ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'මම මගේ තාත්තාව කවදාවත් දැකලා නෑ.ෆොටෝවලින් විතරයි දැකලා තියෙන්නේ'
"මම මගේ තාත්තාව කවදාවත් දැකලා නෑ.ෆොටෝවලින් විතරයි දැකලා තියෙන්නේ" යැයි බීබීසී සිංහල වෙත පැවසුවේ වයස අවුරුදු දහයක් වන හංසලී ද සිල්වායි.
ඇය මීට වසර 10 කට පෙර අතුරුදහන් වූ මදුෂ්ක ද සිල්වාගේ දියණියයි. ඔහුගේ බිරිඳ වන මයුරි ජයසේන සහ ඔවුන් දෙදෙනාගේ දරුවන් දෙදෙනා කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්‍යාලය ඉදිරිපිට සැප්තැම්බර් 05 දින විරෝධතාවයක නියැලුණේ වසර 10කට පෙර අතුරුදහන් කළ සිය සැමියා සහ දරුවන්ගේ පියා සම්බන්ධයෙන් සත්‍ය හෙළි කර යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලමින් ය.
මේ වන විට මයුරි සහ මදුෂ්කගේ දරුවන් දෙදෙනා පස්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර ඔහු පැහැරගැනීමට ලක්වන විට මයුරි සයමස් ගැබිණියකි.
"ඉස්කෝලෙ ඇරිලා අනිත් ළමයින්ගේ තාත්තලා ඇවිත් එයාලව ගෙදර එක්කගෙන යනකොට මට ගොඩක් දුක හිතෙනවා. ඒ වෙලාවට මට හිතෙනවා මගේ තාත්තත් මගේ ළඟ හිටියා නම් මාව එක්කගෙන යන්න එනවනේ කියලා," ඒ මදුෂ්කගේ දියණියයි.
"තාත්තාට ගිහින් වඳින්න මට සොහොනක්වත් නෑ," ඒ මදුෂ්කගේ දස හැවිරිදි පුත්‍රයා වන රනුල් ද සිල්වා ය. ඔවුන් නිවුන් දරුවන්ය.
"2013 අතුරුදන් කළ සැමියා කෝ?"
"මගේ මහත්තයාව පොලිසියෙන් කියලා මාංචු දාලා, තවත් යාලුවො දෙන්නෙකුත් එක්ක අරගෙන යන්නෙ 2013 සැප්තැම්බර් 02වෙනිදා අනුරාධපුර නගරයේදිමයි. යාලුවො දෙන්නවා පහුවදා ආපහු එවුවත් මගේ සැමියාව ආපහු එවුවෙ නෑ.එයාට මොකද වුණේ කියලා දන්නෙ නැතිව අවුරුදු 10ක් ගෙවිලා ගිහින් ඉවරයි," මයුරි ජයසේන පවසයි.
මදුෂ්ක ද සිල්වා අනුරාධපුර නගරයේ පළතුරු වෙළඳසලක් පවත්වාගෙන ගොස් තිබෙන අතර, ත්‍රීරෝද රථයකින් ඔහු සහ මිතුරන් දෙදෙනෙකු ගමන් කරමින් සිට ඇති අවස්ථාවක ඔවුන්ව වැන් රථයකින් පැහැරගෙන ගොස් තිබේ.
ඔවුන් රැගෙන ගිය ස්ථානයේ හී ඔවුන්ට රාත්‍රියේ පහරදුන් බවත්, පසුව මදුෂ්කව ඔවුන්ගෙන් වෙන්කොට වෙනත් ස්ථානයකට රැගෙන ගිය බවත් එම මිතුරන් දෙදෙනා පවසන බව මයුරි පැවසුවා ය.
එමෙන් ම ඇයව ද 2014 වර්ෂයේ දී පැහරගෙන ගොස් ඇති අතර එහි දී සැමියා සෙවීම නතර කරන ලෙස පවසා තර්ජනය කළ බව ඇය පවසයි.
"මදුෂ්කව අරගෙන ගිය සුදු වෑන් එකේ අංකය තියෙනවා. ඒ වගේම එයා එක්ක අරගෙන ගිය යාලුවෝ දෙන්නාගෙ සාක්ෂි තියෙනවා. මෙයාලව අනුරාධපුර නගරයේදී පැහරගෙන යනවා දැකපු අය ඉන්නවා.මෙ විදිහට හැම සාක්ෂියක්ම තිබුණත් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කරලා තියෙන නඩුව ඇහුවේ එකපාරයි. අපි කියන්නේ මේ අධිකරණ කටයුතු කඩිනම් කරන්න කියලා."
"මගේ දරුවො දෙන්නම ඉගෙන ගන්න දක්ෂයි. මදුෂ්ක හිටියා නම් ගොඩක් සතුටු වෙයි. දරුවො තාත්තා අහනකොට මට දෙන්න උත්තරයක් නෑ," මයුරි කියා සිටියාය.
"මගේ තාත්තා ආපහු ආවොත් මම තාත්තට ගොඩක් ආදරෙයි කියලා කියනවා. අපේ අම්මා තව කී දවසක් අපේ තාත්තව හොයන්නද?" දියණිය විමසයි.
අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්‍යාලයේ ප්‍රතිචාරය
අතුරුදහන් වූවන්ගේ පවුල්වල එකතුව සහ මයුරි ජයසේන විසින් 2019 වර්ෂයේ දී මදුෂ්ක ද සිල්වාගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්‍යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. නමුත් ඒ සම්බන්ධයෙන් කිසිඳු දැනුම්දීමක් තමාට සිදු කර නොමැති බව ඇය පවසයි.
"OMP එකෙන් වන්දි ගන්න දෙන සහතිකය ගන්න එන්න කියලා මට කිව්වා. මමත් ඒකට කැමති වුණා. නමුත් මට ඒකවත් දුන්නෙ නෑ. මට නඩු කියන්න සල්ලි නැති නිසා නීතීඥයෙක් දෙන්න කියලා ඉල්ලුවා. ඒ කිසිම දෙයක් මේ වෙනකන් සිදු කරලා නෑ."
2014 වර්ෂයේ දී ඔවුන් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති නමුත් ඒ සම්බන්ධයෙන් ද කිසිඳු දැනුවත් කිරීමක් නැති බව මයුරි පැවසුවා ය.
ඒ සම්බන්ධයෙන් ප්‍රගතිය විමසීම සඳහා අප අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්‍යාලයේ විධායක අධ්‍යක්ෂක ජී. තත්පරන් සම්බන්ධ කරගත් නමුත් ඔහු ප්‍රකශ කළේ පනත ප්‍රකාරව තෙවන පාර්ශවයකට තොරතුරු ලබා දීමට නොහැකි බවයි.
එක්සත් ජාතීන්ගේ කාර්‍යාලට භාර දුන් පෙත්සම
මයුරි ජයසේන සහ අතුරුදහන් වූවන්ගේ පවුල් වල එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු විසින් අත්සන් කළ පෙත්සමක් එක්සත් ජාතීන්ගේ කාර්‍යාලය වෙත භාර දීමට ඔවුහු අද දින කටයුතු කළ හ.
එම පෙත්සමේ, අධිකරණ කටයුතු කඩිනම් කිරීම, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්‍යාලයට යොමු කර ඇති පැමිණිල්ල ප්‍රකාරව සත්‍ය හෙළිදරවු කිරීම සහ හානිපූර්ණය කිරීම කඩිනම් කිරීමට සහය දෙන ලෙස ඉල්ලා තිබේ.
"මේ සිද්ධියට ආණ්ඩුව අනිවාර්යයෙන්ම සම්බන්ධයි. ඒ නිසා තමයි මේ පරීක්ෂණ යට ගහන්නේ," යැයි කියා සිටියාය.