සැකකරුවන් මාස ගණන් රක්ෂිත බන්ධනාගාරගත කරන 54 වගන්තිය යනු කුමක් ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 5
"මගේ පුතාව 54 ගහලා දාලා තියෙන්නේ. එයාගේ අතේ මුකුත් තිබිලත් නෙමෙයි යාළුවෙක් එක්ක යද්දී අරන් තියෙන්නේ."
මීගමුව බන්ධනාගාරයේ ගැටුම හටගත් ජූලි 06 වන දා සිය පුත්‍රයා පිළිබඳව තොරතුරක් දැන ගැනීමට මීගමුව බන්ධනාගාරය අසල රැඳී සිටි මවක් බීබීසී සිංහල සේවයට එලෙස පැවසුවාය.
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් පසුව ඒ අවට රැස්වූ රැඳවියන්ගේ ඥාතීන් බොහෝ දෙනෙකු කියා සිටියේ තම පුත්‍රයා, ස්වාමි පුරුෂයා, සහෝදරයා හෝ හිතවතා මෙලෙස අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඇත්තේ, 54 වන වගන්තිය යටතේ චෝදනා ගොනු කිරීමෙන් බව ය.
54 වගන්තිය යනු කුමක් ද?
2022 අංක 41 දරන සංශෝධන පනතින් සංශෝධිත 1929 අංක 17 දරන විෂ වර්ග, අබිං හා අන්තරාදායක ඖෂධ වර්ග පනතේ 54 වගන්තිය යටතේ හෙරොයින්, කොකේන්, මෝර්ෆීන්, ගංජා, අබිං සහ අයිස් වැනි දැඩි ලෙස ඇබ්බැහි වන මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම හෝ ජාවාරම් කිරීම තහනම් කර තිබේ.
එම වගන්තිය යටතේ චෝදනා ලැබූවන්ට ඇප ලබා දීමේ බලය මහේස්ත්‍රාත් අධිකරණයට නොමැති අතර සැකකරුවෙකුට ඇප ලබා ගැනීමට අවශ්‍ය නම් එම ඇප ඉල්ලීම මහාධිකරණය වෙත අයැදුම් කළ යුතු වේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මාස 12ක් තුළ ලබා දිය යුතු රස පරීක්ෂක වාර්තාව
54 වගන්තිය යටතේ නඩු පැවරීමේදී රස පරීක්ෂක වාර්තා ලබා ගත යුතු අතර ඇතැම් විට එම වාර්තා ලබා ගැනීමට වසරකට ආසන්න කාලයක් ගත වන අතර එතෙක් සැකකරුට හෝ සැකකාරියට රක්ෂිත බන්ධනාගාරගත වී සිටීමට සිදුවේ.
පනතේ සඳහන් පරිදි රස පරීක්ෂක වාර්තාව මාස දොළහක් නොඉක්මවන කාලයක් තුළ ලබා දිය යුතු ය.
"ආණ්ඩුවේ රස පරීක්ෂකවරයා විසින්, (1) වන උපවගන්තිය යටතේ ඔහු වෙත ඉදිරිපත් කරන ලද යම් ඖෂධයක්, ද්‍රව්‍යයක්, භාණ්ඩයක් හෝ සැකසුමක් පිළිබඳ පරීක්ෂණයක් සිදුකර ඇති අවස්ථාවකදී, එලෙස ඉදිරිපත් කරන ලද දින සිට මාස දොළහක් නොඉක්මවන කාල සීමාවක් තුළ, ඔහුගේ පරීක්ෂණයේ ප්‍රතිඵල සඳහන් වාර්තාවක්, එකී පරීක්ෂණය සඳහා එම ඖෂධය, ද්‍රව්‍යය, භාණ්ඩය හෝ සැකසුම හෝ එහි යම් කොටසක් හෝ සාම්පලයක් ඔහු වෙත ඉදිරිපත් කරන ලද පොලිස් නිලධාරියාට සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත පිටපත් සහිතව මෙම ආඥාපනතේ III වන හෝ V වන පරිච්ඡේදය යටතේ වන යම් වරදක් විභාග කිරීම සඳහා අධිකරණ බලය ඇති මහෙස්ත්‍රාත්වරයා වෙත හෝ වෙනත් යම් නිසි අධිකරණයක් වෙත යවනු ලැබිය යුතු ය," යනුවෙන් එම පනතේ සඳහන් වේ.
පනත් සංශෝධනයෙන් දැඩි කළ ඇප කොන්දේසි
2022 අංක 41 දරන සංශෝධන පනත වැනි නවතම සංශෝධන මගින් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට අදාළ දඬුවම් සහ ඇප කොන්දේසි තවදුරටත් දැඩි කර ඇත.
එම සංශෝධනයට අනුව රජයේ රස පරීක්ෂක වාර්තාවට අනුව මත්ද්‍රව්‍යවල ශුද්ධ බර ග්‍රෑම් 10 හෝ ඊට වැඩි වන අවස්ථාවලදී ඇප ලබාදීමේ විශේෂ බලය මහාධිකරණයට අහිමි කර ඇති අතර එවැනි අවස්ථාවක විශේෂ අවස්ථානුගත කරුණු මත ඇප ලබා දීමේ බලය ඇත්තේ අභියාචනාධිකරණයට පමණි.
රස පරීක්ෂණ වාර්තාවට අනුව මත්ද්‍රව්‍යයේ ශුද්ධ ප්‍රමාණය ග්‍රෑම් 10ට අඩු නම් සුවිශේෂී කරුණු මත ඇප ලබාදීමේ බලය මහාධිකරණය සතු වේ.
එමෙන් ම, කිසිදු තැනැත්තෙකු මාස දොළහකට වැඩි කාලයක් සිරභාරයේ රඳවා තබා නොගත යුතු බව ද සංශෝධනයේ දක්වා ඇත.
"54 (අ) වන වගන්තියේ (1) වන උපවගන්තියේ සහ 54 ආ වන වගන්තියේ විධිවිධාන යටතේ අධිකරණයක් විසින් නඩු විභාග කර නොමැති සහ වරදකරු කරනු ලැබ නොමැති සහ දඬුවම් නියම කරනු ලැබ නොමැති සැකකරුවකු හෝ චූදිතයකු, ඔහු අත්අඩංගුවට ගන්නා දිනයේ සිට මාස දොළහකට වැඩි කාල සීමාවක් සිරභාරයේ රඳවා තබා ගනු නොලැබිය යුතු ය." යනුවෙන් එහි සඳහන් වේ.
බන්ධනාගාර තදබදය අඩු කරන්න පනතට සංශෝධනයක්
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් පසුව එහි කරන ලද නිරීක්ෂණ චාරිකාවේදී බන්ධනාගාර තදබදය සම්බන්ධව බීබීසී සිංහල සේවය යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේ රස පරික්ෂක වාර්තා ප්‍රමාදය මෙන්ම විෂ වර්ග අබිං හා අන්තරාදායක ඖෂධ පනතට 2022 වසරේ කරන ලද සංශෝධනයක් ද බන්ධනාගාර තදබදයට හේතු වී ඇති බවයි.
එම පනත සංශෝධනය කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.
"අපි පනත් සංශෝධනයක් ගේනවා දැනට කරගෙන යන්නේ ඒ පනත් සංශෝධනය. මීට අවුරුදු දෙකකට කලින් ගෙනාවානේ ග්‍රෑම් 10ට වඩා වැඩි නම් කෝට් ඔෆ් ඇපීල් යන්න ඕන කියලා. කෝට් ඔෆ් ඇපීල් එකට යන්න ඉස්සෙල්ලා රස පරික්ෂක වාර්තාව එන්න එපැයි. ඒකට අවුරුද්දයි, කෝට් ඔෆ් ඇපීල් තව මාසයයි අවුරුදු එක හමාරක් නිකං ඇතුළේ. දැන් අපි ඒ පනත සංශෝධනය කරනවා, විෂ මත්ද්‍රව්‍ය පනත. ලොකූ ම වැරදි තාමත් කෝට් ඔෆ් ඇපීල් යන්න වෙයි. අර පොඩි වැරදිවලට ආපහු හයි කෝට් එකට ඇප බලය දෙන්න අපි කටයුතු කරනවා."
මරණීය දණ්ඩනය හෝ ජීවිතාන්තය දක්වා බන්ධනාගාරගත කිරීම
සංශෝධිත පනතේ තහනම් විෂ මත්ද්‍රව්‍ය රාශියක් දක්වා ඇති අතර එම එක් එක් විෂ මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම හෝ ජාවාරම් කිරීම සම්බන්ධව වැරදිකරු බවට පත් වුවහොත් ලබා දෙන දණ්ඩනයන් ද වෙන වෙන ම පනතේ සඳහන් කර තිබේ.
මොෆීන්, කොකේන්, හෙරොයින් සහ මෙත්ඇම්පිටමින් ග්‍රෑම් 5ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම, ජාවාරම් කිරීම හෝ ආනයනය, අපනයනය කිරීමට වරදකරු වුවහොත් මරණීය දණ්ඩනය හෝ ජීවිතාන්තය දක්වා බන්ධනාගාරගත කිරීමට පනතින් බලය ලබා දී ඇත.
'නීතිය වෙනස් කරන්න අවශ්‍ය යි'
මෙරට බන්ධනාගාර පද්ධතිය තුළ රඳවා සිටින රැඳවියන්ගෙන් 65%ක් පමණ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වැරදිකරුවන් බවත්, ඔවුන් බන්ධනාගාරගත නොකර ප්‍රතිකාර සඳහා යොමු කළ යුතු බවත් සිරකරුවන් සුරැකීමේ කමිටුවේ සභාපති සේනක පෙරේරා වැඩිදුරටත් පැවසීය.
"දැනට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අය තමයි වැඩියෙන් ම බන්ධනාගාරවල ඉන්නේ. සාමාන්‍යයෙන් ගත්තා ම 65%ක් විතර ඉන්නවා. මේ අයව බන්ධනාගාරගත කරන එකට වඩා ඔවුන් ඒ තත්ත්වයෙන් මුදා ගන්න කරන්න පුළුවන් හොඳ ම දේ තමයි වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු කරන එක."
සාමාන්‍යයෙන් අන්තරායකර මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තියෙන පනත මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10කට වඩා තිබ්බ ම නඩු පවරන්නේ අභියාචනාධිකරණයේ. එහෙම නඩු පවරපුවා ම ඒ මත්ද්‍රව්‍ය ගැන රජයේ රස පරීක්ෂක වාර්තාව එන්න මාස 06ක් හරි අවුරුද්දක් වගේ කාලයක් යනවා. එතකම් මේ රැඳවියන් බන්ධනාගාරගත වෙලා ඉන්න ඕන. අනිත් කරුණ තමයි ඉස්සර මත්ද්‍රව්‍ය ගැන ඇප ගන්න පුළුවන් මහේස්ත්‍රාත් අධිකරණයෙන්. මේ නිසා පවතින නීතිය වෙනසක් කරන්න කටයුතු කරන්න අවශ්‍ය වෙනවා," ඔහු පැවසුවේය.

































