කාර්යාලයේ රැකියාව කරන ගමන් හිතත් ගතත් සුවෙන් තබා ගැනීමට මේ සරල ක්‍රියාව අත්හදා බලන්න

- Author, මිෂෙල් රොබර්ට්ස්
- Role, ඩිජිටල් සෞඛ්‍ය සංස්කාරක
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
ඊමේල් පණිවුඩවලට ප්‍රතිචාර දැක්වීම හෝ ටීම්ස් (Teams) ඇමතුම් ලබා ගැනීම වේවා, රැකියා ජීවිතයෙන් වැඩි කොටසක් ගෙවී යන්නේ පුටුවකට වී එක තැනක රැඳී සිටීම වටා ය.
නමුත් මෙම වාඩි වී සිටීමේ පුරුද්ද අපගේ සෞඛ්‍යයට හානි පමුණුවයි. දිගු වේලාවක් වාඩි වී සිටීම නිසා බර වැඩිවීම, හෘද රෝග සහ දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවදානම වැඩි විය හැකි බව විශේෂඥයෝ පවසති.
නමුත් රැකියාවේ ඵලදායීතාව එලෙස ම පවත්වා ගන්නා අතරතුර කොපමණ වේලාවකට වරක් ඔබ පුටුවෙන් නැගිට ඇවිදිය යුතු ද? යන්න පැහැදිලි වී තිබුණේ නැත. එහි නිවැරදි සමබරතාව කුමක් ද?
British Journal of Sports Medicine සඟරාවේ මේ සතියේ පළවූ කොලොම්බියා විශ්වවිද්‍යාලයේ අධ්‍යයනයකට අනුව, රැකියාවේ කාර්යක්ෂමතාව අඩු කර ගැනීමකින් තොරව සෞඛ්‍යමය යහපැවැත්ම ඉහළ නැංවීම සඳහා ඇති හොඳ ම සහ ප්‍රායෝගික ම ක්‍රමය වන්නේ සෑම පැයකට ම වරක් විනාඩි 5ක විවේකයක් හෙවත් "කෙටි චලනයක්" ලබා ගැනීම ය.
ඵලදායීතාව, මනෝභාවය සහ අවධානය ඉහළ නැංවීම
ප්‍රධාන පර්යේෂක කීත් ඩියස් බීබීසී පුවත් සේවයට පැවසුවේ, වර්තමානයේ බොහෝ වැඩිහිටියන් අවදි වී කාලය ගත කරන එක් දිනයකින් හතරෙන් තුනක් ම එක් ස්ථානයකට වී (අක්‍රීයව) ගත කරන බව ය.
"අඩුවෙන් වාඩි වී සිටින්න, වැඩියෙන් චලනය වෙන්න" යන පොදු උපදෙස නිවැරදි වුවත්, ජනතාව ඒ සම්බන්ධයෙන් වන නිවැරදි ප්‍රමාණය (මාත්‍රාව) කුමක් දැයි දැන ගත යුතු බව ඔහු වැඩිදුරටත් පැවසීය.
ශුභ ආරංචිය නම්, මානසික ආතතිය අඩු කර ගැනීමට සහ තෙහෙට්ටුව අඩු කර ගැනීමට සෑම පැයකට ම වරක් විනාඩි 5ක ඇවිදීමේ විවේකයක් ගැනීම ප්‍රමාණවත් වීම ය. එමෙන් ම මෙය ප්‍රායෝගික සහ ඉටු කර ගත හැකි ක්‍රමයක් බව මිනිසුන්ට වැටහී තිබෙනවා," යැයි ඩියස් පැවසීය.
මෙම අධ්‍යයනය මගින් ඇමෙරිකානු සේවකයින් 11,000කට වැඩි පිරිසක් සමීක්ෂණයට ලක් කළ අතර, ඔවුන්ගෙන් බහුතරයක් කාර්යාලයීය රැකියාවල නියුතු, දිනකට පැය 8ත් 9ත් අතර සේවා මුරයන්හි (shifts) වැඩ කරන අය වූහ.
පළමු සතිය තුළ, ඔවුන් තමන්ගේ සාමාන්‍ය දෛනික ක්‍රියාවලීන්හි නිරත වූ අතර, තෙහෙට්ටුව, ඔවුන්ගේ මනෝභාවය (සිතේ සතුට) සහ රැකියාවේ කාර්ය සාධනය පිළිබඳ දෛනික සමීක්ෂණ පත්‍රිකා සම්පූර්ණ කළහ.
ඊළඟ සති දෙක තුළ, සෑම පැය භාගයකට, සෑම පැයකට ම හෝ සෑම පැය දෙකකට වරක් ම රැකියා ස්ථානයේදී විනාඩි 5ක ඇවිදීමේ විවේකයක් ගන්නා ලෙසත්, පෙර පරිදි ම සමීක්ෂණ පත්‍රිකා පුරවන ලෙසත් ඔවුන්ගෙන් ඉල්ලා සිටින ලදී.
සෑම පැය භාගයකට ම වරක් ඇවිදීම, මනෝභාවය යහපත් කිරීමට සහ තෙහෙට්ටුව අඩු කිරීමට හිතකර වූ නමුත්, එය දෛනික රැකියා කටයුතුවලට බාධාවක් විය. සෑම පැය දෙකකට වරක් ඇවිදීම කිසිසේත් ම නොඇවිද සිටීමට වඩා යහපත් වූ නමුත්, සෑම පැයකට ම වරක් විනාඩි 5ක කෙටි ඇවිදීමක නිරත වීම ඵලදායීතාව, මනෝභාවය සහ අවධානය යන සියල්ලෙහි ම ඉහළ ම සහ ප්‍රායෝගික ම වර්ධනයක් ඇති කරන බව පර්යේෂකයෝ හඳුනා ගත්හ.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
පැය ගණන් වාඩි වී සිටීමේ පුරුද්ද අත්හැරීමට අපහසු පුරුද්දක් විය හැකි බව ඩියස් පැවසූ අතර, මෙම අධ්‍යයනයට සම්බන්ධ වූ බොහෝ සේවකයින් තමන් ගන්නා මෙම විවේකයන් පිළිබඳව තම ප්‍රධානියා හෝ සෙසු සේවකයින් කුමක් සිතනු ඇත්දැයි කනස්සල්ලෙන් පසු වූහ.
"එය නොගැළපෙන දෙයක් ලෙස පෙනුණත්, ඇත්ත වශයෙන් ම චලන විවේකයන් මගින් රැකියාවේ කාර්ය සාධනය ඉහළ නැංවිය හැකි යි," ඩියස් පැවසීය. "ඊට මොළයේ ක්‍රියාකාරිත්වය, අවධානය සහ මතකය වැඩි දියුණු කළ හැකි යි. ඒ වගේ ම ඒක මිනිසුන්ට වඩාත් සැහැල්ලුවෙන් සහ ප්‍රබෝධවත්ව සිටීමට උපකාරී වෙනවා."
ඇවිදීම සඳහා වැය වන්නේ අඩු පිරිවැයක් වන අතර, එයින් අදහස් කරන්නේ වැඩ නතර කිරීම නොවන බව පැවසූ ඔහු, එළිමහනේ හෝ කාර්යාලය වටා ඇවිදිමින් සාකච්ඡා පැවැත්වීම (walking meetings) හෝ දුරකතන ඇමතුම් අතරතුර එහා මෙහා ඇවිදීම (pacing) මීට උදාහරණ ලෙස පෙන්වා දුන්නේ ය.
බ්‍රිතාන්‍ය හෘද පදනමේ ජ්‍යෙෂ්ඨ හෘද රෝග පිළිබඳ හෙද නිලධාරිනී එමිලි මැක්ග්‍රාත් මෙම පර්යේෂණ සොයාගැනීම් අගය කළ අතර, "චලනයන් සරල ලෙස (ජීවිතයට) එකතු කර ගැනීමෙන් සමස්ත සෞඛ්‍යය ඉහළ නැංවිය හැකි" බව පැවසුවා ය.
කෙසේ වුවත්, "මෙම අධ්‍යයනය පදනම් වී ඇත්තේ සේවකයින් විසින් ම දෙන ලද තොරතුරු (self-reported data) මත වන අතර එය කෙටි කාලීන එකක් බැවින්, හෘද සෞඛ්‍යයට මෙයින් ඇති වන බලපෑම තහවුරු කර ගැනීමට දිගු කාලීන පර්යේෂණ සිදු කිරීම අවශ්‍ය බව," ඇය අවධාරණය කළා ය.


































