු නැවක් ගිල්වා දැමූ පළමු අවස්ථාව වෙනවා