ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ධාවනයට නුසුදුසු වාහන තහනම් කිරීම අරඹයි: 'නුසුදුසු වාහන' වර්ග කරන්නේ කොහොම ද?
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
අනතුරු අවම කර ගැනීමේ සහ අනතුරුවලින් සිදුවන හානිය අවම කර ගැනීමේ අරමුණින් මාර්ගයේ ධාවනයට නුසුදුසු වාහන පරීක්ෂා කිරීමේ මෙහෙයුමක් පොලිසිය විසින් ආරම්භ කරනු ලැබ තිබේ.
මීට පෙර ද මෙවැනි වාහන යෝග්‍යතාව පරීක්ෂා කිරීම් සිදුවූ බවත් එම පරීක්ෂාවන් තවදුරටත් පුළුල් කරමින් මෙසේ ධාවනයට නුසුදුසු වාහන හඳුනා ගැනීමේ මෙහෙයුම් දිවයින පුරා ම ක්‍රියාත්මක කරන බවත් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර බීබීසී සිංහල සේවයට පැවසීය.
එම මෙහෙයුම් සඳුදා (ජූනි 29) සිට අධිවේගී මාර්ගවල පරීක්ෂා කිරීම්වලින් ආරම්භ කළ බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ ය.
'අනතුරු අඩු කිරීම සහ අනතුරකින් අනිත් පාර්ශවයන්ට වන හානිය අඩු කිරීම'
"මෙහෙයුමේ ප්‍රධාන අරමුණ තමයි අනතුරු අඩු කිරීම සහ අනතුරකින් අනිත් පාර්ශවයන්ට වෙන හානිය අඩු කරන එක. මේ අනතුරුවලින් ගොඩක් මැරෙන්නේ පදිකයෝ. අනතුරුවලදී හානි වෙන්න ගොඩක් හේතු වෙලා තියෙන්නේ වාහනවල ෆ්ලෙක්සිබිලිටි එක නැති එක. අනතුරුවල ඩැමේප් එක අඩු කරන්න සහ අනිකුත් රියැදුරන්ට එයාලට වෙන පීඩාව නවත්වන්න," මෙම මෙහෙයුමේ අරමුණ පැහැදිලි කරමින් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා පැහැදිලි කළේ ය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ අනුමැතිය සහිතව මෙරටට ගෙන්වන වාහනවලට අමතර උපාංග සවි කිරීමට එම දෙපාර්තුමේන්තුවේ අවසරය සහ අනුමැතිය ලබා ගත යුතු ය.
එහෙත්, එසේ අවසරයකින් තොර අනතුරුදායක උපාංග මෙරට වාහනවල සවි කර ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ ය.
මෙම මෙහෙයුම් මෝටර් වාහන පරීක්ෂකවරුන්ගේ ද සහය ඇතිව ක්‍රියාත්මක කිරීමට පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් දී ඇති බව ද රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ ය.
ධාවනයට නුසුදුසු වාහන ධාවනය කිරීම තහනම්!
මෙලෙස පරීක්ෂා කිරීම්වලදී ධාවනයට නුසුදුසු බවට අනාවරණය වුවහොත් එම වාහන ධාවනයට තහනම් නියෝග නිකුත් කරන අතර අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
"වාහන චෙක් කරලා ධාවනයට නුසුදුසු වාහන පාරේ ධාවනයට තහනම් නියෝග නිකුත් කරන්න, අධිකරණයට ඉදිරිපත් කරන්න ඒ මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා."
"වාහන ගොඩක් එක එක විදියට මොඩිෆයි කරලා තියෙනවා. ඒවයින් අනතුරු වුණා ම අනිත් පාර්ශවයට ඩැමේජ් එක වැඩි යි. සමහර ඒවායේ බෆර්ස් හයි කරලා තියෙනවා. මොඩිෆයි කරපු පැති කණ්ණාඩි හයි කරලා තියෙනවා. රෑට ලයිට් තොරණ වගේ දාගෙන යනවා ඒවා අනිත් වාහනවලට ලොකු හිරිහැරයක් එතකොට රියැදුරන්ගේ අවධානය වෙනස් වෙනවා. ඒ වගේ ගොඩක් ප්‍රශ්න තියෙන ඒවා පොලිසිය භාරයට ගන්න කියලා තියෙනවා. භාරයට ගත්තොත් පරීක්ෂකගේ රිපෝර්ට් එක අරන් තහනම් නියෝග නිකුත් කරනවා. ඊට අමතරව අධිකරණයට ඉදිරිපත් කරනවා," නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කළේ ය.
කළු දුම් සහිත වාහන හා අබලන් වාහන සඳහා ගන්නා ක්‍රියාමාර්ග
ඊට අමතරව, කළු දුම් පිට කරන වාහන හා නිසි ආකාරයෙන් නඩත්තු නොකරන වාහන ද මෙහිදී පරීක්ෂාවට ලක් කෙරෙන අතර නිසි නඩත්තුවෙන් තොර හෝ අබලන් වාහන සඳහා අවවාද කර දඩ නියම කිරීමට පොලිසියට උපදෙස් දී තිබේ.
කළු දුම් සහිත වාහන මෝටර් වාහන පරීක්ෂකවරුන්ගේ පරීක්ෂාවට ලක් කර අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට මෙන් ම තහනම් නියෝග නිකුත් කිරීමට ද පියවර ගන්නා බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර බීබීසී සිංහල සේවයට පැවසීය.
මහ පාරේ රේස් පදින, තනි රෝදයෙන් යන 'භයංකාර තරුණ රැල්ල'
යතුරු පැදවලින් වන මාර්ග අනතුරු ඉහළ ගොස් ඇති බව සහ තරුණයන් පදවන යතුරු පැදිවලින් විශාල මහජන පීඩාවක් සිදුවන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා මෑතකදී පැවති මාධ්‍ය හමුවකදී පෙන්වා දුන්නේ ය.
"අපේ රටේ විශාල වශයෙන් තියෙන්නේ යතුරු පැදි. තමන්ගේ ප්‍රවාහන අවශ්‍යතාව සපුර ගන්න නේ මේ බයිසිකල් ගෙන්වන්නේ. මේවා රේස් පදින්න නෙමෙයි තමන්ගේ ගමනාගමනය පහසු කර ගන්න තියෙන්නේ. වේග සීමා යටතේ යන්න, ආරක්ෂිත දේවල් පැළඳගෙන යන්න, ඒ වගේ ලෝ බජට්වලට ගෙන්නපු ඒවා රේස් පදින්න යනවා, තනි රෝදෙන් යන්න යනවා ඒ වගේ තරුණ රැල්ල ඉතා භයංකරයි."
නිසි අවසරයින් තොර උපාංග සවිකර ඇති හෝ අධික ශබ්දය සහිත සයිලන්සර් සවි කර ඇති යතුරු පැදි පොලිස් භාරයට ගැනීමට මෙන් ම එවැනි ක්‍රියාකාරකම්වලට සම්බන්ධ තරුණ යතුරු පැදි රියැදුරන් මත්ද්‍රව්‍ය පරීක්ෂාවට ලක් කිරීමට ද උපදෙස් දී ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර එහිදී සඳහන් කළේ ය.