සිපගැනීමකින් සිෆිලිස් බෝවෙන්නේ නැද්ද? බොහෝ දෙනෙක් නොදන්නා 'ගුප්ත රෝගයේ' ඇත්ත නැත්ත

test
    • Author, සම්පත් දිසානායක
    • Role, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 10

2021 වසරට පෙර ශ්‍රී ලංකාවෙන් වසරකට වාර්තා වූයේ, සිෆිලිස් රෝගීන් 100කටත් වඩා අඩු සංඛ්‍යාවකි. නමුත් විශේෂඥ වෛද්‍ය නිමාලි ජයසූරිය පෙන්වා දෙන පරිදි, වර්තමානය වන විට එම සංඛ්‍යාව වසරකට 1,500ක් දක්වා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.

අනාරක්ෂිත ලිංගික සබඳතා සහ රෝග විනිශ්චය සඳහා පරීක්ෂණ කර ගැනීමට ඇති මැළිබව මෙම ව්‍යාප්තියට ප්‍රධානතම හේතු වී ඇත. සමාජය තුළ පවතින ලැජ්ජාව සහ කොන්වීම හේතුවෙන් බොහෝ දෙනෙකු රෝගය සඟවා ගැනීමට උත්සහ කරති. විශේෂයෙන් ම, සිෆිලිස් රෝගය බොහෝවිට 'ගුප්ත රෝගයක්' ලෙස හඳුන්වනු ලබන්නේ, ආසාදිතයන් බහුතරයකට බාහිරින් කිසිදු පැහැදිලි රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකර ශරීරය තුළ නිදන්ගතව පැවතීමට ඇති හැකියාව නිසා ය.

මෙම විශේෂාංග ලිපිය මගින් රෝග ව්‍යාප්තියට පාර කපන සමාජ ආකල්පයන් විච්ඡේදනය කරන අතර ම, රජයේ සායන හරහා නොමිලේ සහ රහස්‍යභාවය 100%ක් සුරැකෙන පරිදි සිදු කරනු ලබන වෛද්‍ය පරීක්ෂණවල ඇති දැඩි අවශ්‍යතාව සහ ජීවිත ආරක්ෂා කර ගැනීමට ඉන් ලැබෙන පිටුවහල පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කෙරේ.

ශ්‍රී ලංකාව තුළ සිෆිලිස් රෝග ව්‍යාප්තිය මෑත කාලයේදී මෙතරම් ශීඝ්‍රයෙන් ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ, සමාජය තුළ අවදානම් සහ අනාරක්ෂිත ලිංගික චර්යාවන් බෙහෙවින් වැඩි වීමයි. විශේෂඥ වෛද්‍ය නිමාලි ජයසූරිය පෙන්වා දෙන පරිදි, පිරිමි-පිරිමි, පිරිමි-කාන්තා හෝ වේවා ඕනෑ ම අනාරක්ෂිත ලිංගික සබඳතාවක් හරහා මෙම බැක්ටීරියාව වේගයෙන් ව්‍යාප්ත වේ. වෛද්‍යවරිය අවධාරණය කරන්නේ මුඛ සංසර්ගය හරහා වුවද සිෆිලිස් රෝගය ඉතා පහසුවෙන් තවත් කෙනෙකුට සම්ප්‍රේෂණය විය හැකි බව ය.

තමන්ගේ නිත්‍ය සහකරු හෝ සහකාරිය නොවන, බාහිර පුද්ගලයන් සමග ලිංගික සබඳතා පැවැත්වීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති අතර, ඉන් බහුතරයක්ම කිසිදු ආරක්ෂිත ක්‍රමවේදයකින් තොරව සිදුවන අනාරක්ෂිත ඒවා වීම රෝගය ශීඝ්‍රයෙන් පැතිරීමට මඟ පාදා තිබේ.

මීට අමතරව දිවයින පුරා සම්බාහන මධ්‍යස්ථාන හෙවත් 'ස්පා' (Spa) බහුලව විවෘත වීමත්, ඒවා කේන්ද්‍ර කර ගනිමින් සිදුවන ලිංගික ක්‍රියාකාරකම් ඉහළ යාමත් මෙම ව්‍යාප්තිය තවත් වේගවත් කර ඇත. මෙවැනි ස්ථානවලදී නිරන්තරයෙන්ම සහකරුවන් සහකාරියන් මාරු වීම සිදුවන අතර, එහිදී නිසි පරිදි කොන්ඩම් භාවිත නොකිරීම නිසා රෝග ව්‍යාප්තිය පාලනය කළ නොහැකි මට්ටමට පත්ව ඇත.

සිෆිලිස් රෝග ලක්ෂණ හඳුනා ගන්නේ කොහොම ද?

සිෆිලිස් රෝගය ප්‍රධාන වශයෙන් අවධි හතරක් යටතේ වර්ධනය වන අතර, එහිදී මතුවන රෝග ලක්ෂණ මෙසේය:

ප්‍රාථමික අවධිය : බැක්ටීරියාව ශරීරයට ඇතුළු වන ස්ථානයේ (ශිෂ්ණය, යෝනි මාර්ගය, ගුද මාර්ගය, මුඛ කුහරය හෝ තොල් අශ්‍රිතව) වේදනාවක් නොමැති තනි තුවාලයක් හටගනී. වෛද්‍ය විද්‍යාවේදී මෙය 'ෂැන්කර්' තුවාලයක් ලෙස හඳුන්වයි. එය ඇල්ලූ විට බොත්තමක් මෙන් හොඳින් මායිම් අතට අසුවන පිරිසිදු තුවාලයකි. විශේෂයෙන්ම කාන්තාවන්ට මෙහිදී වේදනාවක් නොදැනෙන නිසා රෝගය වැළඳී ඇති බව බොහෝවිට මගහැරී යා හැක.

ද්විතීයික අවධිය : බැක්ටීරියාව රුධිරය සහ වසා වාහිනී හරහා මුළු ශරීරය පුරාම විසිරී යන අවධියයි. මෙහිදී වසා ගැටිති ඉදිමීම, මුඛ කුහරයේ තුවාල ඇතිවීම සහ ඇඟ පුරා විවිධ සමේ රෝග ලක්ෂණ (රෑෂ්) මතුවේ. විශේෂයෙන්ම අත්ල සහ යටිපතුල්වල තද පාටට ලප/බිබිලි හටගැනීම සහ ලිංගික ප්‍රදේශවල 'ඉන්නන්' වැනි ගෙඩි හටගැනීම සිදුවේ. මීට අමතරව ඇස්, මොළය සහ කන්වලටද බලපෑම් ඇතිවිය හැක.

ගුප්ත අවධිය : කිසිදු බාහිර රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන නමුත්, රෝග කාරකය ශරීරය තුළ නිදන්ගතව පවතින අවධියයි. මෙම කාලසීමාවේදී වුවද රෝගය තවත් කෙනෙකුට සම්ප්‍රේෂණය විය හැක.

තෘතීයික අවධිය : ප්‍රතිකාර නොගෙන දිගුකාලයක් පැවතීමෙන් ශරීරයේ අභ්‍යන්තර අවයව සම්පූර්ණයෙන්ම විනාශ කරන අවධියයි. මෙහිදී හෘද වස්තුව අක්‍රිය වීම (හාර්ට් ඇටෑක්), ස්නායු පද්ධතියට හානි වීමෙන් අංශභාග (Paralysis) තත්ත්ව ඇතිවීම, පෙනීම සහ ශ්‍රවණය අහිමි වීම මෙන්ම අවයව තුළ විනාශකාරී ගෙඩි වර්ධනය වීම සිදුවේ.

සිෆිලිස් රෝගය සිපගැනීමකින් වැළඳෙන්න පුළුවන් ද?

"සාමාන්‍යයෙන් සිපගැනීමකින් හෝ ස්පර්ශ වීමකින් විතරක් එහෙම රෝගය බෝ වෙන්නේ නැහැ. හැබැයි සමහරක් වෙලාවට මේ සිෆිලිස් රෝග ලක්ෂණ මතු වන ස්ථාන වෙනස් වෙන්න පුළුවන්. අපි හිතමු, කෙනෙකුගේ තොලේ වගේ මුලින් ම ඔය මූලික තුවාලය ආවා කියලා. මේක ලිංගික තරල හරහා ම විතරක් නෙමෙයි යන්නේ, රෝගය තියෙන තැනකින් තවත් කෙනෙකුගේ තැනක 'කන්ටැක්ට්' වුණාමත් බෝ වෙන්න පුළුවන්.

හැබැයි නිකන් සාමාන්‍ය නිරෝගී හමක් 'කන්ටැක්ට්' වුණාට මේක යන්නේ නැහැ. නමුත් අපි හිතමු, මුඛ කුහරය හරි, නැත්නම් තොල් (Lips) හරි එහෙම තැනක් 'ටච්' (Touch) වුණොත්, ඒ වගේ ම එතන පොඩි තුවාලයක් වගේ තිබුණොත්, විශේෂයෙන් ම සිෆිලිස් තියෙන (ඒ කියන්නේ රෝග ලක්ෂණයක් විදිහට මුලින් ම තනි තුවාලයක් තියෙන) කෙනෙක්ව සිපගැනීම වගේ දෙයකින් එහෙම බෝ වෙන්න පුළුවන්. එහෙම නැතුව 'නෝමලි' (Normally) කිසි ම රෝග ලක්ෂණයක් නැති කෙනෙක්ව සිප වැළඳගැනීමකින් මේ රෝගය බෝ වෙන්නේ නැහැ," විශේෂඥ වෛද්‍ය නිමාලි ජයසූරිය කියා සිටියා ය.

සිෆිලිස් කියන රෝගය නිට්ටාවට ම සුව කරන්න පුළුවන් එකක් ද?

වෛද්‍ය විශේෂඥ ආචාර්ය නිමාලි ජයසූරිය අවාධාරණය කළේ, සිපිලීස් රෝගය නිට්ටාවට ම සුවකළ හැකි රෝගයක් බව ය.

"ඔව්, සිෆිලිස් රෝගය නිට්ටාවට ම හොඳ කරන්න පුළුවන්. මේ සඳහා තියෙන ප්‍රධාන ම ප්‍රතිකාරය තමයි 'බෙන්සතීන් පෙනිසිලින්' (Benzathine penicillin) කියන ඖෂධීය එන්නත (Injection) ලබාදීම. රෝගයේ ස්වභාවය අනුව සමහරුන්ට මේ එන්නත් එකක් දෙන්න ඕනේ, සමහරුන්ට දෙකක් දෙන්න ඕනේ, තවත් සමහරුන්ට තුනක් දෙන්න ඕනේ. හැබැයි මේ බැක්ටීරියාව ශරීරය තුළ පැතිරිලා ගිහින් සමහර විට ස්නායු පද්ධතියට බලපෑම් ඇති කරලා තිබුණොත්, අපිට දවස් 10ක් වගේ කාලයක් වුණත් දිගටම ප්‍රතිකාර දෙන්න වෙනවා. කොහොම වුණත් නිසි වෛද්‍ය උපදෙස් මත නියමිත ප්‍රතිකාර සම්පූර්ණ කළොත් මේ රෝගය නිට්ටාවටම හොඳ කරන්න පුළුවන්."

ෆාමසිවලත් නැති, සිෆිලිස් නිට්ටාවට ම සුවකරන 'බෙන්සතීන් පෙනිසිලින්' නොමිලේ ම ගන්නේ කොහොම ද?

විශේෂයෙන් ම කියන්න ඕනේ, මේ 'බෙන්සතීන් පෙනිසිලින්' ඖෂධය දැනට පෞද්ගලික වෛද්‍ය අංශයේ (Private Sector) මිලදී ගන්න ඇත්තෙ ම නැහැ. මෙය ලබාගත හැක්කේ, රජයේ සෞඛ්‍ය අංශය සතු ලිංගාශ්‍රිත රෝග සායන (STD Clinics) හරහා පමණ යි. ඒ නිසා කිසි ම ලැජ්ජාවකින් හෝ බියකින් තොරව අපේ සායනයකට පැමිණියහොත්, රෝගියාගේ අනන්‍යතාවය සහ රහස්‍යභාවය සියයට සියයක්ම සුරකිමින් මෙම වටිනා එන්නත් ප්‍රතිකාරය සහ අවශ්‍ය සියලු ම වෛද්‍ය සේවාවන් සම්පූර්ණයෙන් ම නොමිලේ ලබා දීමට අපි කටයුතු කරනවා," ඇය කියා සිටියා ය.

රහසිගතව පරීක්ෂණ සහ ප්‍රතිකාර සිදුකරන ස්ථාන මොනවා ද?

Skip podcast promotion and continue reading
WhatsApp BBC News සිංහල
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

රෝගය පිළිබඳ සැකයක් හෝ ලක්ෂණ පවතී නම්, ඒ සඳහා ප්‍රතිකාර ලබාගත යුතු ආකාරය වෛද්‍යවරිය මෙසේ පැහැදිලි කරයි:

ලිංගාශ්‍රිත රෝග සායන : ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන වැඩසටහන යටතේ ලංකාව පුරා සෑම දිස්ත්‍රික්කයක ම ලිංගාශ්‍රිත රෝග සායන 40ක් ස්ථාපිත කර ඇත. ඕනෑ ම කෙනෙකුට කිසිදු වෛද්‍ය නිර්දේශයක් නොමැතිව කෙලින්ම මෙම සායනයකට ගොස් පරීක්ෂණ සිදුකර ගත හැක.

රහස්‍යභාවය 100%ක් රැකීම: සායනවල සියලු ම දත්ත පද්ධති පරිගණකගත කර මුරපද මගින් ආරක්ෂා කර ඇති බැවින්, රෝගියාගේ නම, ගම ඇතුළු සියලු ම තොරතුරුවල රහස්‍යභාවය සියයට සියයක් ම සුරැකේ. කිසිදු බාහිර පුද්ගලයෙකුට මෙම වාර්තා බැලීමට අවස්ථාවක් නොලැබේ.

නොමිලේ කෙරෙන පරීක්ෂණ සහ ප්‍රතිකාර: මෙම සායන මඟින් රුධිර පරීක්ෂණ ඇතුළු සියලු ම පරීක්ෂණ මෙන් ම රෝගය නිට්ටාවට ම සුව කිරීමට දෙනු ලබන 'බෙන්සතීන් පෙනිසිලින්' (Benzathine penicillin) ඖෂධීය එන්නත් ද සම්පූර්ණයෙන් ම නොමිලේ සායනය තුළදී ම ලබා දෙනු ලැබේ. (මෙම ඖෂධය පෞද්ගලික ෆාමසිවල මිල දී ගැනීමට නොමැත).

නොමිලේ කොන්ඩම් ලබාදීම: රෝගවලින් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය කොන්ඩම් මෙම සෑම එස්.ටී.ඩී. සායනයකින්ම නොමිලේ ලබාගත හැක.

සායන වේලාවන්: සාමාන්‍යයෙන් සතියේ දිනවල උදේ 8.00 සිට සවස 4.00 දක්වාත්, සෙනසුරාදා දිනවල උදේ 8.00 සිට දහවල් 12.00 දක්වාත් මෙම සායන විවෘතව පවතී (සමහර සායන ඉරිදා දිනවලද විවෘත වේ).

සිෆිලිස්වලට බෙහෙත් නොගත්තොත් මොක ද වෙන්නේ?

"බෙහෙත් නොගත්තොත් මම අර කලින් කිව්වා වගේ, රෝගය ශරීරය තුළ නිදන්ගතව, ගුප්තව තිබිලා විශේෂයෙන්ම අපේ ස්නායු පද්ධතියට, හෘද වස්තුවට සහ අනෙකුත් ශරීරයේ තියෙන අක්මාව, ප්ලීහාව වගේ ස්ථානවලට බලපෑම් ඇති කරලා, ඒ අවයව අක්‍රමවත් වෙලා සම්පූර්ණයෙන්ම අක්‍රමණ්‍ය වෙන්න පුළුවන්.

ඇත්තට ම සමහරක් වෙලාවට අපි දකිනවා, තමන්ට මෙහෙම රෝගයක් තියෙනවා කියලා බොහෝ දෙනෙක් දැනුවත් නැහැ. ගොඩක් වයසට ගිහිල්ලා අපිට රජයේ රෝහල්වල ස්නායු වාට්ටුවලින් රෝගීන්ව අපේ සායනවලට යොමු කරනවා. ඒ වයසට ගියපු කට්ටිය බලනකොට ඇත්තටම ස්නායු ආබාධයක් ඇවිල්ලා, ස්නායු ප්‍රශ්නයක් ඇවිල්ලා, සමහර විට ශරීරය පැරලයිස් වෙලා, ඇස් පේන්නේ නැතුව, කන් ඇහෙන්නේ නැති තත්ත්වයට පත් වෙලා ඉන්නවා. ඒ වගේ වෙලාවට චෙක් කරලා බලනකොට තමයි ඇත්තටම තහවුරු වෙන්නේ ඒ අයට සිෆිලිස් හැදිලා තියෙනවා කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ දන්නේ නැතුවම සිෆිලිස් රෝගය ශරීරය තුළ ගුප්තව, නිදන්ගතව තිබිලා තමයි අවසානයේදී මේ වගේ භයානක තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ."

සිපිලීස් රෝගය මාරාන්තික තත්ත්වයකට යන්න පුළුවන් ද?

සිෆිලිස් රෝගය නිසි වේලාවට හඳුනාගෙන ප්‍රතිකාර නොකළහොත් එය මාරාන්තික තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකිය.සිෆිලිස් රෝගය නිසා ඍජුවම ජීවිත හානියක් සිදුවනවාට වඩා, ප්‍රතිකාර නොගැනීමෙන් ශරීරය තුළ හටගන්නා දරුණු සංකූලතා හේතුවෙන් රෝගියා මාරාන්තික තත්ත්වයට පත්විය හැකි ය. විශේෂයෙන්ම මෙම බැක්ටීරියාව හෘද වස්තුවට බලපෑම් ඇති කිරීම නිසා හෘදයාබාධයක් හැදිලා හෝ හෘද වස්තුව සම්පූර්ණයෙන් ම අක්‍රිය වීමෙන් රෝගියා මියයාමට හැකියාව පවතී.

මීට අමතරව, මරණය සිදුනොවුණත් රෝගය ශරීරය තුළ දිගුකාලීනව පැවතීමෙන් ඇතිවන සංකූලතා සමග ජීවත්වීම ඉතාමත් දුක්ඛිත යි. ස්නායු පද්ධතියට හානි සිදුවීම නිසා ඇවිදින්න බැරිව මුළු ශරීරය ම අංශභාග තත්ත්වයට පත්වීම, පෙනීම සම්පූර්ණයෙන් ම අහිමි වීම සහ ශ්‍රවණාබාධ ඇතිවීම වැනි ජීවිත කාලය පුරා ම විඳවීමට සිදුවන බහුවිධ ආබාධිත තත්ත්වයන් මේ නිසා උදා විය හැකි ය.

සිෆිලිස් කියන එක ගුප්ත රෝගයක් විදිහට හඳුන්වන්නේ බොහෝ අය ඇයි?

"ගුප්ත කියන්නේ මම අර කිව්වා වගේ, ගොඩක් වෙලාවට රෝග ලක්ෂණ මතු වෙන්නේ නැහැ. ඇඟේ රෝගය තියෙනවා, සමහර විට බ්ලඩ් චෙක් කළොත් විතරයි අපිට දැනගන්න වෙන්නේ මෙයාට සිෆිලිස් තියෙනවා කියලා. දැන් අපේ ප්‍රෙග්නන්ට් මදර්ස්ලා අපි සාමාන්‍යයෙන් අවුරුද්දකට සාමාන්‍යයෙන් ලක්ෂ 240,000ක් විතර ස්ක්‍රීන් (Screen) කරනවා, ඒ කියන්නේ ටෙස්ට් කරනවා සිෆිලිස්වලට. ඉතින් ඒකෙන් හැමෝම වගේ රෝග ලක්ෂණ නෑ, හැබැයි අපි ප්‍රෙග්නන්ට් මදර්ස්ලා සියයක් විතර ඒ හරහා මේ අපි හඳුනා ගන්නවා. ඉතින් එතකොට මේක අර ගුප්ත රෝගයක් වගේ ම තමයි. අපිට හොයා ගන්න බැහැ රෝග ලක්ෂණවලින් බලන්න හිටියොත් එහෙම, නමුත් ඇඟ ඇතුළේ ලෙඩේ තියෙනවා. වැඩි පිරිසකට මේ සිෆිලිස් හැදුණට පස්සේ රෝග ලක්ෂණ මතුවෙන්නේ නැහැ," විශේෂඥ වෛද්‍යවරිය කියා සිටියා ය.

කුස තුළ ඉන්න දරුවාට සිෆිලිස් බලපාන්නේ කොහොම ද?

ගැබ්ගැනීමේ අවස්ථාවකදී මවට සිෆිලිස් ආසාදනය වී තිබී, ඇය ඒ සඳහා නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා නොගතහොත් කුස තුළ සිටින දරුවාට එය ඉතාමත් දරුණු ලෙස බලපෑ හැකි ය. වෛද්‍ය විශේෂඥ ආචාර්ය නිමාලි ජයසූරිය පෙන්වා දෙන පරිදි, මවගේ ශරීරයේ ඇති මෙම බැක්ටීරියාව වැදෑමහ (Placenta) හරහා කලලයට ඇතුළු වේ. මෙහි මූලිකම සහ භයානකම ප්‍රතිඵලය වන්නේ නිතර නිතර සිදුවන ගබ්සා වීම් (Abortions) හෝ කුස තුළදී ම දරුවා මිය යන මළදරු උපත් සිදු වීම ය. ඇතැම් අවස්ථාවලදී දරුවා සජීවීව උපත ලැබුවද, උපතින් පසු මුල් දින කිහිපය ඇතුළත දරුවා මියයෑමේ (Neonatal Deaths) දැඩි අවදානමක් පවතී.

යම් හෙයකින් දරුවා මෙම මාරාන්තික අවදානම්වලින් බේරී ජීවත් වුවහොත්, එම දරුවා උපත ලබන්නේ 'සංජානනීය සිෆිලිස්' (Congenital Syphilis) නම් බහුවිධ ආබාධ සහිත තත්ත්වයක් සමඟය. එහිදී බැක්ටීරියාව දරුවාගේ මුළු ශරීරය පුරාම ව්‍යාප්ත වී අක්මාව සහ ප්ලීහාව ඉදිමීම, සමේ දරුණු ආසාදන හටගැනීම, ඇස්වල පෙනීම දුර්වල වීම මෙන්ම දරුවාගේ අස්ථි නිසි ලෙස වර්ධනය නොවීම නිසා අස්ථි පද්ධතිය අතිශය දුර්වල වීම වැනි ආබාධ රැසක් ඇති වේ. එසේම දරුවා වැඩෙන විට ශ්‍රවණාබාධ (කන් ඇසෙන්න නැතිවීම) වැනි ජීවිත කාලය පුරාම බලපාන ව්‍යුහාත්මක සහ අභ්‍යන්තර අවයවවල අසාමාන්‍යතා ඇති වේ. කෙසේ වුවත්, ගැබ්ගත් මුල් කාලයේදීම මව මේ සඳහා පරීක්ෂණ කරගෙන නිසි ප්‍රතිකාර ලබාගතහොත් මවගෙන් දරුවාට රෝගය බෝවීම 100%ක්ම වළක්වා ගත හැකිය.

සිෆිලිස් රෝගියෙකු තමන්ගේ නිවසක ඉන්නවා නම්, එයාගෙන් ගෙදර ඉන්න අනිත් සාමාජිකයින්ට මේ බැක්ටීරියාව ව්‍යාප්ත වීමේ හැකියාවක් තියෙනවා ද?

වෛද්‍ය විශේෂඥ ආචාර්ය නිමාලි ජයසූරියගේ ප්‍රකාශය අනුව, සිෆිලිස් (Syphilis) රෝගියෙකු නිවසක සිටීමෙන් පමණක් එම නිවසේ සිටින අනෙකුත් සාමාජිකයන්ට මෙම බැක්ටීරියාව ව්‍යාප්ත වීමේ කිසිදු හැකියාවක් හෝ අවදානමක් නොමැත. මෙම රෝගය බෝ වෙන්නේ ලිංගික සම්ප්‍රේෂණයෙන් (ලිංගික සබඳතා පැවැත්වීමෙන්) පමණක් වන අතර, නිවසේදී සාමාන්‍ය පරිදි එකට ජීවත්වීමෙන්, එකට වාඩිවීමෙන් හෝ වෙනත් දෛනික වැඩකටයුතු එකට සිදුකිරීමෙන් මෙම බැක්ටීරියාව තවත් කෙනෙකුට ශරීරගත වන්නේ නැත. එබැවින්, නිවසේ රෝගියෙකු සිටින විට පවුලේ අනෙකුත් සාමාජිකයන් ඒ පිළිබඳව අනවශ්‍ය ලෙස බිය විය යුතු නැත.

එමෙන් ම වෛද්‍යවරිය පෙන්වා දෙන්නේ, යම් හෙයකින් මෙම රෝගයට අදාළ නිසි ප්‍රතිකාර (බෙන්සතීන් පෙනිසිලින් එන්නත්) ලබාගත් පසු, එම පුද්ගලයාගෙන් ලිංගික සබඳතාවයකදී වුවද තවත් කෙනෙකුට රෝගය බෝවීමේ අවදානම සම්පූර්ණයෙන් ම නැතිවී යන බව ය. සිෆිලිස් යනු වෛරස් රෝගයක් නොව බැක්ටීරියා රෝගයක් බැවින් නියමිත වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර සම්පූර්ණ කිරීමෙන් එය නිට්ටාවට ම සුව කළ හැක. එබැවින් සාමාන්‍ය පවුල් ජීවිතයේදී හෝ එකට නිවසක ජීවත්වීමේදී පවුලේ සාමාජිකයන් අතර මෙම බැක්ටීරියාව පැතිරීමක් කිසිසේත්ම සිදුනොවන බව වෛද්‍යවරිය අවධාරණය කරයි.

නොමිලේ සිෆිලිස් පරීක්ෂණයක් කර ගන්න ලංකාවේ තියෙන ලේසි ම ක්‍රමය කුමක් ද?

ශ්‍රී ලංකාව තුළ සම්පූර්ණයෙන් ම නොමිලේ සහ උපරිම රහස්‍යභාවයකින් යුතුව සිෆිලිස් පරීක්ෂණයක් කර ගැනීමට ඇති පහසු ම සහ විශ්වාසවන්ත ම ක්‍රමය වන්නේ ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන (NSACP) යටතේ දිවයින පුරා පවත්වාගෙන යනු ලබන රජයේ ලිංගාශ්‍රිත රෝග සායන වෙත යොමුවීම ය. වෛද්‍ය විශේෂඥ ආචාර්ය නිමාලි ජයසූරිය පෙන්වා දෙන පරිදි, දැනට ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක් ම ආවරණය වන පරිදි මෙවැනි සුවිශේෂී වෛද්‍ය සායන 40ක් ස්ථාපනය කර ඇත. මෙම සායනයකට ඇතුළත් වීම සඳහා කිසිදු බාහිර වෛද්‍යවරයෙකුගේ නිර්දේශ ලියවිල්ලක් අවශ්‍ය නොවන අතර, තමන්ට පවතින සැකයක් හෝ රෝග ලක්ෂණයක් මුල් කරගෙන ඕනෑ ම අයෙකුට ඍජුව ම සායනය වෙත ගොස් පරීක්ෂණ සිදුකර ගත හැක.

මෙම ක්‍රමවේදයේ ඇති වටිනා ම ලක්ෂණය වන්නේ රෝගියාගේ පෞද්ගලික තොරතුරුවල රහස්‍යභාවය 100%ක් ම සුරැකීම යි. සායනයට පැමිණෙන පුද්ගලයන්ගේ නම, ගම ඇතුළු සියලු ම වෛද්‍ය වාර්තා පරිගණකගත කර ආරක්ෂිත මුරපද යටතේ පමණක් ගබඩා කරන බැවින්, කිසිදු බාහිර පාර්ශවයකට හෝ වෙනත් රෝහල් වාට්ටුවක අයට පවා මෙම තොරතුරු ලබාගත නොහැක. සාමාන්‍යයෙන් සතියේ දිනවල උදේ 8.00 සිට සවස 4.00 දක්වාත්, සෙනසුරාදා දිනවල උදේ 8.00 සිට දහවල් 12.00 දක්වාත් මෙම සායන විවෘතව පවතින අතර, ඇතැම් ප්‍රධාන දිස්ත්‍රික් සායන ඉරිදා දිනවල ද ජනතාව වෙනුවෙන් විවෘතව පවතී.

එමෙන් ම, නැවත රෝග වැළඳීම වැළැක්වීම සඳහා අවශ්‍ය කොන්ඩම් (Condoms) ද මෙම සෑම සායනයකින් ම නොමිලේ ලබාගත හැකි බැවින්, රජයේ STD සායනයකට යොමුවීම සිෆිලිස් සඳහා ඇති ආරක්ෂිත ම සහ පහසු ම විසඳුම වේ.

ලංකාවේ මේ දවස්වල වැඩියෙන් ම ව්‍යාප්ත වෙමින් පවතින ලිංගාශ්‍රිත සම්ප්‍රේෂණය වන රෝගය කුමක් ද?

ශ්‍රී ලංකාවේ වර්තමානය වන විට බහුලව ම ව්‍යාප්ත වෙමින් පවතින ලිංගාශ්‍රිතව සම්ප්‍රේෂණය වන රෝගය වන්නේ 'හර්පීස්' (Herpes) රෝග තත්ත්වය යි. වෛද්‍ය විශේෂඥ නිමාලි ජයසූරිය පෙන්වා දෙන පරිදි, සිෆිලිස් යනු බැක්ටීරියාවක් මගින් බෝවන, ඖෂධ මඟින් නිට්ටාවටම සුව කළ හැකි රෝගයක් වුව ද, හර්පීස් යනු වෛරසයක් මගින් බෝවන්නකි. මෙම වෛරස් රෝග සම්පූර්ණයෙන් ම නිට්ටාවට ම සුව කිරීමට මෙතෙක් ඖෂධ සොයාගෙන නොමැති අතර, ආසාදිත පුද්ගලයාගේ ශරීරය තුළ වෛරසය ජීවිත කාලය පුරා ම පවතී. එමෙන් ම, සිෆිලිස් රෝගයේදී මෙන් හර්පීස් ආසාදිතයන් බහුතරයකට ද බාහිරින් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බැවින්, තමන්ට රෝගය ඇති බව නොදැන බොහෝ දෙනෙක් ලිංගික සබඳතාවල නිරත වීම නිසා මෙම රෝගය සමාජය තුළ ඉතා වේගයෙන් ව්‍යාප්ත වේ.

වෛද්‍යවරිය තවදුරටත් අවධාරණය කරන්නේ, යමෙකුට හර්පීස් හෝ සිෆිලිස් වැනි ලිංගාශ්‍රිත රෝගයක් පවතී නම්, එමඟින් ලිංගික ප්‍රදේශවල තුවාල හෝ බිබිලි ඇතිවීම නිසා ඔවුන්ට එච්.අයි.වී. ආසාදනය වීමේ අවදානම ද ඉතාමත් ඉහළ යන බව ය. නිරෝගී සමක් පවතින කෙනෙකුට වඩා, ලිංගික ප්‍රදේශයේ මෙවැනි රෝග ලක්ෂණ හෝ තුවාල පවතින කෙනෙකුගේ ශරීරයට HIV වෛරසය ඇතුළු වීමේ ප්‍රතිශතය බෙහෙවින් වැඩි වේ. වර්තමානයේ සායන වෙත පැමිණෙන රෝගීන් විශ්ලේෂණය කිරීමේදී, බොහෝ දෙනෙකුට HIV වෛරසය සමග සිෆිලිස් හෝ හර්පීස් යන රෝග ද්විත්වය ම එකවර වැළඳී ඇති බහුවිධ ආසාදන තත්ත්වයන් බහුලව වාර්තා වන බව වෛද්‍යවරිය පෙන්වා දෙයි.