ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සහස්ර පරම්පරාව (millennials) භාවිත කළ Gen Z පරම්පරාවට මග හැරුණු 'ගැජට්ස්'
- Author, තාරක සම්මාන්
- Role, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 6
ස්මාට්ෆෝන්ස්, ක්ලවුඩ් ස්ටෝරේජ්, ස්ට්‍රීමින්ග් ප්ලැට්ෆෝම්ස්... මේ කිසිදු තාක්ෂණයක් හෝ උපකරණයක් නොමැති ලෝකයක් පැවති බව ඔබට මතක ද?
මීට දශක තුනකට පමණ පෙර අප අත්විඳි තාක්ෂණික උපකරණ වර්තමානය සමග සංසන්දනය කරන බලන විට හුදු මතක ගොන්නක් පමණක් ඉතිරි කර ඇති කෞතුක භාණ්ඩ පමණක් බවට පත්ව ඇත.
80-90 දශකය යනු, තාක්ෂණ ලොව කැපී පෙනෙන ලෙස වෙනස් වූ කාලවකවානුවක් බව නොරහසකි. අපි එහි සැබෑ සාක්ෂිකරුවෝ වෙමු.
මේ, එකල අප දිවි හැඩ ගැන්වූ මෙකල මතකයක් පමණක් වූ, සහස්ර පරම්පරාව (millennials) ලෙස අප භාවිත කළ නමුත් Z පරම්පරාවට මගහැරුණු තාක්ෂණික උපකරණ කිහිපයක් ගැන කෙරෙන මතකාවර්ජනයකි.
1. Floppy Disk
එකල diskette ලෙස ද හඳුන්වූ මේ කොටු හැඩති, අද අප පරිගණක වැඩසටහන්වල දකින 'save icon' වැනි මෙම මෙවලම දත්ත ගබඩා කිරීමට මෙන් ම, පරිගණකයෙන් පරිගණකයට දත්ත හුවමාරු කිරීමට භාවිත කෙරිණි.
එම ප්‍රකාශය මෙලෙස නිවැරදි විය යුතු ය. "ෆ්ලොපි ඩිස්ක් වැනි save icon එක." මන්ද 'save icon' එක සඳහා ආභාෂය ලැබී ඇත්තේ ෆ්ලොපි ඩිස්ක් එකෙන් වීම ය.
එහි උපරිම වශයෙන් ගබඩා කළ හැකිව තිබුණේ මෙගාබයිට් 1.44 වැනි අතිශය සුළු දත්ත ප්රමාණයකි.
එය භාවිතයට පැමිණෙන්නේ 20 වන සියවසේ අගභාගයේදී චුම්බක ගබඩා මාධ්‍යයක් (magnetic storage medium) ලෙස ය.
1967 වසරේදී IBM සමාගම කැලිෆෝනියාවේ පිහිටි ඔවුන්ගේ සැන් ජෝස් පර්යේෂණාගාරයේදී, ඩේවිඩ් එල්. නොබෙල්ගේ නායකත්වයෙන් ආරම්භ කළ මිනෝ ව්‍යාපෘතියේ ප්‍රතිඵලයක් ලෙස ෆ්ලොපි ඩිස්ක් පරිගණක ලෝකයට එකතු විය.
IBM සමාගම පවසන්නේ, "කලක් සර්වසම්පූර්ණ දත්ත ගබඩා කිරීමේ උපාංගයක්" ලෙස පැවති එය "නවීන මෘදුකාංග කර්මාන්තයේ ආරම්භයට හේතු වූ" බව ය.
1990 දශකයේ මැද භාගයේ එහි උච්චතම අවස්ථාවේදී වාර්ෂිකව බිලියන 5කට වඩා ෆ්ලොපි ඩිස්ක් අලෙවි වී තිබේ.
1970 දශකයේ අගභාගය දක්වා, වචන සැකසීම (word processing) සහ ගිණුම්කරණය (accounting) වැනි කාර්යයන් සඳහා භාවිත කළ බොහෝ මෘදුකාංග යෙදුම් (software applications) පරිගණක හිමියන් විසින් ම ලියා නිර්මාණය කරන ලදී. නමුත් ෆ්ලොපි ඩිස්ක් (floppy disk) හඳුන්වාදීමත් සමග මෘදුකාංග සමාගම්වලට වැඩසටහන් නිර්මාණය කර ඒවා මෙම තැටිවල ගබඩා කර තැපෑල මගින් හෝ වෙළෙඳසල් හරහා අලෙවි කිරීමට හැකියාව ලැබුණු බව IBM සමාගම පෙන්වා දෙයි.
ෆ්ලොපි ඩිස්ක් සාමාන්‍ය ජනතාවට මිලට ගැනීමට අවස්ථාව ලැබෙන්නේ 1971 අවුරුද්දේදී ය. මුල් අවධියේදී එය අඟල් 8ක් විතර පළලින් යුක්ත වුණු අතර 70 දශකයේ අගභාගයේදී අඟල් 5.25ක් ලෙසත් 80 දශකදී එය අඟල් 3.5 ලෙසත් එය ප්‍රමාණයෙන් කුඩා විය.
අඟල් 3.5 ප්‍රමාණයේ ෆ්ලොපි ඩිස්ක් වෙළෙඳපොළට හඳුන්වා දුන් Sony සමාගම 2011 වසරේදී එම තැටි අලෙවි කිරීම නතර කිරීමට ගත් තීරණයත් සමග ක්‍රමයෙන් ඒවා අපගේ භාවිතයෙන් ඈත්වන්නට විය.
බීබීසීය 2010 වසරේ මේ සම්බන්ධයෙන් පළ කළ වර්තාවක සඳහන් වන්නේ, "'floppy' හෝ 'diskette' වල මන්දගාමී මරණය ආරම්භ වූයේ 1998දී Apple සමාගම එහි G3 iMac පරිගණකයට floppy drive එකක් ඇතුළත් නොකිරීමට තීරණය කිරීමත් සමග," බව ය.
2. Cassette Tape (කැසට් පට)
එක්සත් ජනපදය කේන්ද්‍ර කර ගත් පැරණි වීඩියෝ පට, සේයා පටල (film), ඡායාරූප සහ ශබ්ද පට වෘත්තීයමය ලෙස ඩිජිටල් ආකාරයට පරිවර්තනය කරන ආයතනයක් වන Legacybox පවසන පරිදි, කැසට් පට යනු, සංගීතය සහ ශබ්ද පටිගත කිරීම් වඩාත් පුළුල් ලෙස එකිනෙකා අතර බෙදාහදා ගැනීමට අපට හැකියාව ලබා දුන් මුල් ම තාක්ෂණයන්ගෙන් එකක් බව ය.
එය සත්‍යයකි. කැසට් පටය නිසා අපගේ ප්‍රියතම ගීත පහසුවෙන් අපත් සමග රැගෙන යාමට හැකි විය.
පළමු වරට සංයුක්ත කැසට් පටය (Compact Cassette) නිෂ්පාදනය කරන ලද්දේ 1962 අවුරුද්දේ බෙල්ජියමේදී Philips විසිනි. නමුත් එය ජනතාවට හඳුන්වා දුන්නේ ඊට 1963 වසරේදී ජර්මනියේ පැරණිතම කාර්මික ප්‍රදර්ශනවලින් එකක් වූ Berlin Radio Showහිදී ය.
ඒ වන තෙක් සංගීතයට සවන් දීම බොහෝ දුරට වයිනල් රෙකෝඩ් තැටි මත පදනම් වූ අතර, ඒවා ගමන් බිමන් යන අතරතුර පහසුවෙන් භාවිත කිරීමට තරම් සුදුසු නොවීය.
Legacybox පවසන පරිදි, කැසට් පටය මෙතරම් විප්ලවීය තාක්ෂණයක් වූයේ, ඕනෑ ම පුද්ගලයෙකුට තමන් විසින් ම ශබ්ද පටිගත කර ගැනීමට හැකියාව ලබා දුන් නිසා ය.
සංයුක්ත කැසට් පටය පැමිණීමට පෙර, reel-to-reel ශබ්ද පටිගත කිරීමේ තාක්ෂණය පැවති නමුත් එය භාවිතයට අපහසු වූ විශාල ප්‍රමාණයේ උපකරණයක් විය.
එමෙන් ම එය භාවිත කිරීමට විශේෂ පුහුණුවක් අවශ්‍ය වූ බැවින්, එහි භාවිතය බොහෝ දුරට ගුවන්විදුලි ක්ෂේත්රයේ වෘත්තිකයන්ට පමණක් සීමා වී තිබුණු බව Legacybox පෙන්වා දෙයි.
ගුවන්විදුලියේ අපගේ ප්‍රියතම ගීත වාදනය වන විට ඒවා පටිගත කර ගැනීම, නැතිනම් මිතුරෙකුගේ හෝ මිතුරියකගේ ප්‍රියතම ගීත පටිගත කර එකතුවක් (mixtape) නිර්මාණය කර ඔහුට හෝ ඇයට තෑගී කිරීම එකල බෙහෙවින් ජනප්‍රිය විය.
Sony සමාගම Walkman හඳුන්වා දීමත් සමග කැසට් භාවිතය තවත් ඉහළ ගියේය.
කැසට් පටය 1980 දශකයේදී එහි උපරිම ජනප්‍රියත්වයට ළඟා වූ නමුත්, 1990 දශකයේදී සංයුක්ත තැටි (CD) වෙළෙඳපොළට පැමිණීමත් සමග එම තාක්ෂණය ක්‍රමයෙන් අප අතරින් ගිලිහී යන්නට විය.
කෙසේ වෙතත්, වර්තමානයට වන විටත් මහා පරිමාණයෙන් නොමැති වුවත් ඇතැම් සංගීත නිර්මාණ ශිල්පීන් තම ගීත ඇල්බම කැසට් පට ආකාරයෙන් ද නිකුත් කරන අයුරු නිරීක්ෂණය කළ හැක.
3. පොයින්ට්-ඇන්ඩ්-ෂූට් කැමරා
1990 දශකයේදී පොයින්ට්-ඇන්ඩ්-ෂූට් ෆිල්ම් කැමරා (point-and-shoot) සාමාන්‍ය ජනතාව අතර ඉතා ජනප්‍රිය වූ අතර, ඡායාරූපකරණය පිළිබඳ විශේෂ දැනුමක් නොමැති පුද්ගලයන්ට පවා පහසුවෙන් ඡායාරූප ගැනීමට එය අවස්ථාව සලසා දුන්නේය.
අද සියලු දෑ ස්මාට්ෆෝන් භාවිතයෙන් සිදු කරන කරන යුගයක් බවට පත්ව ඇත. ඡායාරූප ගැනීමට බොහෝ දෙනෙකු සොයා යන්නේ ස්මාට්ෆෝන් ය. ඡායාරූපයක් ගෙන එම අවස්ථාවේදී ම එය හොඳ තත්ත්වයේ තිබේ දැයි බලා, සංස්කරණය කර, සමාජ මාධ්‍ය වේදිකා වෙත උඩුගත කර හෝ මිතුරන් අතරේ ක්ෂණිකව බෙදා ගත හැක.
නමුත් මීට වසර ගණනකට පෙර එවැනි තාක්ෂණයක් නොතිබිණි. පොයින්ට්-ඇන්ඩ්-ෂූට් ෆිල්ම් 35mm කැමරාව භාවිතයට පහසු වුවත්, ඉන් ඡායාරූපයක් ගැනීම අභියෝගාත්මක වූයේ ෆිල්ම් රෝලය අවසන් වුවහොත්, ඡායාරූප ගැනීමට නොහැකි වන බැවිනි.
එපමණක් නොව, නොසෙල්වුණු ඡායාරූපයක් ගැනීම ද කුඩා කල අප ලද ජයග්‍රහණයක් විය.
1888 අවුරුද්දේ Kodak සමාගම හඳුන්වා දුන් කැමරාවත් සමග ඡායාරූපකරණය ගැන එතරම් අවබෝධයක් නොමැති පුද්ගලයින්ට පවා පහසුවෙන් ඡායාරූප ගන්න ඉඩ සැලසිණි.
මෙම කැමරාව ඔවුන් ජනතාව අතරට රැගෙන ගියේ "You press the button, we do the rest" යන පාඨය මුල් කර ගෙන ය.
එය සරල, අතේ ගෙන යා හැකි පෙට්ටියක් ආකාරයේ කැමරාවක් විය. මෙය ඩොලර් 25කට අලෙවි කෙරුණු අතර ඡායාරූප 100ක් ගැනීමට තරම් ප්‍රමාණවත් සේයා පටලයක් ද (film) කැමරාව තුළ සීල් කර තිබී ඇත.
Britannica විශ්වකෝෂයේ සඳහන් වන පරිදි, ඡායාරූප 100 ගැනීමෙන් අනතුරුව සමස්ත කැමරාව නැවත සමාගම වෙත යවා එය සකසා, ඡායාරූප මුද්‍රණය කරගත යුතු වේ.
ඉන් වසර 12කට පසුව වෙළෙඳපොළට පැමිණි 'Kodak Brownie' කැමරාව ඡායාරූප ගනීම තවත් පහසු කළේ ය. ඒ තුළ වූ සේයා පටලය ඉවතට ගෙන පසුව නිවසේදී පවා සකසා ගැනීමේ හැකියාව තිබිණි. එම කැමරාව ඩොලර් 1 වැනි මුදලකට අලෙවි කෙරිණි.
ඒත් සමග කැමරාව රැගෙන යාමට පහසු මෙන් ම දැරිය හැකි වියදමකින් සිදු කළ හැකි දෙයක් බවට පත් විය.
60 දශකයේදී වෙළෙඳපොළට පැමිණි Kodak Instamatic කැමරාව ද ජනප්‍රිය වූ අතර පසුව 90 දශකයේදී ජනප්‍රිය වුණු 'compact film camera' විපල්වයක් වන්නට විය.
Kodak Advantix, Olympus Stylus, Canon Sure Shot, Nikon Lite Touch සහ Fujifilm QuickSnap යනු එවැනි කැමරා වර්ග කිහිපයකි.
4. Candybar Phones
නම ඇසූ පමණින් පුදුමය දනවන්නක් වුණත්, බොහෝ දෙනෙකු විශ්වාස කරන්නේ මෙම ජංගම දුරකතන සඳහා එම නාමය ලැබී ඇත්තේ එහි ඇති හැඩය නිසා බව ය.
90 දශකයේ දරුවන් අතර අතිශය ජනප්‍රිය වී පැවති මෙම ජංගම දුරකතන වර්ගය මුල් අවධියේදී හුදෙක් දුරකතන ඇමතුම් ගැනීමට සහ කෙටි පණිවිඩ හුවමාරු කර ගැනීමට පමණක් ඉඩ ලබා දුන් තාක්ෂණික මෙවලමක් විය.
1992 වසරේදී Nokia සමාගම නිෂ්පාදනය කරන ලද Nokia 101, මුල් ම ජනප්‍රිය 'candybar phones' අතරින් එකක් ලෙස පුළුල් වශයෙන් සැලකේ.
Mobile Phone Museum වෙබ් අඩවියට අනුව, Nokia සමාගමේ ජංගම දුරකතනය එහි ඇති 'චොකලට් බාර් එකක හැඩය' හේතුවෙන් 'candybar phones' ලෙස හඳුන්වීමට හේතු වී තිබේ.
අප අත්විඳ ඇති පරිදි, ලොව වඩාත් වේගයෙන් පරිමාණය වූ තාක්ෂණික මෙවලමක් ලෙස ජංගම දුරකතන හැඳින්විය හැක.
වර්ණ තිර, කැමරා, මියුසික් ප්ලේබැක්, ඉන්ටර්නෙට් ආදි අති විශාල විශේෂාංග ගණනක් මෙම දුරකතනවලට එක් විය.
එතැන් සිට 2007 අවුරුද්දේදී පළමු iPhone ස්මාට් දුරකතනයත් 2008 අවුරුද්දේ පළමු Android ස්මාට් දුරකතනයත් හඳුන්වා දීම ජංගම දුරකතන ලෝකය උඩුයටිකුරු කළේ ය.