උසස් පෙළ කල් දමන්නැයි ඉල්ලූ පෙත්සම: විභාගයට ගන්නවා ද නැද්ද යන නියෝගයට දින නියම වෙයි

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 3

ඉදිරියේදී පැවැත්වීමට නියමිත අ.පො.ස. උසස් පෙළ විභාගය මාස දෙකකින් කල් දමන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඊට පෙනී සිටින සිසු සිසුවියන් පිරිසක් ගොනු කළ පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද නැද්ද යන නියෝගය ලබන 23 වන දා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නියෝග කළේ ය.

පෙත්සම ඉදිරිපත් කරනු ඇත්තේ, මෙම වසරේ උසස් පෙළ විභාගයට පළමු වරට හා දෙවන වරට පෙනී සිටින සිසු සිසුවියන් නව දෙනෙකු විසිනි.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ බ්‍රහස්පතින්දා (ජූලි 16) මෙම පෙත්සම සලකා බැලිණි.

එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ භූපති කහතුඩුව අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, අධ්‍යාපන අමාත්‍යංශයේ චක්‍රලේඛවලට අනුව අනිවාර්යෙන් පැවැත්විය යුතු පාසල් දින සංඛ්‍යාව නියම කර ඇති බව ය.

දිට්වා සුළි කුණාටුව සහ ඉන්ධන අර්බුදය හේතුවෙන් බදාදා දිනවල නිවාඩු ප්‍රකාශයට පත් කිරීමට රජය විසින් ගනු ලැබූ තීරණය වැනි කාරණා හේතුවෙන් පාසල් නිසි පරිදි නොපැවැත්වූ බවත් නීතිඥවරයා කියා සිටියේ ය.

මෙම තත්ත්වය යටතේ දැනට සැලසුම් කර ඇති පරිදි එළඹෙන අගෝස්තු මස උසස් පෙළ විභාගය පවත්වනු ලැබුවොත් සිසුන්ට දැඩි අගතියක් සිදුවිය හැකි බව නීතිඥවරයා සඳහන් කළේ ය.

එම නිසා අදාළ විභාගය මාස දෙකකින් කල් දැමීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් දැනට ප්‍රකාශයට පත් කර තිබෙන අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා නිකුත් කර තිබෙන කාල සටහන බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා සිසු සිසුවියන් 378,000 ක් පමණ ලියාපදිංචි වී තිබෙන බව සඳහන් කළේ ය.

ඉන් නව දෙනකු පමණක් මෙම විභාගය කල් දමන ලෙස ඉල්ලා අධිකරණය හමුවට පැමිණ තිබෙන බවයි සොලිසිටර් ජනරාල්වරයා පැවසීය.

'නිසි ලෙස පාසල් නොපැමිණි සිසුන් විභාගයට පෙනී සිටීමට කාලය ප්‍රමාණවත් නොවන බව ප්‍රකාශයක් කරන්නේ කෙසේ ද?'

විභාගවලට පෙනී සිටීම සඳහා සිසුන් සාමාන්‍යයෙන් වාර්ෂිකව පාසල් පැමිණීමෙන් සියයට 80ක් සම්පූර්ණ කිරීම අවශ්‍ය වුව ද මෙම පෙත්සම්කරුවන් අතරින් එක් පෙත්සම්කාර ශිෂ්‍යයකුගේ පාසැල් පැමිණීම සටහන් වී ඇත්තේ සියයට 7.2ක් ලෙස බවත් ඔහු සඳහන් කළේ ය.

තවත් පෙත්සම්කරුවන් කිහිප දෙනෙකු පාසල් පැමිණීම වාර්තා කර තිබෙන්නේ සියයට 50, 53 යනාදී සීමාවන්වල යැයි පෙන්වා දුන් සොලිසිටර් ජනරාල්වරයා නිසි ලෙස පාසල් අධ්‍යාපන කටයුතුවලට පවා සහභාගි වී නොමැති සිසුන් තමන්ට උසස් පෙළ විභාගයට පෙනී සිටීමට කාලය ප්‍රමාණවත් නොවන බව ප්‍රකාශයක් කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කර සිටියේ ය.

උසස් පෙළ විභාගය කල් දමනු ලැබුවොත් විශ්වවිද්‍යාල ප්‍රවේශය වැනි කටයුතුවලට ද දැඩි අගතියක් සිදුවනු ඇති බව සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ ය.

ඒ අනුව, පෙත්සම්කරුවන් අධිකරණයට කරුණු වසන් කිරීමක් සිදු කර තිබෙන බවත් ඔවුන් අධිකරණයට පැමිණ තිබෙන්නේ පිරිසිදු දෑතින් නොවන බවත් මෙහිදී සොලිසිටර් ජනරාල්වරයා අවධාරණය කළේය.

දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල පාර්ශවකරුවන්ට නියම කළේ මෙම නඩුකරයට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඒවා ලබන සඳුදාට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙසයි.

ඉන් අනතුරුව මෙම පෙත්සම විභාගයට ගැනීම සඳහා අවසර දෙන්නේ ද? නැත් ද? යන නියෝගය ජූලි 23 වන දා ප්‍රකාශයට පත් කරන බව විනිසුරු මඩුල්ල නියෝග කළේය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අධ්‍යාපන අමාත්‍යවරිය ,එම අමාත්‍යංශයේ ලේකම්, විභාග කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.