එළිසබෙත් රැජින භාවිත කළ ආකාරයේ රතු පෙට්ටියක් ජනපතිට අවශ්‍ය වුණේ ඇයි?

Published

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත නිර්මාණය කර දුන් රතු පෙට්ටිය පිළිබඳ මේවන විට සමාජයේ කතා බහක් නිර්මාණය වී ඇත.

මීට පෙර මෙවැනි රතු පෙට්ටියක් භාවිත කරනු ලැබුවේ බ්‍රිතාන්‍ය රාජකීයයන්ය.

දෙවැනි එළිසබත් රැජින සහ VI වැනි ජෝර්ජ් රජු භාවිත කළ 'රතු පෙට්ටිය' නැමැති මෙම බෑගය ලොවපුරා වඩාත් ජනප්‍රිය විය.

ඉතිහාසය

ලෝක නායකයන් සංචාරයන්හි නිරත වන විට වැදගත් හා රහසිගත ලිපි ලේඛන රැගෙන යාමට සුවිශේෂ බෑගයක් (Attaché Case) හෝ පෙට්ටියක් භාවිතා කිරීම සම්ප්‍රදායකි.

තුන්වන චාල්ස් රජු විසින්ද, දෙවන එලිසබෙත් රැජින සහ හයවන ජෝර්ජ් භාවිත කළ රතු පෙට්ටියම භාවිතා කරනු ඇත.

බ්‍රිතාන්‍යය රාජකීයයන් මෙම රතු පෙට්ටිය භාවිත කරනු ලැබුවේ සංක්ෂිප්ත ලියකියවිලි, අත්සන් අවශ්‍ය ලිපි ලේඛන ඇතුළු වැදගත් ලිපි සහ ඉදිරි රැස්වීම් පිළිබඳ තොරතුරු රැගෙන යාමටය.

පෞද්ගලික ලේකම් කාර්යාලයේ සිට අගුලු දැමූ පෙට්ටියේ ලිපි ලේඛන රැජින වෙත යවා ඇත.

1953 දී රාජාභිෂේකය සඳහා සාදන ලද පෙට්ටියම රැජින අඛණ්ඩව භාවිත කළ බවට විශ්වාස කෙරිණි.

(Attaché Case) සහ සම් බෑග් (Leather briefcase) බොහෝ දුරට පෙනුමෙන් සමාන වුවත් ඒවාට වෙනස් ඉතිහාසයක් සහ සුවිශේෂී වෙනස්කම් වලින් යුක්තව නිර්මාණය කර ඇත.

ප්‍රංශ භාෂාවෙන් (Attaché ) යන වචනය තානාපති කාර්ය මණ්ඩලයේ පරිපාලන සාමාජිකයෙකු යන්න හඟවයි. අතීතයේ ඔවුන්ගේ වගකීම් ඉටු කිරීමේදී වටිනා ලියකියවිලි සහ කඩදාසි කුඩා ඇමුණුම් ආවරණවල බහා රැගෙන ගොස් තිබේ. කාලයාගේ ඇවෑමෙන් මේවා ඇටෑචී කේස් (Attaché Case) ලෙස හඳුන්වා තිබේ.

මේ අතර බ්‍රීෆ්කේස් යන වචනය නීති ක්ෂේත්‍රයෙන් ආරම්භ වූ බව කියවෙයි.

නීතිමය කටයුතු වලදී, සංක්ෂිප්තයක් යනු අධිකරණ කටයුතු වලදී නිශ්චිත තර්ක සඳහා සහය වන කරුණු ඇතුලත් නීතිමය සාරාංශයකි.

නීතීඥයන් නඩුවක දී ඔවුන්ගේ කෙටි සටහන් බෑගයක බහා රැගෙන යන අතර, එබැවින් බොහෝ විට ඔවුන් රැගෙන යන බෑගයට 'බ්‍රීෆ්කේස්' යන යෙදුම භාවිතා කර ඇති බව කියවෙයි.

(Attaché Case) එකකට සමාන බ්‍රීෆ්කේස් ද පැතලි, සෘජුකෝණාස්‍රාකාර වන අතර සාමාන්‍යයෙන් කඩදාසි, පොත්පත් සහ ඉඳහිට ලැප්ටොප් පරිගණකයක් රැගෙන යාමට භාවිතා කරයි.

බ්‍රීෆ්කේස් එක් ප්‍රධාන මැදිරියකට විවෘත වේ. පියනෙහි අවශ්‍ය නම් අමතර ගබඩා ඉඩ ප්‍රසාරණය කිරීමට හැකි අමතර සාක්කු හෝ කවර අඩංගු විය හැක. බොහෝ බ්‍රීෆ්කේස් සම් වලින් සාදා ඇති අතර ඒවා සාමාන්‍යයෙන් (Attaché Case) බෑගයකට වඩා විශාල වන අතර ගබඩා කිරීමට වැඩි ඉඩක් ලබා දේ.

ජනාධිපතිවරයාට විශේෂ බෑගයක් අවශ්‍ය වුණේ ඇයි?

ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරුවන් විසින් නිර්මාණය කරන ලද ජනාධිපතිවරයාගේ ලිපි ලේඛන රැගෙන යන ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු ආරක්ෂිත බෑගය (Attaché Case) යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ විසින් (දෙසැම්බර් 02) වැනිදා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගැන්වනු ලැබීය.

ලෝක නායකයන් සංචාරයන්හි නිරත වන විට වැදගත් හා රහසිගත ලිපි ලේඛන රැගෙන යාමට මෙවැනි සුවිශේෂ බෑගයක්(Attaché Case) භාවිතා කිරීම සම්ප්‍රදායකි.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව බෑගයක් නිර්මාණය කිරීමේ කටයුත්ත ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා යුද හමුදාවට පවරනු ලැබුවේ මෙම ලෝක සම්ප්‍රදාය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙමින් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විශේෂ මඟපෙන්වීම මත, යුද හමුදාපතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ, යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පිරිසක් විසින් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ලබා දෙන ලද පිරිවිතරයන්ට අනුව මෙම බෑගය නිර්මාණය කර ඇත.

මෙය ජනාධිපතිවරයාගෙන් පසුව තවත් ජනාධිපතිවරයෙකුට භාවිතා කළ හැකි පරිදි කල් පවත්නා නිමැවුමක් විය යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ යුද හමුදාවට උප‍දෙස් දී තිබූණි.

ඒ අනුව නිර්මාණය කළ මෙම බෑගය ආරක්ෂිතව සහ සැලසුම්සහගතව උසස් තත්ත්වයේ සම් භාවිතයෙන් නිමවා ඇත.

කෙසේවෙතත් වෙනත් අමුද්‍රව්‍ය පිළිබඳව, පිරිවිතරයන් පිළිබඳව හෝ නිර්මාණය සඳහා වැය කළ මුදල පිළිබඳව මෙන්ම එහි ආරක්ෂක කරුණු පිළිබඳ තොරතුරු කිසිවක් මෙතෙක් අනාවරණය කර නොමැත.

ජනාධිපතිවරයාගේ අත්සන ලබා ගැනීම සඳහා අමාත්‍යාංශ මගින් දෛනිකව ලිපිගොනු විශාල ප්‍රමාණයක් ජනාධිපති කාර්යාලයට යොමු කරනු ලබයි.

එහිදී ලිපිලේඛන බහලුම් සඳහා වැයවන මුදල් අවම කර ගැනීමට සියලු අමාත්‍යාංශවලට මෙවැනි බෑගයක් භාවිතා කිරීමේ හැකියාව ජනාධිපතිවරයා පෙන්වා දී ඇති අතර ඊට අවශ්‍ය බෑග් ද යුද හමුදාවට නිෂ්පාදනය කළ හැකි බවත් ප්‍රකාශ කර තිබුණි.

උසස් ප්‍රමිතියෙන් නිර්මාණය කරන ලද මෙම බෑගය බාර ගැනීමෙන් පසු එය පරික්ෂා කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊට නිර්මාණ දායකත්වය සැපයූ සියලු ශිල්පීන් ඇගයීමට ලක් කළේය.

කෙසේවෙතත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුලු විපක්ෂ දේශපාලනඥයින් මෙන්ම ශිෂ්‍ය ක්‍රියාකාරීන්ද ජනාධිපතිවරයාට මෙවැනි රතු පෙට්ටියක ඇති අවශ්‍යතාව පිළිබඳ විමසා ඇත.

සමාජ මාධ්‍ය ඔස්සේද මේ පිළිබඳ දැඩි කතා බහක් ඇතිවිය.

ජාත්‍යන්තර වෙළෙඳපොලේ මෙවැනි ආකාරයේ සම් වලින් නිර්මාණය කළ බෑගයක් ඩොලර් 2500 සිට ඉහළ මිල ගණන් වලට අලෙවි වෙයි.

මෙවැනි බෑග් භාවිත කරන්නේ කවුද ?

1999 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා එවකට රැසියානු ජනාධිපති බොරිස් යෙල්ට්සින් ධුරයෙන් ඉල්ලා අස්වී ක්‍රෙම්ලිනයේ වැඩබලන ජනාධිපති ලෙස එවකට රුසියානු අග්‍රාමාත්‍යවරයා වු ව්ලැඩිමීර් පුටින් වෙත බලය පවරා දුන්නේය.

එහිදී වැඩබලන ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වෙත රුසියාවේ න්‍යෂ්ටික බලවේග පාලනය කිරීම සඳහා වන “න්‍යෂ්ටික බෑගය” පිරිනැමිණි.

චෙගෙට් හෙවත් "න්‍යෂ්ටික බෑගය" ලෙස එය හැඳින්වෙයි.

රුසියාවේ ජාතික න්‍යෂ්ටික අවි ගබඩාව සෘජුව පාලනය කරන හමුදා නිලධාරීන් පිරිසක් සහභාගි වූ උත්සවයකදී රුසියාවේ උපායමාර්ගික න්‍යෂ්ටික බලවේග පාලනය කිරීමේ හැකියාවෙන් යුත් එම බෑගය පුටින් වෙත ප්‍රදානය කෙරිණ.

මේ අතර අමෙරිකානු ජනාධිපතිවරුන්ද කළු පැහැති බෑගයක් භාවිත කරනු ලබන අතර බොහෝ විට ජනාධිපතිවරයා සමග සිටින හමුදා සහායකයින් පස් දෙනෙකුගෙන් එක් අයෙකු එය රැගෙන යනු ලබයි.

එය එක්සත් ජනපදයේ උපාය මාර්ගික ආරක්ෂක පද්ධතියේ ජංගම කේන්ද්‍රස්ථානයක් ලෙස ක්‍රියා කරනු ලබන බව කියනු ලබයි.

මීට අමතරව ඉන්දියාවේ අගමැති ආරක්ෂකයින් ද බොහෝ විට බ්‍රීෆ් කෙස් වැනි බෑග් භාවිත කරනු ලබයි.

ඒ පිළිබඳව නිශ්චිතව අනාවරණය කර නැතත් එය හදිසි අවස්ථාවක භාවිත කළ හැකි ආරක්ෂක පළිහක් යැයි කියනු ලබයි.