මහාධිකරණවලට ලබා දුන් රජයේ නිල නිවාසවල මීට පෙර සිටි ඇමැතිවරුන් කවුද?

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
කඩිනමින් නව මහාධිකරණ 4ක් ස්ථාපනය කිරීමට අවශ්‍ය පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2025-2029) ප්‍රකාරව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය වෙත පැවරී ඇති කාර්යභාරයන් ක්‍රියාක්මක කිරීම සඳහා නව මහාධිකරණ කිහිපයක් කඩිනමින් ස්ථාපනය කිරීමේ අවශ්‍යතාව මත මෙම මහාධිකරණ 04 පිහිටුවීමට නියමිත බව රජය පවසයි.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය භාරයේ පවතින ගොඩනැගිලි 4ක් ඒ සඳහා වෙන්කර ඇති බව අමාත්‍ය මණ්ඩලය නිවේදනයේ සඳහන් වේ.
ඒ අනුව, කොළඹ කේන්ද්‍ර කර ගනිමින් පිහිටුවීමට සූදානම් වන මෙම මහාධිකරණ සඳහා දැනට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය භාරයේ පවතින ගොඩනැගිලි 4ක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය වෙත භාර දීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Government Information Department
නව මහාධිකරණ පිහිටුවන්නේ ඇයි?
"ඔබ කවුරුත් දන්නවා පහුගිය කාලය පුරාවට විවිධ අපරාධ ඒ වගේ ම දූෂණ, විවිධ සිදුවීම් පිළිබඳ නඩු කටයුතු ක්‍රියාත්මක වෙමින් තියෙනවා. බොහෝ නඩු ප්‍රමාද වීම් වෙනවා, ඊට අවශ්‍ය කරන යටිතල පහසුකම් නොමැතිකම නිසා ඒවා ඉක්මනින් අහන්න අමාරු වෙන තත්ත්වයක් ඇති වුණා. ඉතින් මේ තත්ත්වයට පිළියම් සෙවීම සඳහා නව මහාධිකරණ 4ක් අලුතින් ආරම්භ කරන්න රජය තීන්දු කළා," යැයි නව මහාධිකරණ පිහිටුවීමට රජය ගත් තීන්දුව පැහැදිලි කරමින් අමාත්‍ය විජිත හේරත් පැවසීය.
ඒ අනුව, අංක B 88 ග්‍රෙගරි පාර කොළඹ 07, අංක C 76 බෞද්ධාලෝක මාවත, කොළඹ 07, අංක B 108 විජේරාම පාර කොළඹ 07, අංක B 12 ස්ටැන්මෝර් චන්ද්‍රවංකය කොළඹ 07 යන ස්ථානවල රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට අයත් ගොඩනැගිලි මෙසේ මහාධිකරණ පිහිටුවීමට වෙන් කළ බව අමාත්‍යවරයා ඔක්තෝබර් 28 වන දා පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.
හිටපු මහින්ද රාජපක්ෂ සිටි නිවාස මහාධිකරණයකට?
මෙහිදී මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ, මෙසේ මහාධිකරණ පිහිටුවීමට තෝරාගෙන ඇති ගොඩනැගිලි අතර ඇති, විජේරාම ලිපිනය සඳහන් ස්ථානය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ භාවිත කළ නිල නිවස ද? යන්න යි.
"දන්නේ නෑ ඒක නම් හරියට. ගොඩනැගිල්ල රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට අයිති එකක්" අමාත්‍ය විජිත හේරත් පිළිතුරු දුනි.
මීට පෙර මේ නිල නිවාස භාවිත කළේ කවුද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
කෙසේ වෙතත්, මෙම ගොඩනැගිලි පිළිබඳව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්නගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, මේවා පසුගිය රජයේ ඇමැතිවරුන් සහ හිටපු විපක්ෂ නායකවරයෙකු භාවිත කළ නිල නිවාස බව ය.
"එකක් පාවිච්චි කරලා තියෙනවා කෙහෙළිය රඹුක්වැල්ල හිටපු ඇමතිවරයා. තව එකක් පාවිච්චි කරළා තියෙනවා සම්බන්ධන් මහත්මයා. තව එකක් පාවිච්චි කරලා තියෙනවා දිලුම් අමුණුගම මහත්තයා. අනිත් එක සනත් නිශාන්ත පාවිච්චි කරලා තියෙනවා."
ඒ අනුව, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙත නිල නිවස ලබා දී තිබූ අංක B 108, විජේරාම පාර, කොළඹ 07 ගොඩනැගිල්ල, හිටපු විපක්ෂ නායක මෙන් ම දෙමළ ජාතික සන්ධානයේ නායකයාව සිටි ආර්. සම්බන්ධන් වෙත නිල නිවස ලෙස ලබා දී තිබූ අංක B 12, ස්ටැන්මෝර් චන්ද්‍රවංකය, කොළඹ 07 ගොඩනැගිල්ල මහාධිකරණ පිහිටුවීමට ලබා දී තිබේ.
එමෙන් ම, හිටපු ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ දිලුම් අමුණුගම නිල නිවස ලෙස භාවිත කළ අංක B 88, ග්‍රෙගරි පාර, කොළඹ 07 ස්ථානයේ පිහිටි ගොඩනැගිල්ල සහ හිටපු ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා වූ සනත් නිශාන්ත සිය නිල නිවස ලෙස භාවිත කළ අංක C 76, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 පිහිටි නිවාස මෙසේ මහාධිකරණ පිහිටුවීම සඳහා ලබා දී තිබේ.
හිටපු ජනාධිපතිවරුන්ගෙන් පවරා ගත් නිවාසවලට මොක ද වෙන්නේ?
මීට අමතරව හිටපු ජනාධිපතිවරුන්ගෙන් ලබා ගත් නිල නිවාස සහ පෙර පැවති රජයේ අමාත්‍යවරුන් භාවිත කළ නිල නිවාස, ඉදිරියේදී කුමන කටයුතු සඳහා යොදා ගන්නේ දැයි බීබීසී සිංහල සේවය අමාත්‍ය චන්දන අබේරත්නගෙන් විමසීමක් කළේ ය.
"ඒවත් මේ වගේ ඵලදායී වැඩවලට අනිවාර්යෙන් ම යොදා ගන්නවා. දැනට ඉල්ලීම් තියෙනවා. ඒ ඉල්ලීම් අනුව පවරලා දෙන්න කටයුතු කරනවා," අමාත්‍යවරයා පැවසීය.

































