ජොන්ස්ටන් ප්‍රනාන්දු හා බාල පුත් ජෙරෝම් ප්‍රනාන්දු රිමාන්ඩ්: ඔවුන්ට එල්ල වී ඇති චෝදනා මොනවා ද?

ජොන්සටන් ප්‍රනාන්දු

ඡායාරූප මූලාශ්‍රය, Johnston Fernando | Facebook

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 2

හිටපු වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ බාල පුත් ජෙරෝම් කෙනත් ප්‍රනාන්දු යන අය ලබන 9 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස වත්තල මහේස්ත්‍රාත් කාංචනා එන්. සිල්වා ජනවාරි 5 වන දා නියම කළේ ය.

විමර්ශන සිදු කරන පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් හා සැකකරුවන්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝග නිකුත් කෙරිණි.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ බාලපුත් ජෙරොම් කෙනත් ප්‍රනාන්දු ජනවාරි 5 පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ඉදිරිපත් වීමෙන් අනතුරුව පොලිසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගන්නා ලදී.

චෝදනා මොනවා ද?

මොවුන් අත්අඩංගුවට ගත්තේ, සතොස ආයතනයට අයත් දේපළ අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරන විමර්ශනයකට අදාළව ය.

මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයාගේ තවත් පුත්‍රයෙකු වන ජොහාන් ප්‍රනාන්දු සහ සතොස ආයතනයේ හිටපු ප්‍රවාහන කළමනාකරුවෙකු වන ඉන්දික රත්න මලල යන අය ලබන 9 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය මීට පෙර නියෝග කර තිබිණි.

ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සතොස ආයතනයට අයත් ලොරියක් ඔවුන්ට අයත් එතනෝල් සමාගමක කටයුතු සඳහා භාවිත කිරීම තුළින් රජයේ දේපළ අවභාවිත කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊට අමතරව දැන දැන්ම අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර නිලධාරීන් නොමග යවා නීති විරෝධී ලෙස එතනෝල් බලපත්‍ර ලබා ගැනීම, බදු ගෙවීම පැහැර හැරීම සහ මුදල් විශුද්ධිකරණය යන චෝදනා යටතේ හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන්ට එරෙහිව මෙම විමර්ශන පැවැත්වේ.

2015 වසරේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ වී තිබේ.