වඩියා අල්-ෆයුමි දරුවාගේ ඝාතනය: ඇමෙරිකාවේ වෙසෙන පලස්තීනුවන්ට මරණ තර්ජන

Laila Gaber stands in front of her house with the US flag flying and a 'Free Palestine' sign on her front lawn
ඡායාරූප ශීර්ෂ වැකිය, ලයිලා ඇමෙරිකානුවෙක් වීම ගැන ආඩම්බර වන අතර තම මාතෘභූමිය සඳහා ඇය දක්වන සහයෝගය හේතුවෙන් මරණ තර්ජනවලට ලක්වීම ගැන බියට පත්ව සිටියි.
Published

ඔබ චිකාගෝවෙන් පිටත පිහිටි බ්‍රිජ්වීව් නගරය වෙත ගියහොත්, ඔබ ඇමෙරිකාවේ සිටින බව ඔබට ඇතැම් විට අමතක වනු ඇත.

වසර ගණනාවක් පුරා 'පුංචි පලස්තීනය' ලෙස හඳුන්වනු ලබන එම නගරය ආකර්ෂණීය මෙන් ම වඩා ත් හොඳින් හඳුනා ගත හැකි එක්සත් ජනපදයේ විශාලතම ප්‍රජාවන්ගෙන් එකක් වන පලස්තීන ප්‍රජාවගේ නිවහන වේ.

ඒ අවට සැරිසැරූ මා දුටුවේ බොහෝ අවන්හල් සහ සාප්පුවල නම් අරාබි භාෂාවෙන් ලියා ඇති අයුරු ත් ඇතැම් බැල්කනිවල පලස්තීන ධජය එල්ලා ඇති අයුරු ත් ය.

ගාසාහි සටන් විරාමයක් සඳහා වන ඉල්ලීම් ඇතුළත් විශාල දැන්වීම් පුවරු ගණනාවක් ද මම දුටිමි.

'මට දැනෙන්නේ මම මැරිලා වගේ'

18,000ක සාමාජිකයින් ගණනක් සිටින මෙම ශක්තිමත් පලස්තීන ප්‍රජාව තම මව්බිමෙන් සැතපුම් දහස් ගණනක් ඈතින් ජීවත් වුව ද, ගාසා තීරයේ යුද්ධය ඔවුන්ට ද බලපා තිබේ.

A family photo of Wadea al-Fayoume
ඡායාරූප ශීර්ෂ වැකිය, වඩියා අල්-ෆයුමි දරුවාට පහර දී මරා දමන විට ඔහු සිය හයවන උපන්දිනය සැමරුවා පමණි.

වඩියා අල්-ෆයුමි නම් හය හැවිරිදි පලස්තීන-ඇමෙරිකානු පිරිමි දරුවා ඉකුත් ඔක්තෝබර් මාසයේදී සිය ගෙවල් හිමියා විසින් එල්ල කරන ලද පිහි පහරවල් 26කින් ජීවිතක්ෂයට පත් විය. ඔහුගේ ම්ලේච්ඡ ඝාතනය ලොව ම තැති ගැන්වීමට හේතු විය.

71 හැවිරිදි මෙම සැකකරුට එරෙහිව මනුෂ්‍ය ඝාතන සහ වෛරී අපරාධ යන චෝදනා සම්බන්ධයෙන් මේ වන විට නඩුවක් විභාග වෙමින් පවතී.

වඩියාගේ පියා, ඔඩේ අල්-ෆයුමි තවමත් පසු වන්නේ කම්පනයෙනි. තම එක ම දරුවාගේ වියොවින් තැවෙන්නට හෝ ඔහුට හැකි වී නැත.

"මට තාම එයාව පේනවා, එයාගේ කටහඬ ත් ඇහෙනවා," ඔඩේ මා හා පවසන්නේ දැඩි ලෙස ශෝකයෙන් බර වූ හඬකිනි.

Oday al-Fayoume and his son Wadea on his birthday
ඡායාරූප ශීර්ෂ වැකිය, ඔඩේ අල්-ෆයුමි සහ පුත් වඩියා උපන්දින සැමරුමකට එක්වූ ප්‍රීතිමත් අවස්ථාවක්

ඔහු මා කැටුව ගියේ, සතිඅන්ත දිනවල නිවසේ රැඳී සිටින අවස්ථාවලදී වඩියා නිදා ගැනීමට පුරුදුව සිටි කාමරය නැරඹීමට ය.

"හැම සෙනසුරාදාවක ම මම එයා එනකම් ජනේලය ළඟට වෙලා බලාගෙන ඉන්නවා. මම දන්නවා එයා එන්නේ නෑ කියලා. ඒත් මගේ වේදනාව නැති කරගන්න ඒක උදව්වක්."

ඔහු එයට මුහුණ දෙන්නේ කෙසේදැයි මා ඔහුගෙන් විමසූ විට, ඔහුගේ පිළිතුර කෙටි සහ හද කම්පා කරවනසුලු ය.

"මෙම ජීවත් වෙනවා වගේ පෙනුනට ඇතුළතින් මම මැරුණු මිනිහෙක්."

එවැනි අහිමිවීමක් මධ්‍යයේ වුව ද ඔඩේ පවසන්නේ, ගාසා තීරයේ දරුවන් අහිමි වූ දෙමාපියන්ගේ ඛේදවාචකවලට සාපේක්ෂව තම වේදනාව ඉතා සුළු දෙයක් බව ය.

Oday al-Fayoume seated on his son Wadea's bed which is full of teddies
ඡායාරූප ශීර්ෂ වැකිය, වඩියාගේ පියා, ඔඩේ අල්-ෆයුමි තවමත් පසු වන්නේ කම්පනයෙනි. තම එක ම දරුවාගේ වියොවින් තැවෙන්නට හෝ ඔහුට හැකි වී නැත.

ගාසා තීරය තුළ හමාස් සංවිධානයේ පාලනය යටතේ ක්‍රියාත්මක සෞඛ්‍ය අමාත්‍යංශයට අනුව, ඊශ්‍රායලය දිගින් දිගට ම එල්ල කළ බෝම්බ ප්‍රහාරවලින් පලස්තීනුවන් 24,000කට වැඩි ගණනක් (වැඩි වශයෙන් සිවිල් වැසියන්) ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊශ්‍රායලයේ දැවැන්ත බෝම්බ ප්‍රහාර මාලාව සහ ගාසා තීරය වෙත ගොඩබිම් ආක්‍රමණය ආරම්භ වූයේ ඔක්තෝබර් 7 වන දා ඊශ්‍රායල ජාතිකයන් 1,200ක් පමණ මරා දමා 240ක් පමණ ප්‍රාණ ඇපයට ගනිමින් හමාස් සටන්කාමීන් විසින් ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙනි.

'බයෙන් ජීවත් වෙන්නේ'

යුද්ධය ආරම්භ වූ පසු, එක්සත් ජනපදයේ උපත ලැබූ ලයිලා ගාබර් ඇගේ ගෙවත්තේ 'පලස්තීනයට නිදහස දෙනු' ලෙස ලියූ පුවරුවක් ප්‍රදර්ශනය කළා ය. ඉන් ටික කලකට පසු ඇයට වෙත වෙන වෙන ම ලැබුණු ලිපි දෙකක් හරහා මරණ තර්ජන එල්ල විය. ඒවායේ සඳහන් වී තිබුණේ අදාළ පුවරුව ඉවත් කරන ලෙස ත් නොඑසේ නම් හෝ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සූදානම් වන ලෙස ත් ය.

තිදරු මවක වන ලයිලා මා හා පවසන්නේ, තමන් වෙන දා මෙන් මිනිසුන්ව තවදුරට ත් විශ්වාස නොකරන බව ය. ඇය එම ලිපි පොලිසියට භාර දී ඇති නමුත් තර්ජන පිටුපස සිටින්නේ කවුරුන් ද යන්න පිළිබඳව තවමත් තොරතුරක් හෙළි වී නොමැත.

Laila Gaber at home
ඡායාරූප ශීර්ෂ වැකිය, ලයිලා ගාබර් මරණ තර්ජන එල්ල වීමෙන් පසු බියෙන් ජීවත් වන අතර ඇගේ දරුවන්ගේ ආරක්ෂාව ගැන කනස්සල්ලට පත්ව සිටී

"මට හිතෙනවා ගෑස් ස්ටේෂන් එකේ මගේ ළඟ පෝලිමේ ඉන්න කෙනා ද ඒ කියලා. එහෙම නැත්නම් උදේ මම අත වනලා කතා කළ කෙනා ද? නැත්නම් මගේ දරුවත් එක්ක ඉස්කෝලේ ඉන්න කෙනෙක් ද?"

ඇයට ඇගේ දින චර්යාව වෙනස් කිරීමට සිදු වී ඇති අතර ඇය එයට කැමැත්තක් නොදක්වයි.

"දැනෙන ලොකු ම වෙනස තමයි මට ඕනේ වෙලාවට එළියට යන්න බැරි එක. සමහර වෙලාවට මට හිතෙනවා මෙන්න මේ මිනිහා මගෙන් පළිගන්න මගේ දරුවෙක් අරගෙන යාවි කියලා."

ඇය තම දරුවන්ට ආත්මාරක්ෂක ක්‍රම කිහිපයක් ඉගැන්වූ ආකාරය පැහැදිලි කරයි.

"මම එයාලට කිව්වේ, කවුරු හරි මට කරදර කරනවා දැක්කොත්, මාව බේර ගන්න හදන්න එපා, ගේ ඇතුළට දුවන්න කියලා," යැයි ඇය මා හා පවසන්නේ, කඳුළු සිරකරගෙන ය. "මම මෙහෙම අවිශ්වාසයෙන් ඉන්න ඕන නෑ, මම මේ වගේ බයෙන් ජීවත් වෙන්න ඕන නෑ."

එක්සත් ජනපද වැසියන් 2,400ක් අල්-කයිඩා සංවිධානය විසින් ඝාතනය කරන ලද 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු තමා මෙතරම් වෛරී ක්‍රියා අත්විඳ නැති බව ලයිලා පැහැදිලි කරයි.

"අරාබි, මුස්ලිම් හෝ හිස් ආවරණ (හිජාබය) පැළඳ සිටීම" නිසා තමන් ඉලක්කයක් බවට පත් වීම ඇයට වේදනාවකි.

සහයෝගීතාව සහ සහයෝගය

කෙසේ වෙතත්, බ්‍රිජ්වීව් සහ අවට තදාසන්න ප්‍රදේශවල පලස්තීනුවන් තනි වී නොමැත.

"චිකාගෝවල දැකලා තියෙන විශාලතම රැලි තමයි පලස්තීන හිතවාදී රැලි," මෙවැනි රැලි සංවිධානය කිරීමේදී ක්‍රියාකාරීව දායක වන එක්සත් ජනපද පලස්තීන ප්‍රජා ජාලයේ ජාතික සභාපති හැටම් අබුදියා පවසයි.

"ආසියානු, ලතින්, අප්‍රිකානු සහ ස්වදේශික ප්‍රජාවන් බොහොමයක් හැම වෙලේ ම හිටියේ පලස්තීන ජනතාවගේ පැත්තේ, " ඔහු තවදුරටත් පවසයි. "අපි ඔවුන්ගේ සහයෝගීතාව ගැන සම්පූර්ණයෙන් ම විශ්වාස කරනවා. අපේ සටන අපට තනිව ම ජයගන්න බෑ කියලා අපි දන්නවා."

A child at a Chicago rally holds a sign saying 'Save the children of Gaza'
ඡායාරූප ශීර්ෂ වැකිය, ගාසා තීරයේ යුද්ධය නතර කරන ලෙස ඉල්ලා සිටිමින් චිකාගෝහි වෙසෙන විවිධ කණ්ඩායම් දැවැන්ත රැලි පවත්වා තිබේ.

ඛලීඩ් අරාබි ආහාර අලෙවි කරන අවන්හලකට හිමිකම් කියන අතර ඔහුගේ ගනුදෙනුකරුවන්ගෙන් අඩකට ආසන්න ගණනක් ඇමෙරිකානුවන් වූ බව පවසයි. නමුත් ඔක්තෝබර් 7 ප්‍රහාරයෙන් පසු මෙම ගනුදෙනුකරුවන් පැමිණීම පහත වැටී ඔහුගේ ආදායමට දැඩි ලෙස පහර වැදී ඇත.

මා ඔහු හමුවන්නේ, ඔහු කඩිමුඩියේ මුළුතැන්ගෙයි ආහාර පිසමින් සිටින අතරතුර ය. "ඇමෙරිකන් කස්ටමර්ස්ලා දැන් මෙහේ එන්න බයයි වගේ ම අපිත් එයාලට බයයි."

මා සංවාදයේ යෙදුණු ඛලීඩ් සහ අනෙකුත් පලස්තීනුවෝ ගාසා තීරයේ ගැටුම සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ නිල ස්ථාවරය පිළිබඳව මෙන් ම තමන් දෛනික ජීවිතයේදී මුහුණ දෙන එදිරිවාදිකම් ඉහළ යාම පිළිබඳව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වෙත ද දොස් පැවරූහ. ඔවුන් විශ්වාස කරන්නේ, ඔවුන්ගේ මාධ්‍ය භාවිතය පලස්තීන විරෝධී බව ය.

"මගේ තැන, මම හරි මගේ ගනුදෙනුකරුවන් හරි වෛරයෙන් පිරිච්ච අන්තවාදියෙකුගේ ගොදුරක් වෙනවා දකින්න මට අවශ්‍ය නැහැ," ඛලීඩ් පවසයි.

Khaled in his restaurant kitchen
ඡායාරූප ශීර්ෂ වැකිය, ඛලීඩ්ගේ අවන්හල සාමාන්‍යයෙන් කාර්යබහුල වන නමුත් ඔක්තෝබර් 7 වනදා ප්‍රහාරයෙන් පසු, බොහෝ ඇමෙරිකානු පාරිභෝගිකයින් ඊට පැමිණීම අඩු කර තිබේ.

එක්සත් ජනපදයේ ප්‍රධාන මුස්ලිම් සිවිල් අයිතිවාසිකම් කණ්ඩායමක් වන ඇමෙරිකානු-ඉස්ලාමීය සබඳතා පිළිබඳ කවුන්සිලයට (CAIR) ඊශ්‍රායල-ගාසා ගැටුමේ ආරම්භයේ සිට 2023 දෙසැම්බර් 2 දක්වා උදව් ඉල්ලීම් සහ මුස්ලිම් ජාතිකයන්ට සහ පලස්තීනුවන්ට එරෙහි විරුද්ධවාදී ක්‍රියා සම්බන්ධ පැමිණිලි 2,171ක් ලැබිණි.

එම සංඛ්‍යා පෙර වසරේ එම කාලයට සාපේක්ෂව 172%ක වැඩිවීමක් පෙන්නුම් කරයි.

'වරදකාරී හැඟීමක්'

විලියම් අස්ෆර් වසර 20කට පෙර ගාසා තීරයෙන් එක්සත් ජනපදයට සංක්‍රමණය වන විට ඔහුගේ වයස අවුරුදු හතරක් වූවා පමණි.

ඔහු ඔක්තෝබර් මාසයේදී තම පවුලේ සාමාජිකයින් බැලීමට එහි යාමට නියමිතව තිබූ නමුත් ඔක්තෝබර් 7 ප්‍රහාරය සිදු වූ අවස්ථාවේ පෞද්ගලික හේතුවක් මත ඔහුගේ ගමන කල් දැමීමට ඔහු ඒ වන විටත් තීරණය කර තිබිණි.

"ජලය, විදුලිය සහ ආහාර වගේ වරප්‍රසාද එක්ක අපි ගොඩදෙනෙක් මෙහේ ඉන්න විධිය දැක්කා ම මට එන්නේ වරදකාරී හැඟීමක්," ඔහු පවසයි. "මට තියෙන්නේ මම කොහොම හරි දිවි ගලවා ගත්තා වගේ වරදකාරී හැඟීමක්."

William Asfour and his mother Etaf Asfour seated at their dinner table
ඡායාරූප ශීර්ෂ වැකිය, විලියම්ගේ මව, ඊතාෆ් අස්ෆර්, විශ්වාස කරන්නේ, ඇගේ ජීවිතය කිසි දා පෙර තිබුණු තත්ත්වයට පත් නොවනු ඇති බව ය.

විලියම්ගේ මව, ඊතාෆ් අස්ෆර්, විශ්වාස කරන්නේ, ඇගේ ජීවිතය කිසි දා පෙර තිබුණු තත්ත්වයට පත් නොවනු ඇති බව ය. ගාසා තීරයේ සිටින තම පවුලේ 200කට අධික පිරිසක් ඇයට අහිමි වූ බව පවසන මොහොතේ ඇය හඬා වැටෙන්නට විය.

"මම නින්දට ගියාට, මගේ මනස අවදියෙන්, හිත නිතර ම අහන්නේ, ඊළඟට මැරෙන්නේ කවු ද? කියලා."