ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන: 'මුද්‍රිත මාධ්‍යත් මාධ්‍යවේදීන්ගේ රැකියාත් අනතුරේ'

Published

මේ වන විට පුවත්පත් මාධ්‍ය ක්ෂේත්‍රය "අභියෝග රැසකට මුහුණ දී ඇති අතර, පුවත්පත් මාධ්‍යකරුවන්ගේ වෘත්තීන් පවා අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇති" බව, 2022 ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේ යාවජීව විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රවීණ මාධ්‍යවේදිනී සීතා රංජනී බීබීසී සිංහල සේවයට පැවසීය.

"ඉස්සර පුවත්පත් මාධ්‍යයට ලොකු පිළිගැනීමක් තිබුණා සමාජය තුළ. පුවත්පත් මාධ්‍යවේදීන් අතීතයේ ගොඩක් බලවත්ව සිටියා. දැන් ඒ තත්ත්වය වෙනස්වෙලා. දැන් විද්‍යුත් මාධ්‍ය සහ ඉන්ටර්නෙට් මාධ්‍යවලට ලොකු පිළිගැනීමක් ලැබිලා තියෙනවා. පුවත්පත් හෙවත් මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයට මේක ලොකු අභියෝගයක්."

කොරෝනා වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් පුවත්පත් මාධ්‍ය ක්ෂේත්‍රය බෙහෙවින් කඩා වැටී ඇති බව ඇය සඳහන් කළා ය.

"එක අතකින් වෙළෙඳ ක්ෂේත්‍රය කඩා වැටිලා නිසා ඔවුන් පුවත්පත්වල දැන්වීම් පළ කිරීම අඩු කරලා තියෙනවා. තවත් පැත්තකින් ජනතාව මුදල් හිඟකම්වලින් පෙළෙන නිසා පුවත්පත් මිල දී ගැනීම අඩු වෙලා තියෙනවා. ඒ නිසා පුවත්පත් කර්මාන්තය බිඳ වැටිලා මාධ්‍යවේදීන්ගේ වැටුප් පවා නිසි පරිදි නොගෙවන තත්ත්වයක් උද්ගත වී තිබීම දුක්ඛිත තත්ත්වයක්," සීතා රංජනී පැවසීය.

2022 ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල දෙසැම්බර් 13 වන දා රාත්‍රියේ පැවැත්විණි. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය සහ කර්තෘ සංසදය ඒකාබද්ධව සංවිධානය කරන 24 වන සම්මාන උළෙල එය යි.

එහිදී, යාවජීව ජනමාධ්‍ය විශිෂ්ටයින් පස්දෙනෙකුට සම්මාන පිරිනැමිණි.

ඒ, එච්.එල්.ඩී. මහින්දපාල, සීතා රංජනී, ස්ටැන්ලි සමරසිංහ, සින්නතුරෙයි තිලෙයිනාදන් සහ එම්.ඒ.එම්. නිලාම් යන ප්‍රවීණයන් වෙනුවෙනි.

මෙවර සම්මාන උළෙලේ දී වසරේ විශිෂ්ටතම මාධ්‍යවේදියාට පිරිනැමෙන මර්වින් ද සිල්වා සම්මානය සිලෝන් ටුඩේ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ සුලෝචනා රාමයියා මෝහන්ට පිරිනැමිණි.

ඊට අමතරව පිරිනැමුණු ප්‍රධාන සම්මාන කිහිපයක තොරතුරු පහත දැක්වේ.

  • වසරේ විශිෂ්ටතම ක්‍රීඩා මාධ්‍යවේදියා (සිංහල/දෙමළ/ඉංග්‍රීසි) - ෆවුස් මොහොමඩ් (සිළුමිණ)/ එන්.එල්. රාජ් (තිනක්කුරල්)/ ජැනිස්ටර් පෙරේරා (සන්ඩේ මෝර්නිං)
  • වසරේ විශිෂ්ටතම තීරු ලිපි රචකයාට පිරිනැමෙන බී.ඒ. සිරිවර්ධන සම්මානය (සිංහල/දෙමළ/ඉංග්‍රීසි) - නිමල් ෆ්‍රැන්සිස් (ඉරිදා දිවයින)/ එස්. සිවකුමාරන් (වීරකේසරී)/ ඩිල්ෂානි පළුගස්වැව (සිලෝන් ටුඩේ)
  • විශිෂ්ටතම විශේෂාංග මාධ්‍යවේදියාට පිරිනැමෙන උපාලි විජේවර්ධන සම්මානය (සිංහල/දෙමළ/ඉංග්‍රීසි) - තරංගා රත්නවීර (ඉරිදා දිවයින)/ හස්තානි රාධක්‍රිෂ්ණන් (වීරකේසරී)/ තරුෂි වීරසිංහ (ද සන්ඩේ ටයිම්ස්)
  • විශිෂ්ටතම ගවේෂණාත්මක මාධ්‍යවේදියා - ලලිත් චමින්ද (දිවයින)
  • විශිෂ්ටතම තරුණ මාධ්‍යවේදියාට පිරිනැමෙන ඩෙන්සිල් පීරිස් සම්මානය - තරුෂි වීරසිංහ (ද සන්ඩේ ටයිම්ස්)
  • විශිෂ්ටතම කාටූන් ශිල්පියා (සිංහල/දෙමළ/ඉංග්‍රීසි) - අවන්ත ආටිගල (අද)/ එස්. ධර්මදාස් (වීරකේසරී)/ බණ්ඩාර ඒකනායක (ඩේලි මිරර්)

ඉහත සඳහන් සම්මාන ඇතුළු සම්මාන 36ක් සහ කුසලතා සම්මාන 16ක් මෙවර සම්මාන උළෙලේ දී පිරිනැමිණි.

මේ අතර, පුවත්පත් මඟින් පවත්වාගෙන යන වෙබ් අඩවි වෙනුවෙන් ද එක් සම්මානයක් පිරිනැමිණි.

මෙම සම්මාන උළෙලේ විනිශ්චය මණ්ඩලය වූයේ, රජිතා වීරකෝන් (සභාපති), අමල් ජයසිංහ, ලක්ෂ්මන් වික්‍රමසිංහ, පුෂ්පා රොවෙල්, පර්සි ජයමාන්න, වී. ධනබාලසිංහම්, මහාචාර්ය ඒ.එස්. චන්ද්‍රබෝස්, ඩිනාලි ප්‍රනාන්දු, සමුද්‍ර වෙත්තසිංහ, ආචාර්ය හංසමාලා රිටිගහපොළ සහ ඩයන් ස්කූමන් යන ප්‍රවීණයන් ය.

‘මාධ්‍ය සම්මාන වෙනස් විය යුතුයි’

සම්මානලාභී ප්‍රවීණ මාධ්‍යවේදිනී සීතා රංජනී පෙන්වා දුන් පරිදි පුවත්පත් කර්මාන්තයට එල්ල වී ඇති අභියෝගවලට මුහුණදීම සඳහා එම කර්මාන්තය යාවත්කාලීන විය යුතු බව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය මධුභාෂිණී හේවගේ පවසයි.

"පුවත්පත් මාධ්‍ය ක්ෂේත්‍රය ශ්‍රී ලංකාවේ විතරක් නෙවෙයි සමස්ත ලෝකය පුරා ම අභියෝගයකට ලක්වෙලා තියෙනවා. ඒකට හේතුව විද්‍යුත් මාධ්‍ය සහ ඉන්ටර්නෙට් මාධ්‍ය වඩා බලවත්ව ඉදිරියට ගොස් තිබීම. ලෝකයේ තාක්ෂණය මිනිසුන්ට වඩා සමීප වුණාම පුවත්පත් විතරක් නෙවෙයි රූපවාහිනිය පවා අභියෝගයට ලක් වෙනවා," මහාචාර්යවරිය පෙන්වා දුන්නා ය.

ඇය පෙන්වා දුන්නේ, මෙවැනි තත්ත්වයක් මත පුවත්පත් ක්ෂේත්‍රය මෙන් ම පුවත්පත් සඳහා සම්මාන පිරිනමන ආයතන ද යාවත්කාලීන විය යුතු බව ය.

"දැන් මේ ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල උදාහරණයක් විදිහට ගත්තත්, මේ සම්මාන උළෙලේ මේ පාර එක සම්මානයක් තමයි වෙබ් අඩවි වෙනුවෙන් පිරිනමා තිබෙන්නේ. ඒත් දැන් පුවත් කියවන පාඨකයින්ගේ වැඩි නැඹුරුවක් තියෙන්නේ වෙබ් අඩවි වෙත. ඒ නිසා ඉන්ටර්නෙට් ආශ්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රය ගොඩක් ඉදිරියට ගිහින් තියෙනවා. ලෝකයේ ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන ගොඩක් ගුවන් විදුලිය, පුවත්පත් අතහැරලා රූපවාහිනී සහ ඉන්ටර්නෙට් මාධ්‍ය පවත්වාගෙන යනවා. ඒ අතරින් රූපවාහිනියත් දැන් අභියෝගාත්මක තත්ත්වයක තියෙන්නේ. ඉතින් මාධ්‍ය සම්මාන උළෙලක දී වෙබ් අඩවි ආශ්‍රිත මාධ්‍යවේදීන්ට සම්මාන වැඩි සංඛ්‍යාවක් පිරිනැමීම කළ යුතු ම දෙයක්."

මහාචාර්ය මධුභාෂිණී හේවගේ වැඩිදුරටත් පෙන්වා දුන්නේ, මුද්‍රිත මාධ්‍ය ආයතන ද ඉන්ටර්නෙට් මාධ්‍ය කෙරෙහි අවධානය යොමු නොකළහොත් මාධ්‍යවේදීන් රැසකගේ රැකියාවන් අවිනිශ්චිත වනු ඇති බව ය.

"මාධ්‍ය ආයතනවලට විතරක් නෙවෙයි, මාධ්‍යවේදීන්ටත් අභියෝගයට මුහුණ දෙන්න වෙයි. අලුත් තාක්ෂණික ක්‍රම ඔස්සේ වෙනස් වන මාධ්‍ය ක්ෂේත්‍රයන්ට අවශ්‍ය දැනුම් ඔවුන් උකහා නොගත්තොත් ඔවුන්ට ක්ෂේත්‍රයේ රැඳී ඉන්න එක දුෂ්කර වෙයි."