ඉරාන යුද්ධයෙන් ජනතාව පීඩා විඳිද්දී ඉන්ධන සමාගම්වල ලාභය දෙගුණ වුණේ කොහොම ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, ජෙනිෆර් මේයර්හෑන්ස්
- Role, ව්‍යාපාරික වාර්තාකරු
- Author, ශානාස් මුසාෆර්
- Role, ව්‍යාපාරික වාර්තාකරු
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
ඉරාන යුද්ධය හේතුවෙන් බොරතෙල් මිල ඉහළ යාමත් සමග ෂෙල් (Shell) සමාගමේ දෙවන කාර්තුවේ ලාභය දෙගුණයකටත් වඩා ඉහළ ගොස් තිබේ.
මෙම දැවැන්ත ඉන්ධන සමාගම අප්‍රේල් සිට ජූනි දක්වා කාලය සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 9.84ක (පවුම් බිලියන 7.37ක) ලාභයක් වාර්තා කර ඇති අතර, එය පසුගිය වසරේ එම කාලය තුළ පැවතියේ ඩොලර් බිලියන 4.26ක් ලෙස ය.
හෝර්මූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන ලෝක බොරතෙල් වෙළෙඳාම සහ ද්‍රවීකෘත ස්වභාවික ගෑස් (LNG) සැපයුමට එල්ල වූ දැඩි බාධා කිරීම් හේතුවෙන්, ඇමෙරිකාව සහ ඊශ්‍රායලය, ඉරානය සමග පැවති යුද්ධය ආරම්භ වූ දා සිට බොරතෙල් මිල ඉහළ ගොස් ඇත.
නමුත් යුද ගැටුම් පවතින කාල සීමාව තුළ බලශක්ති මිල ගණන් නිරන්තරයෙන් විශාල ලෙස වෙනස් වීම සිදුවූ අතර, එය ෂෙල් සමාගමේ බලශක්ති වෙළෙඳාම් අංශයේ ආදායම තවදුරටත් ඉහළ නැංවීමට හේතු විය.
ෂෙල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී වේල් සවාන් ප්‍රකාශ කළේ, "ලෝක බලශක්ති වෙළඳපොළ තුළ දැඩි බාධා කිරීම් පැවති තවත් කාර්තුවකදී, ඉතා ශක්තිමත් ප්‍රතිඵල (ලාභයක්) ළඟා කර ගැනීමට සමාගමේ මෙහෙයුම් කාර්ය සාධනය ඉවහල් වූ" බව ය.
වසරේ පළමු මාස තුන (පළමු කාර්තුව) සඳහා ලැබූ ඩොලර් බිලියන 6.92ක ලාභය ද සමගින්, ෂෙල් සමාගමේ වසරේ පළමු අර්ධයේ සමස්ත ඉපයීම්වල 70%ක ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කර ඇත.
ෂෙල් සහ BP මෙන් ම නෝර්වේහි එක්විනෝර් (Equinor) වැනි අනෙකුත් දැවැන්ත බලශක්ති සමාගම් ද මේ වසරේ වාර්තාගත ඉහළ ලාභයක් ලබා ඇති අතර, එයට අර්ධ වශයෙන් හේතු වී ඇත්තේ ඉන්ධන මිලෙහි සිදුවන උච්චාවචනයන් උපයෝගී කර ගනිමින් සිදුකළ වෙළෙඳාම් කටයුතු ය.
යුද ගැටුම් ආරම්භ වීමට පෙර, ලෝක ඉන්ධන මිලෙහි ප්‍රධාන දර්ශකය වන බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 73ක් පමණ විය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
එතැන් පටන්, හෝර්මූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත වන්නේ කවදා ද යන්න පිළිබඳව මතු වූ විවිධ අනුමාන කිරීම් මධ්‍යයේ, ඉන්ධන මිල ඩොලර් 120 සීමාව ඉක්මවා ඉහළ ගිය අතර නැවත ඩොලර් 100 සීමාවට වඩා පහළ ගියේ ය.
ඉන්ධන මිලෙහි පවතින දැඩි උච්චාවචන හේතුවෙන් මිල දී ගැනීමේ සහ විකිණීමේ මිල අතර පරතරය පුළුල් වන අතර, එමගින් වෙළෙඳුන්ට ඉහළ ලාභයක් උපයා ගැනීමට අවස්ථාව සැලසේ. වෙළෙඳපොළ අස්ථාවර අවස්ථාවන්හිදී ක්‍රියාත්මක වන මෙම ක්‍රියාවලිය හරහා ඉන්ධන සමාගම් අතිවිශාල ලාභ වාර්තා කරයි.
කෙසේ වෙතත්, මැදපෙරදිග පවතින යුද ගැටුම් හේතුවෙන් ෂෙල් සමාගමේ ඇතැම් මෙහෙයුම් කටයුතුවලට බලපෑම් එල්ල වී තිබේ.
යුද ගැටුම් හේතුවෙන් මාර්තු මුල සිට ම කටාර් රාජ්‍යයේ පිහිටි ෂෙල් සමාගමේ ද්‍රවීකෘත ස්වභාවික ගෑස් (LNG) නිෂ්පාදනය සම්පූර්ණයෙන් ම නවතා දමා ඇති අතර, සමාගමේ වායු-ද්‍රව බවට පත් කරන මධ්‍යස්ථානයට මාර්තු මාසයේදී එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් "දැඩි හානි" සිදුවිය.
අප්‍රේල් සිට ජූනි දක්වා කාලය තුළ සමාගමේ සමස්ත ගෑස් නිෂ්පාදනය දිනකට බොරතෙල් බැරල් 631,000ක් දක්වා පහත වැටී ඇති අතර, එය පළමු කාර්තුවේ පැවති දිනකට බැරල් 909,000ක මට්ටමේ සිට දැඩි පහත වැටීමක් බව සමාගම ප්‍රකාශ කළේ ය.
බ්‍රසීලයේ සහ ඇමෙරිකානු ගල්ෆ් කලාපය ආශ්රිත නව ඉන්ධන නිෂ්පාදන ආරම්භ වූ බව ෂෙල් සමාගම පෙන්වා දුන්න ද, වසරේ පළමු අර්ධයේ ඔවුන්ගේ සමස්ත ඉන්ධන සහ ගෑස් නිෂ්පාදනය 2025 වසරේ පළමු අර්ධයට සාපේක්ෂව 16%කින් පහත වැටී ඇත.
"මෙහිදී වඩාත් ම කැපී පෙනෙන දායකත්වය ලැබුණේ ෂෙල් සමාගමේ වෙළෙඳාම් අංශයෙන් වන අතර, එමගින් ඔවුන්ගේ ඒකාබද්ධ ව්‍යාපාරික ආකෘතියේ වටිනාකම නැවත වරක් ඔප්පු කර පෙන්වා තිබෙනවා. ඊට අමතරව ඉන්ධන පිරිපහදු හා රසායනික ද්‍රව්‍ය අංශයේ සාර්ථකත්වය සහ බ්‍රසීලයේ සිදුවූ ශක්තිමත් නිෂ්පාදන වර්ධනය ද මීට සහයෝගයක් වුණා," යැයි ක්විල්ටර් චෙවියට් ආයතනයේ ගෝලීය බලශක්ති විශ්ලේෂක මොරිසියෝ කරුලි පැවසීය.
"වේගයෙන් වෙනස් විය හැකි කර්මාන්තයක් තුළ, [ෂෙල් සමාගම] තවදුරටත් ස්ථාවරව ඉදිරියට යන නෞකාවක් වගේ පවතිනවා"
කෙසේ වෙතත්, මෙම නවතම ප්‍රතිඵල (වාර්තාගත ලාභය) කෙරෙහි පාරිසරික ක්‍රියාකාරීන් දැඩි කෝපයකින් යුතුව ප්‍රතිචාර දක්වා තිබේ.
දැඩි තාප තරංග සහ ලැව්ගිනි බ්‍රිතාන්‍යයට මෙන් ම යුරෝපය පුරා විනාශකාරී බලපෑම් එල්ල කරමින් පවතින මොහොතක, ෂෙල් සමාගම දේශගුණික අර්බුදය තවදුරටත් අවුළුවාලමින් මෙවැනි අතිවිශාල ලාභයක් ඉපැයීම සැබවින් ම පිළිකුල්සහගත යි," යනුවෙන් ප්රෙන්ඩ්ස් ඔෆ් ද අර්ත් සංවිධානයේ බලශක්ති ක්‍රියාකාරී ඩැනී ග්‍රොස් පැවසීය.
ඉහළ විදුලි බිල්පත් සහ ඉන්ධන මිල හමුවේ ජනතාව දැඩි ලෙස පීඩා විඳින අතරතුර, යුද්ධය හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාමෙන් ෂෙල් සමාගම වාර්තාගත ලාභයක් ලබා තිබෙනවා. මෙම තත්ත්වය මත ෆොසිල ඉන්ධන මත යැපීම අවසන් කර පුනර්ජනනීය බලශක්ති වෙත කඩිනමින් මාරු වීමේ අවශ්‍යතාව අවධාරණය කරනවා"



























