පොන්නාවේලි හුණුගල් කැණීම්: සිමෙන්ති කර්මාන්ත ශාලාවකට ඉඩම් ලබා දීමට එරෙහිව ප්‍රදේශවාසීන් විරෝධතාවක

Published

කිලිනොච්චිය, පූනකරි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පොන්නාවේලි හා කිරාංචි ප්‍රදේශයන්ගේ ඉඩම් සිමෙන්ති කර්මාන්තශාලාවකට හුණුගල් ලබා ගැනීමට ලබාදීමේ සුදානමකට එරෙහිව පොන්නාවේලි ප්‍රදේශයේ අද (අප්‍රේල් 05 වැනිදා ) විරෝධතාවයක් පැවැත්විණි.

අදාළ ගම්මානවල ඉඩම් සිමෙන්ති කර්මාන්ත ශාලාවකට ලබාදීම සම්බන්ධ ගැටළුව පිළිබඳ සොයා බැලීමට ධීවර කටයුතු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද පොන්නාවේලි ගම්මානය වෙත පැමිණීමට විරුද්ධව ද ගම්වාසීන් එහිදී විරෝධය පළ කළහ.

ගම්වාසීන් පැවසූවේ අමාත්‍යවරයා සිය හිතවාදීන් පිරිසක් සමඟ පැමිණ තම ඉඩම් සිමෙන්ති කර්මාන්ත ශාලාවකට පැවරීමේ සුදානමක් පැවති බැවින් ඊට විරුද්ධව තමන් විරෝධතාවය දැක්වු බවයි.

අමාත්‍යවරයාට පක්ෂපාතී පිරිස් හා ගම්වාසීන් අතර එහිදි නොසන්සුන්තාවයක්ද හටගත් අතර, තත්ත්වය පාලනයට පොලිසියද කැඳවා තිබුණි.

ගම්වාසීන්ගේ විරෝධතා හමුවේ අමාත්‍යවරයා අදාළ ස්ථානයෙන් ඉවත්ව ගියේය.

'සිමෙන්ති ෆැක්ටරිය හින්දා ඇතිවන බලපෑම කියලා නිමාකරන්න බෑ'

කිලිනොච්චිය, පූනකරි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පොන්නාවේලි ගම්මානයේ ජනතාව යුද්ධය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිය උපන් ගම්මාන අතහැර ගොස් වසර ගණනාවක් අවතැන්ව සිට නැවත පදිංචියට පැමිණි පිරිසකි.

ඔවුන් යුද්ධය හේතුවෙන් සිය මුල් ගම්මාන අතහැර මුලතිව් වෙත ගොස් අවසන් යුද සමයේ යුද හමුදාවට භාරවී අනතුරුව වවුනියාව,සෙට්ටිකුලම්හි අවතැන් කඳවුරු තුළ කාලයක් රැදී සිට 2010 හා 2011 වසරවල යුද්ධයෙන් විනාශ වු ගම්මාන වෙත නැවත පැමිණ තිබේ.

එම ජනතාව දැන් බියෙන් පසුවන්නේ ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීමට යෝජිත හුණුගල් හෑරීමේ ව්‍යාපෘතියක් නිසා තම ගම්බිම් යළි අහිමී යයි ද පිළිබඳවය.

වර්තමානයේදී පොන්නාවේලි ගම්මානය ආශ්‍රිතව හුණුගල් හෑරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට මේ වන විට හුණුගල් පවතින සීමාවන් සොයා බැලීමට පොන්නාවේලි ගම්මානය අවට සීමාවේ භූ කැණීම් කර පරීක්ෂණ පවත්වා ඇතැයි ගම්වැසියෝ පවසති.

ගම්මානය කේන්ද්‍ර කර ගනිමින් හෙක්ටයාර් 1000 කට ආසන්න ප්‍රදේශයක හුණුගල් කැනීමට අවශ්‍ය මුලික අනුමැතිය සිමෙන්ති කර්මාන්තශාලාවකට ලබාදී ඇති බවත්, හුණුගල් කැනීම ගම්මානය ආශ්‍රිත ප්‍රදේශයේ සිදුකළ හොත් තමන්ට ගම්මානයේ ජිවත්විය නොහැකි බවටත් සඳහන් කරමින් පොන්නාවේලි ගම්වාසීහූ අඛණ්ඩව දින 100ක් ඉක්වමා මේ වන විට විරෝධතාව පවත්වමින් සිටිති.

පොන්නාවේලි ගම්මානයේ පිහිටීම හා භූගෝලීය වැදගත්කම

යාපනය මන්නාරම A32 මාර්ගයේ කිරාංචි මංසන්ධියේ සිට කිලෝමීටර් 12 ක පමණ දුරකින් පොන්නාවේලි ගම්මානය පිහිටා ඇත.පොක් සමුද්‍ර සන්ධියට සීමාවන උතුරු වෙරළ කලාපයට අයත් පොන්නාවේලි සුන්දරත්වයෙන් බහුල බොහෝ දෙනාගේ ඇස නොගැටුණ ගම්මානයකි.

ශ්‍රී ලංකාවට අයත් දූපත් අතරින් ඉරණතිව්, එරුමතිව් හා කාක්කතිව් යන කුඩා දූපත් වෙත ආසන්නම ගොඩබිම් ප්‍රදේශය පොන්නාවේලි ගම්මානය අවට ගොඩබිම් ප්‍රදේශයයි.

තලෙයිමන්නාරමට පසුව දකුණු ඉන්දියාව වෙත ආසන්නම ස්වභාවික වරාය සහිත භූමිය පොන්නාවේලි ගම්මානයට අයත් වලෙයිපාඩු ධීවර වරාය වන බව ගම්වාසීන් පැවසීය.

ඉංග්‍රීසීන් මෙරට පාලනය කරන අවධියේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සෘජු බෝට්ටු ගමනාගමනයක් පොන්නාවේලි ආශ්‍රිත සාගර කලාපය හරහා ක්‍රියාත්මක වී ඇත.

ගම්මානය වෙත පිවිසීමට ඇති මාර්ග කලපුවක් හරහා වැටී ඇති බැවින් ජනතාවට ගම්මානය වෙත පිවිසීමට ඇත්තේ කලකින් ප්‍රතිසංස්කරණය නොකළ අබලන් මාර්ගයක් ඔස්සේය.වැසි දිනවල අදාළ මාර්ගයේ වාහන ගමනාගමනය ඉතා අවදානම්ය.

පොන්නාවේලි ග්‍රාම සේවා වසමට අයත් කිරාංචි,පොන්නාවේලි,වලෙප්පාඩු, වේරාවිල් හා පලාවි ගම්මාන තුළ පවුල් 1600 කට වැඩි සංඛ්‍යාවක් ජීවත්වන අතර, ගම්වාසීන්ගේ ප්‍රධාන අදායම් මාර්ගය වන්නේ ධීවර කර්මාන්තය හා ගොවිතැනයි.

පොන්නාවේලි ගම්මානයේ ඉතිහාසය

ගම්මානයේ ඉතිහාසය ඉන්දු - ලංකා සම්බන්ධතා ආරම්භය දක්වා දිවෙන බව ගම්වාසීහූ පවසති.ඉංග්‍රීසීන් මෙරට පාලනය කළ අවධියේ ස්ථාපිත කළ වලෙයිපාඩු බයොබැබ් ගස හා කිතුණු දේවස්ථාන රැසක්ද වෙරළ සීමාවේ පවති.

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ස්ථාපිත කළ පළමු විද්‍යාලය වන පොන්නාවේලි සෛවප්‍රකාශ විද්‍යාලය පොන්නාවේලි ප්‍රදේශයේ ස්ථාපිත කොට ඇති අතර, ඉංග්‍රීසි පාලන සමයේ දෙමළ සාහිත්‍යධරයෙකු වු ආරුමුගම් නාවලර් විසින් විද්‍යාලය ආරම්භ කරනු ලැබ ඇති බවද ප්‍රදේශවාසීන් පැවසීය.

ආරුමුගම් නාවලර් සාහිත්‍යධරයා සිය කෘතියක්ද පොන්නාවේලි සෛවප්‍රකාශ විද්‍යාලය තුළ එළිදක්වා ඇති බවද ගම්මානයේ වැඩිහිටියෝ සඳහන් කළහ.

1990 දක්වා සෛවප්‍රකාශ විද්‍යාලය පවත්වාගෙන ආ බවත්, යුද්ධය හේතුවෙන් ජනතාව ගම්මානයෙන් ඉවත්වීමෙන් අනතුරුව නැවත පාසල ක්‍රියාත්මක නොවු බවද ජනතාව පැවසීය.

ගම්මානයේ පවතින අන්නාමලෙයි ශිව කෝවිලේ ඉන්දියාවේ අන්නාමලෙයි ප්‍රදේශයෙන් ගෙනා ශිව ලිංගයක් තැන්පත් කොට ඇති අතර, ශිව කෝවිලට ඉංග්‍රීසි පාලන අවධියට එපිට සමයේ ඉතිහාසයක් පවති.

කුමාරස්වාමි අරුනාචලම් නමැති උඩයාර්වරයෙකු (ප්‍රාදේශීය පාලකවරයෙකු) ඉංග්‍රීසි පාලන සමයේ ගම්මානයේ ජීවත්වු බවත්, ඔහු ජීවත්වු නිවස වර්තමානයේ ගම්මානයේ හුණුගල් කැනීමේ ව්‍යාපෘතියේ ව්‍යාපෘති කාර්යාලය දැමීමට යොදාගෙන ඇති බවටද ගම්වාසී හූ චෝදනා කළහ.

ගම්මානයට වර්තමානයේ එල්ල වී ඇති තර්ජනය

මේ වන විට හුණුගල් පවතින සීමාවන් සොයා බැලීමට පොන්නාවේලි ගම්මානය අවට සීමාවේ නළ ළිං රැසක් හාරා පරීක්ෂණ පවත්වා ඇතැයි ප්‍රදේශවාසීන් සඳහන් කළේය.

ගැටළුව සම්බන්ධයෙන් විරෝධතාවයේ නිරත ගම්මානය සුරකීමේ ප්‍රජා සංවිධානයේ සභාපති වි.බාස්කරන් පැවසූවේ මෙවැන්නකි,

“අපි යුද්ධය හින්දා අවුරුදු 30 කට වැඩි කාලයක් දුක් වින්දා. යුද්ධයෙන් ගම්මානය සම්පූර්ණයෙන්ම විනාශ වුණා.අවුරුදු ගාණක් අපි අවතැන්වෙලා ඉඳලා දැන් තමයි නැවත යම් ප්‍රමාණයකට ගොඩනැගෙමින් එන්නේ.එහෙම එනකොට දැන් නැවත වතාවක් අපේ ගම්මානවල මිනිස්සුන්ගේ ජීවිතවලට නැති ප්‍රශ්නයක් ඇවිල්ලා.”

“ගමේ කුඹුරු ඉඩම් සහිත ගම්මානයේ ජනතාවගේ ඉඩම් හෙක්ටයාර් 1000 ක් ප්‍රදේශවාසීන් කවුරුවත් දන්නේ නැතුව හුණුගල් හාරන්න ලබාදීලා තිබෙනවා.”

“හුණුගල් හාරලා ගම්මානය සීමාවේ සිමෙන්ති ෆැක්ටරියක් හදන්න යනවා.ගමේ මිනිස්සු බත් ටිකක් කන්න වගා කරපු කුඹුරු ඉඩම් අයිති සීමාවක් තමයි එහෙම දීලා තියෙන්නේ.”

“ගමේ ඉඩම් සිමෙන්ති ෆැක්ටරියකට දුන්නාම ගමේ මිනිස්සුන්ට ජීවත්වෙන්න බැරිවෙයි. සිමෙන්ති ෆැක්ටරිය හින්දා ඇතිවන බලපෑම කියලා නිමාකරන්න බෑ.ගමට සිමෙන්ති ෆැක්ටරියක් ආවොත් ගමේ මිනිස්සුන්ට ගම අතහැරලා යන්න තමයි වෙන්නේ.” ඔහු පැවසීය.

බාස්කරන් සඳහන් කළේ “මාළු වැඩි ප්‍රමාණයක් බිත්තර දාන්න,පැටව් හදන්න එන්නේ පෝක් සමුද්‍ර සන්ධියට මුහුණලා තියෙන අපේ ගම්මාන අශ්‍රිත මුහුදු කලාපයට.ලංකාවේ ඉන්න හොඳම කකුළුවෝ ඉන්නේ මේ මුහුදු කලාපයේ.සිමෙන්ති ෆැක්ටරියක් ගමමානයේ දැම්මොත් සිමෙන්ති ෆැක්ටරිවලින් ඉවතලන සිමෙන්ති කුඩු කාලයක් යනකොට මේ මුහුදු සීමාවේ තැන්පත් වෙනවා.එතකොට මාළු මේ කලාපයට එන්නේ නැතිවෙයි.”

“ගම්මානයේ ජීවත්වන ජනතාවට මාළු නැතුව ධීවර කර්මාන්තය කර ගන්න බැරිවෙනවා.ගමේ කුඹුරු අක්කර 800 ක් විතර තියෙනවා.ඒ ප්‍රමාණය හුණුගල් කඩන්න අරගනියි. එහෙම වුණොත් ගමේ මිනිස්සුන්ට ජීවත්වෙන් ක්‍රමයක් නැතිවෙයි.

“මේ හුණුගල් කඩන ව්‍යාපෘතිය ගමට එනකම් ගමේ මිනිස්සුන්ගෙන් ඒ ගැන රජයේ ආයතන කවදාවත් ඇහුවේ නෑ.සමහර දේශපාලන පක්ෂ නායකයෝ තමන්ගේ පක්ෂයේ හිතවතුන් කිහිපදෙනෙකුගෙන් අහලා තමයි මේ වැඩේට අවසරය දීලා තිබෙන්නේ.”ඔහු චෝදනා කළේය.

“මේ සිමෙන්ති ෆැක්ටරිය හදන්න සුදානම් වෙන සමාගම දන්නවා අපේ ගම්මාන යටින් තිබෙන හුණුගල් නිධියේ වටිනාකම.ඒ හින්දා එයාල මොන සෙල්ලමක් දාලා හරි ගම්මානයේ ජනතාවගේ ඉඩම් අරගන්න කටයුතු කරනවා.”

බාස්කරන් වැඩිදුරටත් පෙන්වා දුන්නේ “මේ වැඩේ මුලික කටයුතු දැන් අවුරුදු ගාණක ඉදලා කරගෙන ගිහිල්ලා තිබ්බත් ගමේ අය ඒක දැනගන්නකොට මුලික වැඩකටයුතු සියල්ල ඉහළ තැන්වලින් කරගෙන අවසන්.ඒත් අපි සියළුදෙනාම ගමේ හුණුගල් කඩන වැඩේ කරන්න දෙන්නේ නෑ.මැරිලා හරි අපි අපේ ගම්මාන රැක ගන්නවා.”

“ඔය හුණුගල් කැණීමේ ව්‍යාපෘතිය හරහා ගම්වාසීන්ට සිදුවන බලපෑම දීර්ඝ කාලීන බලපෑමක්.ගම්වාසීන් මේ ප්‍රශ්නය ගැන සඳහන් කරලා විරෝධතා පැවැත්වුවා,මීට විරුද්ධව ගම්වාසීන් විසින් වගකිව යුතු රාජ්‍ය ආයතන වෙත පෙත්සම් ලබාදුන්නා.” ඔහු පැවසීය.

“කන්කසන්තුරය,පුත්තලම වාගේ පැතිවලත් ඔය වාගේ හුණුගල් කඩන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා.එවායින් ජනතාව පීඩාවට පත්වෙනවා මිසක් ජනතාවට සහනයක් ලැබිලා නෑ”යැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

වගකිවයුතු රාජ්‍ය ආයතන මොකද කියන්නේ ?

පොන්නාලෙයි ප්‍රදේශයේ ඉඩම් හුණුගල් කැණීමක් වෙනුවෙන් ලබාදී ඇත්දැයි පුනරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විමසීමේදී, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් පැවසූවේ මේ දක්වා පොන්නාලෙයි ප්‍රදේශයේ කිසිදු ඉඩමක් හුණුගල් කැණීම වෙනුවෙන් ලබාදී නොමැති බවය.

හුණුගල් සම්බන්ධ පරීක්ෂණයක් අදාළ සීමාවේ සිදුකොට ඇති අතර, ඉඩම් නිදහස් කිරීම හෝ හුණුගල් කැණීම සම්බන්ධයෙන් කිසිදු අවසරයක් ලබාදි නොමැති බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහන් කළේය.

පුනරීන් ප්‍රාදේශීය සභාව පැවසූවේ පොන්නාලෙයි ප්‍රදේශයේ භූගත කැණීමක් සම්බන්ධයෙන් ගම්වාසීන් චෝදනා කර ඇති අතර, අදාළ ආයතනයට පොන්නාලෙයි ප්‍රදේශයේ භූගත කැණීම් නොකරන ලෙසට ලිඛිතව දැනුම් දී ඇති බවයි.

හුණුගල් කැණීම් සම්බන්ධයෙන් විද්වත් මතය කුමක් ද?

උතුරු පළාතේ හුණුගල් නිධිය සම්බන්ධයෙන් අධ්‍යයනය කළ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්.එම්.ටී.ජී.ඒ.පිටවලගෙන් අදාළ ප්‍රදේශයේ පවතින හුණුගල් සම්බන්ධයෙන් අපි කරුණු විමසීමු.

“උතුරු පළාතේ වෙරළ සීමාවේ හුණුගල් නිධිය විශාල ප්‍රදේශයක පැතිරිලා තිබෙනවා.වෙරළ සීමාවේ ඇතැම් ස්ථානවල අඩි දෙක තුනක ගැඹුරේ සිට හුණුගල් ව්‍යාප්තියක් දක්නට ලැබෙනවා.”

“පුනරීන්, පොන්නාවේලි කියන ප්‍රදේශවලත් හුණුගල් නිධියේ පිහිටීමත් එලෙසමයි.ඔය කියන ප්‍රදේශයන්හි වතුර මට්ටම භූගත මට්ටමේ සිට අඩි දෙක තුනකින් තමයි තිබෙන්නේ.සාමාන්‍යයෙන් ලවණ සහිත වතුරක් තමයි පුනරීන් ප්‍රදේශයේ තිබෙන්නේ.”

“හුණුගල් කැඩීමට භූමිය හෑරීම තුළින් ලවණ ජලය ගොඩබිමට ගලාඒමේ අවධානමක් තිබෙනවා. ඔය කියන ව්‍යාපෘතිය වෙනුවෙන් පරිසර වාර්තාවක් ලබාගෙන තිබිය යුතුයි.එහිදි සියළු වාර්තාවන්ට අනුමැතිය ලබාගත යුතු වෙනවා.පරිසරයට කිසිදු හානියක් නොවන අයුරින් ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතුයි.” මහාචාර්යවරයා පැවසීය.

“පුනරීන් ආශ්‍රිත ප්‍රදේශවල අධි සංවේදි පරිසර භූමියක් තිබෙන්නේ.එවැනි භූමියක පරිසර හානියක් සිදුවුවහොත් නැවත ප්‍රතිනිර්මාණය කිරීම ඉතා අපහසු විය හැකියි”

“කෙසේ නමුත් රට සංවර්ධනයට අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සිදුකළ යුතුයි නම් පරිසරයට දිගු කාලීනව හා කෙටි කාලීනව කිසිදු අයුරකින් හානියක් නොවන අයුරින් ක්‍රියාත්මක කළ යුතුයි.” යනුවෙන් ඔහු අවධාරණය කළේය.

හුණුගල් කැණීමේ ව්‍යාපෘතිය භාර ආයතනයේ ප්‍රතිචාරය

හුණුගල් කැණීමේ ව්‍යාපෘතිය භාර ආයතනයෙන් කරුණු විමසීමේදී අදාළ ව්‍යාපෘතියේ සේවයේ නිරත නම හෙළි නොකරන ලෙස සඳහන් කළ නිලධාරියෙකු අප වෙත පැවසුවේ ,“අපි දැනට පොන්නාවේලි කියන ගම්මානයේ හුණුගල් කැණීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන්න අවසර ඉල්ලලා තිබෙනවා. ඒ වැඩසටහනෙන් ගම්මානය දියුණු වෙනවා මිසක් ගම්මානයේ ජනතාවට පීඩාවක් ඇතිවෙන්නේ නෑ.අපේ ව්‍යාපෘතිය හරහා අවට ගම්මානවල ජනතාවට රැකී රක්ෂා විශාල ප්‍රමාණයක් ලබාගන්න පුළුවන්.නියමිත පාරිසරික වාර්තා හා පාරිසරික ආරක්ෂණ ක්‍රම අනුගමනය කරලා,පරිසරයට හානියක් නොවන විදියට,සියළු රාජ්‍ය ආයතන අවසරය මත තමයි අපි අපේ ව්‍යාපෘතිය සිදු කරන්න බලාපොරොත්තුව.”