ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'පොලිසිය නීතිය දන්නේ නැද්ද?': පොලිස් රථවාහන නිලධාරීන්ගේ ක්‍රියාකලාපය ගැන ජනතාවගෙන් මැසිවිලි
- Author, තාරක සම්මාන්
- Role, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 5
මාර්ග නීති ක්‍රියාත්මක කිරීමේ වගකීම දරන පොලිස් රථවාහන නිලධාරීන්ගේ ඇතැම් ක්‍රියාකලාප සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් ම මැසිවිලි නැගෙන බව දැකිය හැකි ය.
ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයින් චෝදනා කරන්නේ, සමහර නිලධාරීන් මාර්ග නීති පිළිබඳ නිවැරදි අවබෝධයකින් තොරව රියැදුරන්ට එරෙහිව ක්‍රියා කරන බව ය.
බොහෝ අවස්ථාවලදී රියැදුරන් එවැනි සිදුවීම් තම ජංගම දුරකතනවලින් රූගත කර සමාජ මාධ්‍ය වෙත මුදා හරින අතර, එවැනි වීඩියෝ කිහිපයක් ම බීබීසීය විසින් නිරීක්ෂණය කරනු ලැබී ය.
මෑතකදී මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ පොලිස් රථවාහන නිලධාරියෙකුගේ ක්රියාකලාපයක් පිළිබඳව පළවූ වීඩියෝව ද එවැනි එක් අවස්ථාවකි.
"පොලිසිය නීතිය නොදන්නාකම නිසා සමාන්‍ය ජනතාව අපහසුතාවට පත්වෙනවා" යැයි එම වීඩියෝව පළ කළ පුද්ගලයා සඳහන් කර තිබිණි.
ඔහු පවසන්නේ, මූල්‍ය පහසුකමක් යටතේ ලබා ගත් තම මෝටර් රථයේ ලියාපදිංචි සහතිකයේ මුල් පිටපත තමන් සන්තකයේ නොතිබීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරියා තමන්ගෙන් ප්‍රශ්න කළ බව ය.
මේ අතර, රජය මෑතකදී මෝටර් රථ රක්ෂණ කාඩ්පත්වල මුද්‍රිත පිටපත් නිකුත් කිරීම නතර කර ඩිජිටල් ක්‍රමවේදයක් හඳුන්වා දුන් පසු, ඒ සම්බන්ධයෙන් ද පොලිස් නිලධාරීන් සහ රියැදුරන් අතර මතභේද මතු වූ අවස්ථා දැක්වෙන වීඩියෝ කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබිණි.
පොලිස් දෙපාර්තමේන්තුව පවසන්නේ, එම නව ක්‍රමවේදය පිළිබඳව තම නිලධාරීන් දැනුවත් කර ඇති බව ය.
ඒ අනුව, පොලිස් නිලධාරීන් නීතිය පිළිබඳව වැරදි අවබෝධයකින් කටයුතු කරන බවට මතු වන චෝදනාවලට පදනමක් තිබේ ද යන්න පිළිබඳව බීබීසී සිංහල විමසා බැලීය.
'නීතිගරුක නම්, පොලිසියෙන් විවේචන නැහැ'
මෙම ප්රශ්නය අපි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් වෙත යොමු කළෙමු.
ඊට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ, පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 84,000 දෙනෙකු පමණ සිටින බවත් ඔවුන්ගෙන් 10,000ක් පමණ රථවාහන නිලධාරීන් බවත් ය.
"මේ හැම නිලධාරියෙක් ම උදේ තුන හමාරට - හතරට පාරට ඇවිල්ලා රෑ 11 - 12 වෙනකන් පාරේ ඉන්න මිනිස්සු," නමුත් එම අවිවේකී බව නොතකා ඔවුන් මහජනතාව වෙනුවෙන් තම සේවය ලබා දෙන බව ඔහු පැවසීය.
ඒ හේතුවෙන් ඇතැම් අවස්ථාවල සමහර නිලධාරීන් "ඉවසීම ඉක්මවා" ක්‍රියා කළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
"නමුත් පොලිසියට තරහ යන්න බැහැ. අපි ඉවසීමේ ගුණය ප්‍රගුණ කරලා තියෙන්නේ."
ඔහු පැවසුවේ, ඊට අදාළ වැඩසටහන් මෙන් ම අවශ්‍ය ක්‍රියාමාර්ග පොලිස්පතිවරයා විසින් ගනු ලැබ ඇති බව ය.
"අපි මහ ජනතාවට කියන්නේ, ඔබ නීතිගරුක නම් ඔබට විරුද්ධව කිසි ම පොලිස් නිලධාරියෙකු විවේචනයක් කරන්නේ නැහැ. ඔබ නීතියට අනුගත වන්නේ නම්, පොලිස් නිලධාරියෙකු ඉතා ම ගෞරවනීය ලෙස රියැදුරු මහත්තයෙක් හැටියට ඔබව පිළිගන්නවා," ඔහු වැඩිදුරටත් පැවසීය.
අප මෙම ගැටලුව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර වෙත ද යොමු කළේ ය.
ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු සඳහන් කළේ, නිලධාරීන් කිහිප දෙනෙකු "පිස්සු වැඩක් කළා ම" එය සමස්ත පොලිසියේ ම මතය නොවන බව ය.
පහළ නිලධාරීන් දැනුවත් කිරීම සඳහා මාධ්‍ය සාකච්ඡා සහ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් අඛණ්ඩව පවත්වන බව ඔහු පැවසීය.
'නඩු ඉලක්ක සැපිරීමේ වුවමනාව'
පොලිස් නිලධාරීන් රථවාහන වැරදි කරන රියැදුරන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාකරන අවස්ථා මෙන් ම වැරදි නොකරන සාමාන්‍ය රියැදුරන් පවා වැරදිවලට පටලැවීමට උත්සහ කරන අවස්ථා දැක ඇති බව නීතිඥ දිනූෂා තිරාණගම පැවසුවා ය.
බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් ඇය පෙන්වා දුන්නේ, රථවාහන පොලිස් නිලධාරීන්ට ලබා දී ඇති නඩු ඉලක්ක සැපිරීමේ උවමනාව නිසා මෙම ප්‍රවණතාව නිර්මාණය වී ඇති බව ය.
"පොලිසිය එක්තරා ඉලක්කයක ඉන්නවා රථවාහන වැරදි මෙච්චර ප්‍රමාණයක් කරලා තියෙනවා, අපි මෙච්චර නඩු ප්‍රමාණයක් ගොනු කරා කියන තරගයක නියැළිලා ඉන්නවා," ඇය පැවසුවා ය.
මීට පෙර එවැනි අවස්ථාවලදී රියැදුරන් තමන් වරදක් නොකළත් "රස්තියාදු නොවී" එම ස්ථානයෙන් පිටව යාමට, වරද පිළිගෙන දඩ මුදල් ගෙවීමට ඔවුන් පෙළඹ සිටි බව ඇය සඳහන් කළා ය.
නමුත් "තාක්ෂණයේ දියුණුවත් සමග වාහනවල පවතින රෙකෝඩින් මගින් තමන් වරදක් නොකළ බව ඔප්පු කිරීමට ඇතැම් රියැදුරන්ට හැකියාව ලැබී තිබෙනවා."
එවැනි වීඩියෝ සාක්ෂි පෙන්වූ විට පොලිස් නිලධාරීන් දඩ ලිවීමෙන් පසුබසින අවස්ථා දක්නට ලැබී ඇති බව ඇය පැවසුවා ය.
කෙසේ වෙතත්, යතුරු පැදිකරුවන් වැනි රෙකෝඩින් පහසුකම් නොමැති රියැදුරන්ට තර්ක කිරීමට නොහැකි වන අතර, එවැනි අවස්ථාවලදී "වරදක් කළ බවට පෙළඹවීමට උත්සහ කර නඩු පැවරීමට පොලිසිය කටයුතු කරන අවස්ථා" නිරීක්ෂණය වන බව ඇය සඳහන් කළා ය.
අහඹු ලෙස මත්ද්‍රව්‍ය පරීක්ෂා කිරීම
මෙවැනි සිදුවීම්වලට අමතරව ඉකුත් වසරේ ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායකගේ අත්සනින් යුතුව නිකුත් කෙරුණු 2025 සැප්තැම්බර් 4 දිනැති අංක 2452/40 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය අනුව, පොලිස් නිලධාරීන්ට අහඹු ලෙස රථවාහන නවතා රියැදුරු අන්තරායකර ඖෂධ පනත යටතේ හඳුනාගෙන ඇති මත්ද්‍රව්‍ය භාවිත කර ඇති දැයි පරීක්ෂා කළ හැකි බව නීතිඥ දිනූෂා තිරාණගම පැවසුවා ය.
"උදාහරණයක් විදිහට ඔයා පාරේ යනවා නම්, ඔයා ඒක ගත්තා කියලා සැකයක් තියෙන්න ඕන නැහැ, රැන්ඩම් චෙක් කරලා අරගෙන ගිහිල්ලා, අධිකරණ වෛද්‍යවරයාට දාලා පරීක්ෂාවට ලක් කරන්න පටන් අරන් තියෙනවා ගැසට් එක ප්‍රකාරව," ඇය පැහැදිලි කළා ය.
එදින මත්ද්‍රව්‍ය භාවිත කර නොතිබුණත් ගත වුණු මාසය තුළ එම තැනැත්තා මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්නම් පරීක්ෂණය ධනාත්මක විය හැකි බව ඇය පැවසුවා ය.
නීතිඥවරිය පෙන්වා දුන්නේ, මත්ද්‍රව්‍ය භාවිත නොකරන පුද්ගලයෙකු සම්බන්ධයෙන් ගත් කල එලෙස අහඹු ලෙස පරීක්ෂා කිරීමකට භාජනය කිරීම ප්‍රශ්නසහගත බව ය.
"කෙනෙක් හදිසි ගමනක් යනවා වෙන්න පුළුවන්. නමුත් රැන්ඩම් විදිහට මෙහෙම පොලිස් ස්ථානයට අරන් ගිහිල්ලා, පස්සේ අධිකරණ වෛද්‍යවරයා ඉදිරියට දාලා, දැන් සමහර විට හිතන්නකෝ ඒක නෙගටයිව් වෙන කෙනෙක් සම්බන්ධයෙන් තියෙන තත්ත්වය...
"එතකොට එයාගේ ජීවිතයේ එයාගේ පැවැත්මෙන් සෑහෙන කාලයක් ඒ ප්‍රොසෙස් එකට ම ගතවෙලා ඉවරයි. එයාට ඒ යාමේ ඒමේ නිදහස නැති කරලා තමයි ඒක කරන්නේ," යැයි පවසමින් ඇය සඳහන් කළේ, මෙමගින් කෙනෙකුගේ නිදහසේ ගමන් කිරීමේ අයිතිය උල්ලංඝනය වන බව ය.
එවැනි අවස්ථාවලදී රියැදුරන්ට කළ හැක්කේ කුමක් ද?
කෙනෙකු නොකළ වරදකට නඩු පැවරීම "එක් අතකින් නීතිය විකෘති කිරීමක් බව නීතිඥ දිනූෂා තිරාණගම පැවසුවා ය.
ඇය පෙන්වා දුන්නේ, එවැනි අවස්ථාවක රියැදුරෙකුට අධිකරණය ඉදිරියේ තම නිර්දෝෂී බව ප්‍රකාශ කළ හැකි බව ය.
"අධිකරණය හමුවේ නඩුව ගොනු කළා ම, ඒ වැරැද්ද කළේ නැහැ කියලා අධිකරණය හමුවේ කිව්වාට පස්සේ, පොලිසිය ම තමයි එක සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කරන්න බැඳිලා ඉන්නේ එයා මේක කළා කියන එක," ඇය පැහැදිලි කළා ය.
එමෙන් ම තමන් එම වරද නොකළ බවට ඔප්පු කළ හැකි නම්, මෙම නඩු පැවරීම "ද්වේශසහගත" ලෙස හෝ "වෙනත් අරමුණක්" මුල් කරගෙන සිදු කර ඇති බවට සඳහන් කරමින් තම මූලික අයිතිවාසිකම් කඩවූ බවට නඩු පැවරිය හැකි බව ද ඇය පැවසුවා ය.
නීතිඥවරිය පෙන්වා දුන්නේ, නීතිය පිළිබ දැනුම නිසි ආකාරව නිලධාරීන් වෙත ගලා නොයෑමේ ගැටලුවක් මෙම සිදුවීම් මගින් නිරීක්ෂණය වන බව ය.
"සම්පූර්ණයෙන් ම මෙයට වගකිය යුතු අදාළ රාජ්‍ය ආයතන මගින් දැනුම් දීම කළ යුතුව තිබෙනවා," ඇය වැඩිදුරටත් පැවසුවා ය.