දිගුදුර දිවීමේදී කාන්තාවන් පිරිමින්ට වඩා දක්ෂ ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, සාරා ඩෝකින්ස්
- Role, BBC ක්‍රීඩා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 9
"මේ තරගය කාන්තාවන්ට ගොඩක් අමාරු යි. ඒක ජය ගන්න තරම් ශක්තියක් ඇත්තට ම ඔවුන්ට නැහැ."
ඒ, ලොව අපහසු ම දිගු දුර දිවීමේ (ultramarathon) තරගවලින් එකක් වන බාක්ලි මැරතන් තරගයේ අධ්යක්ෂ ලාසරස් ලේක්ගේ වචන යි. මේ දක්වා ඊට සහභාගී වූ 1,000කට ආසන්න පිරිසෙන් එය සම්පූර්ණ කිරීමට හැකි වී තිබෙන්නේ, 20 දෙනෙකුට පමණි.
2015 වසරේදී ඔහු මෙම ප්‍රකාශය කරමින්, එම ප්‍රකාශය වැරදි බව ඔප්පු කර පෙන්වන ලෙස අභියෝග කළ අතර, බ්‍රිතාන්‍ය ජාතික දුර දිවීමේ ක්‍රීඩිකාවකට එය එලෙස ම ඔප්පු කර පෙන්වීමට වසර නවයක් ගත විය.
පැය 60ක කාල සීමාව අවසන් වීමට මිනිත්තු 1යි තත්පර 39ක් පමණක් ඉතිරිව තිබියදී අතිශය දුෂ්කර සැතපුම් 100ක ධාවන තරගය සාර්ථකව නිම කළ ස්කොට්ලන්තයේ ජැස්මින් පැරිස්, ඉතිහාසගත ජයග්‍රහණයක් අත්කර ගනිමින් දිගු දුර ධාවන ඉතිහාසය තුළ සිය නාමය නොමැකෙන ලෙස සටහන් කළා ය.
නමුත් දැන් තවත් කාන්තාවෝ ඇය හා එක්වෙමින් සිටිති.
පසුගිය ගිම්හානයේදී, ඩර්බිෂයර් සිට ස්කොට්ලන්තය දක්වා පැවැත්වෙන අතිශය දුෂ්කර 'මොන්ටේන් සමර් ස්පයින්' තරගයේ ප්‍රථම වතාවට පළමු සහ දෙවන ස්ථාන කාන්තාවන් සතු කර ගැනීමට සමත් විය. ලැයිස්තුවට අලුතින් ම එක්වෙමින්, පසුගිය මැයි මාසයේදී ඇරිසෝනාහි පැවැත්වුණු 'කොකොඩෝනා 250' තරගයෙන් සමස්ත ජයග්‍රහණය ලබා ගත් ප්‍රථම කාන්තාව බවට පත්වීමට රේචල් එන්ට්රෙකින් සමත් වූයේ, නව තරග වාර්තාවක් ද පිහිටුවමිනි. එමෙන් ම, පසුගිය මාසයේදී සෝෆි වුඩ්ස්, 'වියා ඇල්පිනා' තරගයේ සමස්ත වාර්තාව දින හයකින් බිඳ හෙළමින් එය සාර්ථකව නිම කිරීමට සමත් විය.
දැන් පෙනී යන්නේ, කාන්තා ධාවකයන් හුදෙක් දිගු දුර දිවීමේ තරග සඳහා සහභාගී වීම පමණක් සිදු නොකරන බව ය. ඔවුහු පිරිමි ධාවකයන් සමග කරට කර තරග වදිමින්, වාර්තා බිඳ හෙළමින් සහ සමහර අවස්ථාවලදී තරගවල සමස්ත ජයග්‍රහණය ම සතු කර ගැනීමට සමත් වෙති.
මේ සියල්ල හේතුවෙන්, සමහරවිට කාන්තාවන් මෙවැනි අසීරු අභියෝග සඳහා වඩාත් සුදුසු බවට අදහස් පළ වී තිබේ.
නමුත් මේ සඳහා කිසියම් විද්‍යාත්මක සාක්ෂියක් තිබේ ද? පැය හයකට වඩා වැඩි කාලයක් ගත වන ඕනෑ ම විඳදරා ගැනීමේ ව්‍යායාමයකදී කාන්තාවන්ට සැබවින් ම කිසියම් කායික විද්‍යාත්මක හෝ මානසික විද්‍යාත්මක වාසියක් තිබේ ද? එසේ නම්, අනාගතයේදී මෙවැනි තවත් වාර්තා බිඳ වැටෙනු අපට දැකගත හැකි වේවි ද?

ඡායාරූප මූලාශ්‍රය, Zoe Salt
'ස්ත්‍රී පුරුෂ වේග පරතරය' අඩු වන්නේ කෙසේ ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මැරතන් තරග දක්වා වන දිවීමේ ඉසව්වලදී, සාමාන්‍යයෙන් පිරිමි සහ ගැහැනු ධාවකයන් අතර 10%ත් 12%ත් අතර කාර්යසාධන (වේගයේ) පරතරයක් පවතී.
පිරිමින් සාමාන්‍යයෙන් වඩා ශක්තිමත් වන අතර, ඔවුන් වැඩි ඔක්සිජන් ධාරිතාවක් සහිත හෘද සහ පෙනහලු පද්ධතියකින් යුක්තව නිර්මාණය වී ඇත.
නමුත් ධාවන දුර ප්‍රමාණය වැඩිවත් ම, එම ශාරීරික වාසි එතරම් වැදගත් නොවන බව පෙනී යන අතර පිරිමි සහ කාන්තා ධාවකයන් අතර පවතින පරතරය ක්‍රමයෙන් අඩු වීමට පටන් ගනී.
අන්තර්ජාතික දිගු දුර ධාවකයන්ගේ සංගමය සමග එක්ව 'රන්රිපීට්' ආයතනය විසින් වසර 20කට වඩා පැරණි ආධුනික දිගු දුර ධාවන දත්ත ඇසුරෙන් කරන ලද අධ්‍යයනයකට අනුව, සැතපුම් 100ක තරගවලදී මෙම 'ස්ත්‍රී පුරුෂ වේග පරතරය' 0.25% තරම් සුළු අගයක් දක්වා අඩු වේ.
සැතපුම් 195කට වඩා වැඩි ඕනෑ ම දුර ප්‍රමාණයකදී, කාන්තාවන්ට පිරිමින්ට වඩා වේගවත් වීමේ හැකියාව පවතී.
එසේ නම්, මෙවැනි තත්ත්වයක් ඇති වීමට හේතුව කුමක් විය හැකි ද?
එක්සෙටර් විශ්වවිද්‍යාලයේ දරාගැනීමේ කාර්යසාධනය පිළිබඳ විශේෂඥයෙකු වන මහාචාර්ය ඇන්ඩි ජෝන්ස්ට අනුව, වැඩි දුරක් හෝ වැඩි කාලයක් ධාවනය කිරීමේදී කාන්තාවන්ට වඩා හොඳින් දක්ෂතා දැක්වීමට හැකි වීමට හේතු වන විභව කායික විද්‍යාත්මක පැහැදිලි කිරීම් තුනක් තිබේ.
මේද පරිවෘත්තිය – කාන්තාවන් සතුව ඉහළ මේද තැන්පතු පවතින අතර ඔවුහු එය වඩාත් කාර්යක්ෂමව දහනය කරති. එමගින් ඔවුන්ට දිගු වේලාවක් පුරා ස්ථාවර ශක්ති ප්‍රභවයක් ලැබේ.
මාංශ පේෂි – කාන්තාවන් සතුව වඩාත් කාර්යක්ෂම ලෙස ඔක්සිජන් භාවිත කරන, 'ස්ලෝ ට්විච්' ලෙස හැඳින්වෙන පේශි තන්තු බහුලව පවතී. මේවා විඳදරා ගැනීමේ ක්‍රියාකාරකම් සඳහා වඩාත් හොඳින් ගැළපේ.
විඩාවට ඔරොත්තු දීමේ හැකියාව – පැය ගණනාවක් පුරා සිදු කරන විඳදරා ගැනීමේ ව්‍යායාම්වලදී කාන්තාවන් සතු ශක්තිය වඩාත් හොඳින් ආරක්ෂා වී පවතී.
කෙසේ වෙතත්, 2019 වසරේදී එලියුඩ් කිප්චෝගේගේ පැය දෙකට අඩු මැරතන් අභියෝගයේදී ප්‍රධාන භූමිකාවක් ඉටු කළ ජෝන්ස්, මෙම ක්ෂේත්රයට අදාළ විද්‍යාත්මක පර්යේෂණ තවමත් 'පසුපසින්' පවතින බව පෙන්වා දීමට බෙහෙවින් උනන්දු වෙයි.
"දිගු කලක් තිස්සේ විස්තරාත්මකව අධ්‍යයනයට ලක්ව ඇති කෙටි දුර සම්බන්ධයෙන් පවතින තරම් ප්‍රබල සාක්ෂි මේ සඳහා නැහැ," ඔහු වැඩිදුරටත් පවසයි.
එය, එක්සත් රාජධානියේ ක්‍රීඩා ආයතනයේ කාන්තා මලල ක්‍රීඩක සෞඛ්‍ය සහ කාර්යසාධන අංශයේ සම-ප්‍රධානී ආචාර්ය රිචඩ් බර්ඩන් ද දරන අදහසකි. අවසන් නිගමනවලට එළඹීමට පෙර තවත් බොහෝ තොරතුරු රැස් කළ යුතු බව ඔහුගේ අදහස යි.
"මේ මොහොතේ අප කරන්නේ උපකල්පනයන් විතර යි… දිගුදුර තරග සඳහා වාසිදායක වන, පිරිමින්ට වඩා කාන්තාවන් තුළ බහුලව දක්නට ලැබෙන සමහර කායික විද්‍යාත්මක හැඩගැසීම් අනිවාර්යයෙන් ම පවතිනවා. නමුත් ඒවා වඩාත් හොඳින් තහවුරු කර ගත යුතු අතර ඒ සඳහා තවදුරටත් අධ්‍යයනයන් කළ යුතු යි."
"මේ මොහොතේ අප අනුමාන කරමින් ඉන්නවා... අතිශය දුෂ්කර තරග ඉසව් සඳහා හිතකර ඇතැම් කායික අනුවර්තන පිරිමින්ට වඩා කාන්තාවන් තුළ නිසැකව ම පවතින බව ඔබ දකිනවා. නමුත් ඒවා වඩා හොඳින් තහවුරු කළ යුතු අතර තවත් අධ්‍යයනයන් සිදු කිරීම අවශ්‍ය යි.''
'ඒක මානසික ශක්තිය පිළිබඳ කාරණයක්'

ඡායාරූප මූලාශ්‍රය, Zoe Salt
කායික විද්‍යාව, කෙසේ වෙතත් ඔබව යම් දුරකට රැගෙන යයි. බහු - දින තරග, නින්ද නොලැබීම, දුෂ්කර භූමිය සහ පාරිසරික තත්ත්ව වැනි අති-ධාරිතා ව්‍යායාමවල යථාර්ථය අදහස් කරන්නේ, අවසන් රේඛාව වෙත යන ගමන භෞතික මෙන් ම මානසික අභියෝගයක් ද වන බව ය.
සොෆී වුඩ්ට අනුව කාන්තාවන්ට වාසිය හිමි වන ස්ථානය මෙය යි.
"අවශ්‍ය වන්නේ ආරම්භයේදී ම වේගවත් ම පුද්ගලයා වීම නෙවෙයි," ඇය පවසයි. "වැදගත් වන්නේ සූදානම, මානසික ශක්තිය සහ වරදින අවස්ථාවලදී පවා දැඩි උත්සහය අඛණ්ඩව පවත්වා ගෙන යාමට ඇති හැකියාව යි."
නවසීලන්ත ක්‍රීඩිකාව 'වියා ඇල්පිනා' තරගයේ වාර්තාව බිඳ හෙළූ ධාවනයේදී, ඇයට කිසිසේත් බලාපොරොත්තු නොවූ දේවලට මුහුණ දීමට සිදු විය. ඇගේ ධාවන මාර්ගය වඩාත් දිගු සහ භයානක කළ ලැව්ගිනිවලින් ඇති වූ බාධාවන්ගේ සිට මැස්සන්ගෙන් ඇති වූ බාධා දක්වා වූ විවිධ දුෂ්කරතා ඊට ඇතුළත් විය.
"මම හොඳට ම මහන්සි වෙලා හිටියෙ, එතන මැස්සෝ ගොඩක් හිටියා. මට හැම දේ ම අතහැරලා හයියෙන් අඬන්න හිතුණා. නමුත් මට එහෙම කරන්න බැරි වුණා. මොක ද මම එක තැනක නැවතුණොත් උන් මට විදින්න පටන් ගන්නවා," ඇය පවසයි.
"මම හිතන්නේ අනුවර්තනය වීමට සහ අප යමක් ආරම්භ කළ පසු අවසානය දක්වා අඛණ්ඩව ගමන් කළ යුතු බව වටහා ගැනීමට කාන්තාවන් සැබවින් ම දක්ෂ යි."
පසුගිය මාසයේදී ඇල්ප්ස් කඳුවැටියේ පැවැත්වුණු කීර්තිමත් 'අල්ට්රා-ට්‍රේල් මොන්ට් බ්ලැන්ක් CCC' තරගය දෙවරක් ජය ගත් ප්‍රථම කාන්තාව බවට පත්වූ ඉන්ග්විල්ඩ් කැස්පර්සන් ද එම අදහස අනුමත කරයි. ඇය සිය ජයග්‍රහණයට හේතුව ලෙස දක්වන්නේ, පුහුණුවීම් අතරතුරදී ඇය තමාට ම හුරු කරවන 'මානසික ක්‍රීඩාව' යි.
වෘත්තීය මලල ක්‍රීඩිකාවක ලෙස මෙන් ම පවුලේ වෛද්‍යවරියක ලෙස ද තම ජීවිතය සමබරව පවත්වාගෙන යන මෙම නෝර්වීජියානු ක්‍රීඩිකාව, කාන්තා අති-දීර්ඝ දුර ධාවකයන් මෙතරම් ශක්තිමත් වීමට ඇති තවත් හේතුවක් විශ්වාස කරයි. එනම්, ඔවුන්ගේ ප්‍රජාව තුළ පවතින අන්‍යෝන්‍ය සහයෝගීතාව සහ මිත්‍රත්වය වෙනත් කිසිදු ක්ෂේත්රයකට සම කළ නොහැකි තරම් ඉහළ මට්ටමක පැවතීම ය.
"අපි එකිනෙකා සමග තරග වදින ප්‍රතිවාදීන් වුණත්, තරගවලදී වඩා හොඳින් දක්ෂතා දැක්වීම සඳහා අපි එකිනෙකා දිරිමත් කරනවා, ඉදිරියට ම තල්ලු කරනවා," ඇය පවසයි. "මේ වසරේ කාන්තා ජයග්‍රාහක වේදිකාවන් දෙස බැලුවහොත්, අප එකිනෙකාට කොතරම් සමීපව සිටිනවා ද සහ එහිදී අප කොච්චර සහයෝගයෙන් එකට දිව්වා ද යන්න පැහැදිලි වෙනවා - ඒක ඇත්තෙන් ම ඉතා සුවිශේෂී දෙයක්. මම ඒ ප්‍රජාවේ සහ ඒ කාන්තා කණ්ඩායමේ සාමාජිකාවක් වීම පිළිබඳව බෙහෙවින් ආඩම්බර වෙනවා."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එසේ නම්, කාන්තාවන් වඩාත් ඔරොත්තු දීමේ හැකියාවෙන් යුක්ත වීමට හේතුව අපට පැහැදිලි කළ හැකි ද?
මලල ක්‍රීඩක පෝෂණය සහ හෝමෝන සෞඛ්‍යය පිළිබඳ විශේෂඥවරියක වන ක්‍රීඩා පෝෂණවේදිනී රෙනී මැක්ග්‍රෙගර් විශ්වාස කරන්නේ, මේ සඳහා වන පිළිතුර ලැබෙන්නේ කාන්තා ශරීරයෙන් ම බවයි.
මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පෝෂණය සහ හෝමෝන සෞඛ්‍යය පිළිබඳ විශේෂඥ, ක්‍රීඩා පෝෂණවේදී රෙනී මැක්ග්‍රෙගර් විශ්වාස කරන්නේ, පිළිතුර ලැබෙන්නේ කාන්තා ශරීරය තුළින් ම බව ය.
කාන්තාවන් වැඩිවියට පත්වන මොහොතේ සිට ම, අපට මුහුණ දීමට සිදු වන්නේ නිරන්තරයෙන් වෙනස් වන හෝමෝන පද්ධතියකට," ඇය පවසයි.
"අපි කිසිදිනෙක ඒ සඳහා අපට ම ගෞරවය දෙන්නේ නැහැ, ඒක කාන්තාවක් වීමේ එක්තරා කොටසක් ලෙස පමණ යි පිළිගැනෙන්නේ. නමුත් ඇත්ත වශයෙන් ම එය තනිව ම විඳදරා ගැනීමක් සහ බොහෝවිට අපගේ ඔරොත්තු දීමේ හැකියාවේ විශාල කොටසක් පැමිණෙන්නේ එතැනින් කියල යි මම හිතන්නේ.''
දිගුදුර ධාවන ක්‍රීඩිකාවක වන මැක්ග්‍රෙගර්, පර්යේෂණ උපුටා දක්වමින් පෙන්වා දෙන්නේ, දුර ධාවන තරගවලදී කාන්තා ධාවකයන් පිරිමින්ට වඩා බෙහෙවින් විනයගරුක සහ සමබර ධාවන වේග උපක්‍රම ප්‍රදර්ශනය කරන බව ය. ඇය මෙය හඳුන්වන්නේ කාන්තා 'මොළයේ බැංකුව' උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීමක් ලෙස ය.
"කාන්තාවන් මෙවැනි තරගවලට සහභාගී වන්නේ දැඩි කල්පනාකාරීත්වයකින් සහ හදිසි අවස්ථාවන්ට මුහුණ දීමේ සැලසුමක් නොමැතිව කියා මම හිතන්නේ නැහැ," මැක්ග්‍රෙගර් වැඩිදුරටත් පවසයි.
"උදාහරණයක් ලෙස, ඔබ ගර්භණීභාවයක් පසු කරමින් ඔක්කාරය වැනි තත්ත්වයන්ට මුහුණ දී තිබේ නම්, ඔබ දරුවෙකු ප්‍රසූත කර නින්ද නොමැතිව සිටීමේ අපහසුතාවට මුහුණ දී තිබේ නම්, නැතහොත් ඔබ මද සරුභාවයට ප්‍රතිකාර ලබා තිබේ නම්, ඔබට විශාල අපහසුතා ප්‍රමාණයකට මුහුණ දීමට සිදු වෙනවා. නමුත් ඔබ දන්නවා ඔබට එය ජය ගත හැකි බව. මම හිතන්නේ 'මට මේක ජය ගන්න පුළුවන්, මට මේකට විසඳුමක් හොයන්න පුළුවන්' යන එම අවබෝධය සහ විශ්වාසය යි වැදගත් වන්නේ."
'අභියෝගයට මුහුණ දීමට උත්සහ කරන්න'
මෙම ක්ෂේත්රය තුළ කාන්තාවන්ට පැවතිය හැකි කායික විද්‍යාත්මක සහ මානසික විද්‍යාත්මක වාසි පිළිබඳව අපට ස්ථිර නිගමනයකින් යුතුව කතා කිරීමට නොහැකි වීමට බලපා ඇති ප්‍රධානතම හේතුවක් වන්නේ, තරග සඳහා සහභාගී වන කාන්තාවන්ගේ සංඛ්‍යාව ඉතා අඩු මට්ටමක පැවතීම යි. දිගු දුර ධාවන තරගවල ආරම්භක සීමාවන්හි සිටින පිරිසෙන් කාන්තාවන් නියෝජනය කරන්නේ දළ වශයෙන් 20%ක් වැනි සුළු ප්‍රතිශතයක් පමණි.
ධාවන ක්ෂේත්රය තුළ පවතින ස්ත්‍රී පුරුෂ අසමානතා නිවැරදි කිරීම සඳහා බ්‍රිතාන්‍ය ජාතික දිගු දුර ධාවන ක්‍රීඩිකාවක වන සෝෆි පවර් විසින් පිහිටුවන ලද 'ෂී රේසස්' ජාලය මගින් කරන ලද පර්යේෂණවලින් පෙනී යන්නේ, මීට හේතු රාශියක් බලපාන බව ය. කාන්තාවන්ගේ හැකියාවන් පිළිබඳව සමාජය තුළ පවතින ආකල්ප, පුහුණුවීම් සඳහා අවශ්‍ය කාලය පිළිබඳව ඇති ගැටලු හෝ තරග පවත්වන ස්ථානවලදී ම ඔවුන්ට අවශ්‍ය නිසි සහයෝගය ලබා ගැනීමට ඇති බාධා ඒ අතර වේ.
සෙමින් නමුත් නිසැකව ම තත්ත්වය වෙනස් වීමට පටන්ගෙන තිබේ.
මෙම වසර මුලදී, නවසීලන්තයේ පැවති ට්‍රේල් තරගයක් 50:50 ස්ත්‍රී පුරුෂ සහභාගීත්වය ළඟා කර ගත් පළමු UTMB ලෝක ශ්‍රේණි ඉසව්ව බවට පත්වූ අතර, එක්සත් රාජධානියේ ප්රමුඛ පෙළේ ධාවන සැපයුම්කරුවෙකු එහි ඉසව්වලදී ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ඉලක්ක කර ගැනීම සඳහා නව මුලපිරීමක් දියත් කළේ ය.
දැන්, ආචාර්ය බර්ඩන්ට අනුව, සමාජය මානව ක්‍රියාකාරිත්වයේ සීමාවන් ගැන වෙනස් ආකාරයකින් කතා කරයි.
"ඓතිහාසිකව බලනකොට, බොහෝ අවස්ථාවලදී එය [මිනිසාගේ උපරිම සීමාවන්] තීරණය කරනු ලැබුවේ පිරිමි පිරිමි ක්‍රීඩා ඇසුරෙන්," ඔහු පවසයි. "නමුත් දැන් අපි එය පිරිමි කාර්ය සාධනයේ සීමාවන් සහ කාන්තා කාර්ය සාධනයේ සීමාවන් ලෙස වෙන් කර හඳුනා ගැනීමට පටන්ගෙන තිබෙනවා. එය අනිවාර්යයෙන් ම කළ යුතු වෙන් කිරීමක්... කෙසේ වෙතත්, මීට වඩා හොඳ සංසන්දනයන් සිදු කිරීම සඳහා, දිගුදුර තරග සඳහා තවත් බොහෝ කාන්තාවන් සහභාගි විය යුතුව තිබෙනවා."
ලොව වඩාත් ම දුෂ්කර දිගුදුර ධාවන තරගවලින් එකක් වන 'කොකොඩෝනා 250' තරගයේදී රේචල් එන්ට්රෙකින් ලැබූ ඓතිහාසික ජයග්‍රහණය, දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර 'අභියෝගයට මුහුණ දීමට උත්සහ කිරීමට' ලැබුණු මහඟු 'ආදර්ශයක්' ලෙස කැස්පර්සන් හඳුන්වයි.
එමෙන් ම, ආධුනික මට්ටමේදී, 22 හැවිරිදි දිගු දුර ධාවන ක්‍රීඩිකාවක වන එමලි ෆෙයාර්ස් වැනි අය ද සිටින අතර ඇය ඇගේ පුහුණුවීම් සහ තරගවල සැබෑ තත්ත්වයන් සමාජ මාධ්‍ය ඔස්සේ ලේඛනගත කරන්නේ, සෑම වයස් කාණ්ඩයකම වැඩි කාන්තාවන් පිරිසක් තරග ආරම්භය වෙත රැගෙන ඒමේ ඇගේ අරමුණේ කොටසක් වශයෙනි.
"දරාගැනීමේ පුහුණුවීම් ගැන කතා කිරීමේදී, ඊට ඇතුළත් වන සහ අප බිය වන බොහෝ දේ තිබෙනවා. නමුත් තවත් කාන්තාවක් එය කරනවා දකිනකොට, 'හරි, ඇයට එය කළ හැකි නම්, ඇය සතුව ඒ සඳහා අවශ්‍ය උපක්‍රම, දැනුම සහ මේ වගේ අසීරු අභියෝග ජය ගැනීමේ හැකියාව තිබෙනවා නම්, මටත් ඒක පුළුවන්. මම ඇගෙන් වෙනස් නැහැ, ඇය මගෙන් වෙනස් නැහැ' කියා අපට සිතෙනවා," ෆෙයාර්ස් පවසයි.
ඇගේ සමාජ මාධ්‍ය අන්තර්ගතයන් දැකීමෙන් තමන් ද ධාවන සපත්තු පැළඳීමට පෙළඹුණු ආකාරය පිළිබඳව කාන්තාවන්ගෙන් පණිවිඩ දහස් ගණනක් ලැබී ඇති බව පවසන ෆෙයාර්ස්, දිගු දුර ධාවන ක්ෂේත්රයේ කාන්තාවන් මෑතකදී ලබා ඇති මෙම සාර්ථකත්වයේ ප්රවණතා හුදෙක් ආරම්භයක් පමණක් බව විශ්වාස කරයි.
කාන්තා සහභාගීත්වයේ ප්‍රතිශතය මෙතරම් අඩු මට්ටමක පවතින විට, කාන්තාවන්ට සැබවින් ම කළ හැක්කේ කුමක් ද? යන්න පිළිබඳව අපට කිසිදු වැටහීමක් නැහැ. වැඩි වැඩියෙන් කාන්තාවන් වේගවත් වෙමින්, මෙම ක්‍රීඩාවට පිවිසෙමින්, තමන්ගේ සීමාවන් අභිබවා යමින් සහ වාර්තා බිඳ හෙළමින් සිටින අයුරු අපට දැන් දැකගත හැකි ය. එසේ නම්, තවත් වසර 10-15කින් අප කෙබඳු තැනක සිටී දැයි කිසිවෙක් නොදනිති.

































