2026 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල: ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු 3ක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images/Facebook
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 5
2026 පොදුරාජ්‍ය මණ්ඩල මලල ක්‍රීඩා උළෙලට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් කිහිප දෙනෙක් සුදුසුකම් ලබා සිටිති.
එලෙස සුදුසුකම් ලබා සිටින උපමාලි රවිහාරි ගුණතිලක, සන්දු ජයවර්ධන සහ නදීෂා දිල්හානි ලේකම්ගේ යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ සටහනකි, මේ.
රවිහාරි ගුණතිලක
2026 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් පළමු වරට සුදුසුකම් ලැබූ ක්‍රීඩිකාවන් අතරට බර ඉසිලීමේ ක්‍රීඩිකා උපමාලි රවිහාරි ගුණතිලක ද ඇතුළත් වේ.
පොළොන්නරුව පුරවරයෙන් බිහි වී ජාත්‍යන්තරය ජය ගත් බර ඉසිලීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර 23 හැවිරිදි උපමාලි ද කැපී පෙනෙන ක්‍රීඩිකාවකි.
ඇය, මැදිරිගිරිය, යුදගනාව ප්‍රදේශයේ දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා ය.
ස්ථීර රැකියාවක් නොමැති ඇගේ දෙමව්පියන් ඇය සහ සහෝදර සහෝදරියන් හදාවඩා ගත්තේ දැඩි ආර්ථික ගැටලු මධ්‍යයේ යි.
ඇය මූලික අධ්‍යාපනය ලැබුවේ යුදගනාව මහා විද්‍යාලයෙනි.
එහෙත්, ඇය බර ඉසිලීමේ ක්‍රීඩාවට යොමු වූයේ පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වීමෙන් අනතුරුව ය. ඇගේ මුල් ම පුහුණුකරු වන්නේ, ඩන්කන් ලසන්ත ජයසිංහ ය.
උපමාලි පළමු වරට සමස්ත ලංකා පාසල් බර ඉසිලීමේ තරගාවලියට සහභාගී වූයේ, 2015 වසරේදී ය.
ඇය එම වසරේ සිට වසර 5ක් සමස්ත ලංකා පාසල් බර ඉසිලීමේ තරගාවලියේදී පදක්කම් දිනා තිබේ.
උපමාලි මෙවර පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබුවේ, පසුගිය වසරේ ඉන්දියාවේ පැවති පොදුරාජ්‍ය මණ්ඩල බර ඉසිලීමේ ශුරතාවලියේදී සහ මෙම වසරේදී ඉන්දියාවේදී ම පැවති ආසියානු බර ඉසිලීමේ ශූරතාවලියේදී ප්‍රදර්ශනය කළ දක්ෂතා හේතුවෙනි.
මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිරීමේ තරගාවලියට සහභාගී වී උපරිම දක්ෂතා දක්වමින් මව් රටට කීර්තියක් අත්කර දීම උපමාලිගේ අරමුණ වී තිබේ.
සන්දු ජයවර්ධන
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
2026 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට බර ඉසිලීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන තවත් ක්‍රීඩකයෙකු වන්නේ, කිලෝ ග්‍රෑම් 65 බර පන්තියෙන් තරග කරන සන්දු ජයවර්ධන යි.
2002 වසරේ ජූලි 9 වන දා කුරුණෑගලදී උපත ලද ඔහු හැදී වැඩුණේ, තම සීයාගේ සහ මිත්තණියගේ රැකවරණය යටතේ ය.
පවුලේ එක ම දරුවා වන ඔහුට පියාගේ රැකවරණය අහිමි වී ඇති අතර මව විදෙස්ගතව රැකියාවක නිරත වන්නී ය.
ගල්ගමුව යූ.බී. වන්නිනායක ජාතික පාසලේ අධ්‍යාපනය ලැබූ සන්දු, බර ඉසිලීමේ ක්‍රීඩාවට යොමු වූයේ 8 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබද්දී ය.
2017 වසරේදී පළමු වරට සමස්ත ලංකා පාසල් බර ඉසිලීමේ තරගාවලියට ඔහු සහභාගි විය.
ඉන් වසරකට පසුව සමස්ත ලංකා පාසල් බර ඉසිලීමේ තරගාවලියේදී කිලෝ ග්‍රෑම් 55 බර පන්තියේ රන් පදක්කම දිනා ගැනීමට ඔහු සමත් විය.
2021 වසර දක්වා පාසල් තරග බිමේ සමස්ත ලංකා මට්ටමේ සහභාගි වූ සියලු තරගවලදී රන් පදක්කම් දිනා ගැනීමට ඔහුට හැකි විය.
සන්දු, පළමු වරට බර ඉසිලීමේ ජාතික ශූරතාවලියකට සහභාගි වූයේ, 2022 වසරේදී ය.
ඉන් අනතුරුව සහභාගි වූ සෑ ම ජාතික ශූරතාවලියකදී ම ඉහළ දක්ෂතා ප්‍රදර්ශනය කරමින් රන් පදක්කම් දිනා ගැනීමට ඔහුට හැකි විය.
2024 වසරේදී රුසියාවේ පැවති ජාත්‍යන්තර තරගාවලියකට සහභාගි වූ සන්දු, තම බර පන්තියේ රිදී පදක්කමට හිමිකම් කීවේ ය.
2025 ජාතික බර ඉසිලීමේ ශූරතාවලියේදී කිලෝග්‍රෑම් 65 බර පන්තියෙන් තරග කළ ඔහු එහි රන් පදක්කම දිනා ගත්තේය.
සන්දුට, පළමුවරට පොදුරාජ්‍ය මණ්ඩල වරම් හිමි වන්නේ මෙම වසරේදී ය.
2025 වසරේ ඉන්දියාවේ පැවති පොදුරාජ්‍ය මණ්ඩල බර ඉසිලීමේ ශූරතාවලියේදී සහ මෙම වසරේදී ඉන්දියාවේදී ම පැවති ආසියානු බර ඉසිලීමේ ශූරතාවලියේදී ප්‍රදර්ශනය කළ දක්ෂතා හේතුවෙන් ඔහු පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබී ය.
නදීෂා දිල්හානි ලේකම්ගේ
2026 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් ලැබූ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරට හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් තරග කරන නදීෂා දිල්හානි ලේකම්ගේ ක්‍රීඩිකාව ද ඇතුළත්ව සිටී.
1987 වසරේ ජනවාරි 14 වන දා ඇහැළියගොඩදී උපත ලද නදීෂාගේ ක්‍රීඩා කුසලතා ඉහළ නැංවීමට කුලී රැකියාවල නිරත වූ දෙමව්පියෝ දැඩි පරිශ්‍රමයක් දැරූහ.
නදීෂා, මලල ක්‍රීඩාවලට යොමු වූයේ, පරකඩුව නාරද මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේදී ය.
මුල් කාලයේදී ධාවන තරග ඉසව්වලට සහභාගි වූ ඇය, හෙල්ල විසි කිරීම ඉසව්වෙන් දක්ෂතා ඔප් නංවා ගත්තේ, ඇරේපොළ මහින්ද මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමට පැමිණීමෙන් පසුව ය.
ඇය නෙට්බෝල් ක්‍රීඩාවේ නිරත වන ආකාරය දුටු ක්‍රීඩා භාර ආචාර්යවරයා, ඇගේ විසි කිරීමේ දක්ෂතා පිළිබඳව කිසියම් තක්සේරුවකට පැමිණියේ ය.
ඔහු පැවසුවේ, නදීෂා හෙල්ල විසිකිරීම වැනි ඉසව්වකට යොමු වීම වඩා ඵලදායී බව තමන් අවබෝධ කර ගත් බව ය.
ඔහුගේ උපදෙස් මත නදීෂා හෙල්ල විසි කිරීමේ ඉසව්ව තෝරා ගත්තා ය.
ඇය හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියකට පළමු වරට සහභාගී වූයේ, වයස අවුරුදු 15 වෙන් පහළ කාණ්ඩයෙනි.
නදීෂා එහිදී රිදී පදක්කම දිනා ගත්තා ය.
ඉන් අනතුරුව සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලි රැසකදී ම තම වයස් කාණ්ඩයේ වාර්තාවක් ද පිහිටුවමින් රන් පදක්කම් දිනා ගැනීමට ඇය සමත් වූවා ය.
ජාතික මහා ක්‍රීඩා උළෙල රැසකදී ද නදීෂා ඉහළ දස්කම් ප්‍රදර්ශනය කළා ය.
තම පළමු විදෙස් තරග සංචාරයේදී ම දෙවන ස්ථානය ලබා ගැනීමට නදීෂා සමත් වූවා ය.
2011 වසරේදී මැලේසියාවේ විවෘත මලල ක්‍රීඩා තරගාවලියකට සහභාගි වූ ඇය එහි දෙවන ස්ථානය හිමි කර ගත්තා ය.
2013 ආසියානු ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ නදීෂා එහි තුන් වන ස්ථානය දිනා ගත්තා ය.
ඉන්දියාවේ සත්කාරකත්වයෙන් 2017 වසරේ පැවති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසි කිරීම කාන්තා ඒ ඉසව්වේ අනුශූරතාව හිමි වූයේ ද නදීෂාට ය.
එම වසරේදී ම දකුණු කොරියාවේ පැවති ආසියානු ආරාධිත මලල ක්‍රීඩා ශූරතාවලියේදී ඇය හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තා ය.
2018 වසරේදී ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නුවර පැවති පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී පදක්කමක් හිමි නොවුව ද පස් වන ස්ථානය තහවුරු කර ගැනීමට නදීෂා සමත් වූවා ය.
2019 වසරේදී නේපාලයේ කත්මණ්ඩු නුවර පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ කාන්තා ඉසව්වේ ශූරිය බවට පත් වූයේ ද නදීෂා ය.
තායිලන්තයේ සත්කාරකත්වයෙන් 2023 වසරේ පැවති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ඇය හෙල්ල විසි කිරීම කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තේ නව ශ්‍රී ලංකා වාර්තාවක් ද පිහිටුවමිනි.
2023 වසරේදී චීනයේ පැවති ආසියානු ක්‍රීඩා උළෙලේදී හෙල්ල විසි කිරීම කාන්තා ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට නදීෂාට හැකි විය.
එවර ද ඇය ශ්‍රී ලංකා වාර්තාව නැවත වරක් බිඳ දැමීමට සමත් වූවා ය.
නදීෂා, 2024 වසරේදී ප්‍රංශයේ පැරිස් නුවර පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කළා ය.
එම ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීම කාන්තා ඉසව්වේ ශ්‍රේණිගත කිරීම් අනුව 26 වන ස්ථානය ඇයට හිමිවිය.
මෙම වසරේ පැවති තේරීම් තරගවලදී ප්‍රදර්ශනය කළ දක්ෂතා හේතුවෙන් එළැඹෙන පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට සහ ආසියානු ක්‍රීඩා උළෙලට ඇය සුදුසුකම් ලබා ගත්තා ය.
ඇය මේ දිනවල ප්‍රදීප් නිශාන්ත පුහුණුකරු යටතේ පුහුණුවීම්වල නිරත වේ.


































