ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක්

ඥානසාර හිමි
    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 3

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වරදකරු වී සිර දඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය අද (ඔක්තෝබර් 01 වැනිදා) විවෘත වරෙන්තු නිකුත් කළේය.

ඊට අමතරව ඥානසාර හිමි විදේශ ගත වීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් විදේශ ගමන් තහනමක්ද නිකුත් කරන ලදි.

ඒ පිළිබඳව ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙසත් විවෘත වරෙන්තුව පොලිස්පතිවරයා මාර්ගයෙන් ක්‍රියාත්මක විය යුතු බවත් අධිකරණය නියෝග කළේය.

අදාළ නඩුකරය අද කැඳවනු ලැබූ අවස්ථාවේදී මායාදුන්නේ කොරයා සහ ලක්මාලී කරුනානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරන ලදි.

මෙම නඩුකරය අද (ඔක්තෝබර් 01 වැනිදා) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රජිත පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින් වගඋත්තරකාර ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීම සඳහා ඉකුත්දා නිකුත් කළ වරෙන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ අපරාධ කොට්ඨාසය සහ බුද්ධි සේවාවලට දැනුම් දී එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි සඳහන් කළේය.

එම වරෙන්තුව ක්‍රියාත්මක කිරීමට අදාළ වාර්තාවක් මේ වන විට අධිකරණය හමුවේ ගොනුකර තිබෙන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.

ඉකුත් 29 වැනිදා ඥානසාර හිමි අලුත්කඩේ අධිකරණ කලාපයට පැමිණ සිටින බවට තොරතුරු ලැබී තිබුණත් ඉන් පසුව උන් වහන්සේ පිළිබඳව කිසිදු තොරතුරක් අනාවරණය වී නැතැයි, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

ඉන් අනතුරුව ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායක හිමියන් අසනීපව ප්‍රතිකාර ලබන බවට තොරතුරු ලැබී තිබුණත් මේ අවස්ථාවේදී උන්වහන්සේගෙන් තමන්ට උපදෙස් කිසිවක් ලැබී නොමැති බවත් සඳහන් කර සිටියේ ය.

කෙසේවෙතත් උන්වහන්සේ අසනීපයෙන් පසු වන බව දැක්වෙන වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ගොනුකර තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා දැනුම් දුන්නේය.

මේ අවස්ථාවේදී අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නෙළිගොඩ වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අස්තික දේවේන්ද්‍ර අධිකරණයට කරුණු දක්වමින් සිය සේවාදායිකාවට මෙම නඩුකරයට මැදිහත්වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියේ ය.

එම අවස්ථාවේදී විනිසුරුවරු ප්‍රකාශ කළේ මෙය අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ නඩුකරයක් බැවින් මෙම අවස්ථාවේදී මැදිහත්වීම් පිළිබඳව සලකා බැලීමට අධිකරණය අපේක්ෂා නොකරන බවයි.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ අභියාචනාධිකරන විනිසුරු මඩුල්ල අනතුරුව මෙම නියෝගය නිකුත් කළේය.

පෙර නිකුත් කළ වරෙන්තුව

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය (සැප්තැම්බර් 29 වැනිදා) වරෙන්තුවක් නිකුත් කර තිබේ.

පොලිස්පතිවරයා මාර්ගයෙන් එම වරෙන්තුව ක්‍රියාත්මක කරන ලෙස නියෝගයේ සඳහන් විය.

ඒ අනුව, ඔක්තෝබර් මස පළමු වන දා විත්තිකාර ඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද නියෝගයේ සඳහන් විය.

වරෙන්තු නිකුත් කළේ ඇයි?

ජනාධිපති සමාව අහෝසි කරනු ලැබූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව පවතින සිර දඬුවම ක්‍රියාත්මක කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා ගොනුකර තිබෙන මෝසමක් (සැප්: 29) අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

මෙම මෝසම කැඳවනු ලැබුවේ, මායාදුන්නේ කොරයා සහ ලක්මාලී කරුණානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ය.

එම අවස්ථාවේදී ඥානසාර හිමියන් අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.

ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ සඳහන් කළේ, සිය සේවාදායක හිමියන් අසනීප තත්ත්වයෙන් විවේක ගන්නා බවත්, මෙම මෝසම පිළිබඳව අධ්‍යයනය කර කරුණු දැක්වීම සඳහා තමන්ට දිනයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේ ය.

එහෙත්, රජයේ නීතිඥ සජිත් බණ්ඩාර සඳහන් කළේ, මෙය අපරාධ නඩුවක් බව ය.

එහෙයින්, විත්තිකරු අධිකරණයට නොපැමිණෙන්නේ නම් වරෙන්තු නිකුත් කරන ලෙස රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.