දේශපාලන පෙරළිවලට පවා බලපාන විදේශ සංචිත වැඩි කර ගැනීමට රජයට ඇති සැලසුම් මොනවා ද?

විදේශ මුදල් නෝට්ටු

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, කුමුදු ජයවර්ධන
    • Role, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 6

නිල විදේශ සංචිත යනු රටක මහ බැංකුවක් හෝ රජයක් සතු විදේශ මුදල්, රත්‍රන්, විශේෂ ගැනුම් හිමිකම් (SDRs) සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වැනි ආයතනවල ඇති සංචිත වත්කම් වේ. රටක ආර්ථික ස්ථායිතාව පවත්වා ගැනීමට සහ හදිසි මූල්‍ය අවශ්‍යතා සඳහා විදෙස් සංචිත ඉතා වැදගත් වේ.

ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත පිළිබඳව වැඩි අවධානයක් යොමු වූයේ, 2021/2022 කාලයේදී ශ්‍රී ලංකාවේ උද්ගත වූ ආර්ථික අර්බුදයත් සමග ය.

2022 වර්ෂයේදී එය වාර්තාගත පසුබෑමක් පෙන්නුම් කරමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 2කට අඩු අගයකට පහත වැටිණි.

ඊට සමගාමීව ශ්‍රී ලංකා රුපියලේ අගය අධික ලෙස පහත වැටුණු අතර, විදේශ විනිමය හිඟවීම හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සීමා කෙරිණි.

අවසන් ප්‍රතිඵලය වූයේ, ජනාධිපති ගෝඨාභය ප්‍රමුඛ එවකට පැවති රජය පෙරළා දැමීමට තරම් ආර්ථික අර්බුදය උග්‍ර වීම ය.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ දැවැන්ත දේශපාලන පෙරළියක් සිදුවීමට නිල විදේශ සංචිත වක්‍ර බලපෑමක් කළේ ය.

රටක ආර්ථිකය පමණක් නොව දේශපාලන ස්ථාවරත්වයට ද විදේශ සංචිත බලපාන බව ඉන් පෙනී යයි.

2019 සිට 2026 අප්‍රේල් දක්වා ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත

2019 වසරේදී ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 7.9ක් පැවති අතර, එය බිලියන 5.7 (2020), බිලියන 3.1 (2021), බිලියන 1.9 (2022) ලෙස පහත වැටුණු අතර, 2023 වසරේ සිට බිලියන 4.4 (2023), බිලියන 6.1 (2024), බිලියන 6.8 (2025) දක්වා ඉහළ ගියේ ය.

2026 වසරේ පෙබරවාරි මාසයේදී ඩොලර් බිලියන 7.2ක් දක්වා ඉහළ ගියේ ය.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා අනුව 2026 අප්‍රේල් මාසය වන විට එය බිලියන 6.8 දක්වා යළිත් පහත වැටී තිබේ.

විදෙස් සංචිත පහත වැටුණේ ඇයි?

2026 පෙබරවාරි මාසය අවසන් වන විට ඩොලර් බිලියන 7.2ක්ව පැවති විදේශ සංචිත අප්‍රේල් මාසය වන විට 6.8ක් දක්වා ඩොලර් බිලියන 0.4කින් පහත වැටුණේ ඇයි?

ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ, ඊට ප්‍රධාන කරුණු දෙකක් බලපෑ බව ය.

එක් කරුණක් වන්නේ, මැද පෙරදිග අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව අඩුවීම ය. දෙවැන්න, වාහන මිල දී ගැනීම් ඇතුළු ආනයන සඳහා ඩොලර් විශාල ප්‍රමාණයක් භාවිත කිරීම ය.

ඊට අමතරව, ඉන්ධන මිල දී ගැනීමේදී ක්ෂණික මිල දී ගැනීම් යටතේ, වැඩි ඩොලර් ප්‍රමාණයක් ගෙවා ඉන්ධන මිල දී ගැනීමට සිදුවීම ය.

මේ හේතුවෙන්, වෙළෙඳපොළේ පැවති ඩොලර් හිඟය හේතුවෙන් රුපියලේ අගය ශීඝ්‍රයෙන් පහත වැටිණි. ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් පැවසුවේ, වෙළෙඳපොළේ ඩොලර් හිඟය පාලනය කිරීම සඳහා විදේශ සංචිත මුදා හැරීමට සිදුවූ බව ය.

ඒ අනුව, මේ වන විට ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.8ක් බවට පත්ව තිබේ.

2026 අප්‍රේල් මාසයේ විදේශ අංශයේ ක්‍රියාකාරීත්වය

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

අප්‍රේල් මාසයේ විදේශ අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ දත්ත පහත දැක්වේ.

2026 වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ වාර්තා වූ අතිරික්තයට සාපේක්ෂව, 2026 වසරේ අප්‍රේල් මාසයේදී විදේශීය ජංගම ගිණුමේ හිඟයක් වාර්තා විය. පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඉහළ යාම හමුවේ වුව ද, වෙළෙඳ හිඟය පුළුල් වීම, සේවා ගිණුමේ අතිරික්තය අඩු වීම සහ ප්‍රාථමික ආදායම් ගිණුමේ හිඟය ඉහළ යාම මේ සඳහා මූලිකව ම හේතු විය. ඒ අනුව, 2026 වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා වූ කාලය තුළදී ජංගම ගිණුම සුළු හිඟයක් වාර්තා කළේ ය.

අපනයනවලට සාපේක්ෂව ආනයනවල ඉහළ වර්ධනයක් පිළිබිඹු කරමින් 2026 වසරේ අප්‍රේල් මාසයේදී වෙළෙඳ භාණ්ඩ ගිණුමේ හිඟය පුළුල් විය. තව ද, 2026 වසරේ ජනවාරි-අප්‍රේල් කාලපරිච්ඡේදය තුළදී වෙළෙඳ හිඟය 2025 වසරේඅනුරූප කාලපරිච්ඡේදයේදී වාර්තා වූ එ.ජ. ඩොලර් බිලියන 2.3ට සාපේක්ෂව එ.ජ. ඩොලර් බිලියන 3.7ක් දක්වා පුළුල් විය.

මැද පෙරදිග පවතින ගැටුම් මධ්‍යයේ ගෝලීය වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම සහ ඉහළ ආනයන පරිමා හේතුවෙන් ඉන්ධන ආනයන වියදම 2026 වසරේ අප්‍රේල් මාසයේදී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 149.9%කින් එ.ජ. ඩොලර් මිලියන 886ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගියේ ය.

පෞද්ගලික සහ වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා වාහන ඇතුළුව වාහන ආනයන වියදම 2026 වසරේ අප්‍රේල් මාසයේදී එ.ජ. ඩොලර් මිලියන 208ක් වූ අතර, එමගින්, 2026 වසරේ ජනවාරි-අප්‍රේල් කාලපරිච්ඡේදය තුළදී මුළු වාහන ආනයන වියදම එ.ජ. ඩොලර් මිලියන 821ක් දක්වා ඉහළ ගියේ ය.

අපනයන මිල ගණන් ඉහළ යාම ඉක්මවා ආනයන මිල ගණන් ඉහළ ගිය බැවින්, 2026 වසරේ අප්‍රේල් මාසයේදී වෙළෙඳ මිල අනුපාතය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පහළ ගියේ ය. මේ අතර, 2026 වසරේ ජනවාරි-අප්‍රේල් කාලපරිච්ඡේදය තුළදී වෙළෙඳ මිල අනුපාතය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව පහළ ගියේ ය.

2026 වසරේ අප්‍රේල් මාසයේදී සේවා ගිණුමේ අතිරික්තය එ.ජ. ඩොලර් මිලියන 229ක් දක්වා වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 37.8%කින් පහළ ගිය අතර, සංචාරක ඉපැයීම්වල සිදුවූ අඩු වීම මේ සඳහා මූලිකව ම හේතු විය. 2026 වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා වූ කාලය තුළදී වූ සමුච්ඡිත අතිරික්තය ද 2025 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 24.3%කින් අඩු විය.

මැද පෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වයේ බලපෑම හේතුවෙන් 2026 වසරේ අප්‍රේල් මාසයේදී සංචාරක පැමිණීම් වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 22.3%ක පහළ යාමක් වාර්තා කරමින්, පැමිණීම් 135,643ක් දක්වා අඛණ්ඩව දෙවන මාසයටත් අඩු විය. 2026 වසරේ අප්‍රේල් මාසයේදී සංචාරක ඉපැයීම් වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 38.8%ක අඩු වීමක් නිරූපණය කරමින් එ.ජ. ඩොලර් මිලියන 157ක් ලෙස ඇස්තමේන්තුගත කර ඇති අතර, පෙර වසරේ අනුරූප කාල පරිච්ඡේදයට සාපේක්ෂව 2026 වසරේ පළමු මාස හතර තුළදී සමුච්චිත ඉපැයීම් එ.ජ. ඩොලර් මිලියන 1,111ක් දක්වා 19.4%කින් පහළ ගියේ ය.

මෑත මාසවලදී දක්නට ලැබුණු ධනාත්මක ප්‍රවණතාව අඛණ්ඩව පවත්වා ගනිමින්, 2026 වසරේ අප්‍රේල් මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ එ.ජ. ඩොලර් මිලියන 768ක් විය. වසරේ පළමු මාස හතර තුළදී සමුච්චිත විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ එ.ජ. ඩොලර් මිලියන 3,063ක් දක්වා වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 24.5%කින් වර්ධනය විය.

2026 වසරේ අප්‍රේල් මාසයේදී රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළෙහි විදේශීය ආයෝජන එ.ජ. ඩොලර් මිලියන 2ක සුළු ශුද්ධ ලැබීමක් වාර්තා කළ අතර, ප්‍රාථමික හා ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනු ඇතුළත් කොළඹ කොටස් වෙළෙඳපොළෙහි විදේශීය ආයෝජන එ.ජ. ඩොලර් මිලියන 16ක ශුද්ධ ගෙවීමක් වාර්තා කළේ ය.

සැලකිය යුතු ප්‍රමාණයක විදේශීය ණය සේවාකරණ ගෙවීම් සහ මහ බැංකුව සිදු කළ විදේශ විනිමය ශුද්ධ විකිණීම් මධ්‍යයේ, 2026 වසරේ අප්‍රේල් මස අග වන විට, චීන මහජන බැංකුව සමග වන විදේශ විනිමය හුවමාරු පහසුකම ද ඇතුළත්ව, දළ නිල සංචිත එ.ජ. ඩොලර් බිලියන 6.8ක් විය.

2026 වසරේ පෙබරවාරි මස අග භාගයේදී මැද පෙරදිග ගැටුම්කාරී තත්ත්වය වර්ධනය වීමේ බලපෑමෙන් පසුව විදේශීය අංශයේ ඇති වූ පීඩනය ඉහළ යාම පිළිබිඹු කරමින්, 2026 වසරේ මැයි මස අවසානය වන විට ශ්‍රී ලංකා රුපියල එ.ජ. ඩොලරයට සාපේක්ෂව 5.4%කින් අවප්‍රමාණය විය. මෙම අවප්‍රමාණය වීම, කලාපීය රටවල මුදල් ඒකකයන්හි දක්නට ලැබුණු අවප්‍රමාණය වීම්වලට සමගාමී විය.

මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් 2026 වසරේ මැයි මස 27වන දින ශ්‍රී ලංකාව සඳහා වූ විස්තීර්ණ ණය පහසුකම යටතේ පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචනය සම්පූර්ණ කරන ලද අතර, එමගින් ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණවලට සහාය වීම සඳහා වි.ගැ.හි. මිලියන 508ක (එ.ජ.ඩොලර් මිලියන 695ක පමණ) මූල්‍යන පහසුකමක් සඳහා ශ්‍රී ලංකාවට ක්ෂ්ණික ප්‍රවේශයක් ලබා දෙන ලදී.

ඩොලර්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුරෝකථන

ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත සම්බන්ධයෙන් ඉදිරි වසර 3ක කාලය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථන ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව, 2026 වසර අවසන් වන විට ශ්‍රී ලංකාව සතු විය යුතු දළ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 8.6කි.

2027 වසරේදී එම අගය ඩොලර් බිලියන 11.8ක් සහ 2028 වසරේදී ඩොලර් බිලියන 13.9ක් ලෙස වර්ධනය කර ගත යුතු ය.

දළ නිල සංචිත වර්ධනය කර ගැනීම සඳහා රජයට ඇති සැලසුම් මොනවා ද?

දළ විදේශ සංචිත වර්ධනය කර ගැනීම සඳහා රජය සැලසුම් කිහිපයක් ක්‍රියාත්මක කර ඇතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර බීබීසී සිංහල සේවයට පැවසීය.

ඔහු පැවසූ පරිදි විදේශ සංචිත ඉහළ දැමීම සඳහා අපනයන ආදායම වැඩි කර ගැනීමේ අරමුණින් 'පස් අවුරුදු අපනයන විවිධාංගීකරණ සැලැස්මක්' සකස් කර තිබේ. එහි ඉලක්කය වී ඇත්තේ, වසර 5ක කාලයක් තුළදී අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 30 දක්වා වර්ධනය කර ගැනීම ය.

විදේශ විනිමය වැඩි වශයෙන් රටට හිමි කර ගත හැකි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා මුදල් වෙන් කර ඇති බව ද ඔහු පැවසීය.

විගමනික ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ වැඩි කර ගැනීම සඳහා විශේෂ ණය යෝජනා ක්‍රම හඳුන්වා දී ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

මේ අතර, ඍජු විදේශ ආයෝජන කෙරෙහි ආරක්ෂණය වැඩි කිරීම සඳහා විදේශීය ආයෝජකයින්ට වසර 8ක් දක්වා බදු සහන ලබා දීමට ද සැලසුම් කර තිබේ. ඊට අමතරව, ඉදිරියේදී ආයෝජන ආරක්ෂණ පනතක් ගෙන ඒමට සැලසුම් කර ඇති බව ද ඔහු පැවසීය.

නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර ප්‍රකාශ කළේ, ඉහත කී සැලසුම් හරහා විදේශ සංචිත වර්ධනය කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව ය.