සුලබ දෘෂ්ඨි මායාව: ඔබ යමක් ගැන සිතූ විට එය සෑම තැනකම පෙනෙන්නට පටන්ගන්නවා ද?

Blue toy car

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සුලබ දෘෂ්ඨි මායාව පිළිබඳ සරල උදාහරණයක් නම්, ඔබ වාහනයක් මිලදී ගැනීම ගැන සලකා බලන අවස්ථාවක දී, හදිසියේ ඔබ කිසියම් නිශ්චිත මොඩලයක හෝ වර්ණයක මෝටර් රථ බහුලව දැකීමට පටන් ගැනීම යි
Published

යමෙකු නිල් පැහැ මෝටර් රථයක් මිලට ගත්බව ඔබට පැවසූ පසු, එම වර්ණයේ මෝටර් රථ හැමතැනක දීම පෙනෙන්නට පටන්ගත් අත්දැකීමක් ඔබටත් තිබේ ද?

ඇතැම් විට, ඒ දිනවල එම වර්ණය සියල්ලන් අතර ම ජනප්‍රියත්වයට පත්ව ඇතැ යි ඔබ සිතුවා විය හැකි ය. ඔබ ඒ පිළිබඳව මිතුරන් සමග අදහස් බෙදාගත්තා ද විය හැකි ය.

කෙසේ වෙතත්, විය හැකි දෙය නම්, කොහොමත් ඔබේ නගරයේ එම වර්ණයෙන් යුත් මෝටර් රථ සමාන ගණනක් ඔබ නොදැනුවත්ව ම තිබුණා විය හැකිවීම ය.

මෙම සංසිද්ධිය 'සුලබ දෘෂ්ඨි මායාව' (frequency illusion) ලෙස හඳුන්වනු ලබන අතර, ඉතා සුලබ සංසිද්ධියකි.

එය සෑම කෙනෙකුට ම ඔවුන්ගේ ජීවිතයේ යම් අවස්ථාවක හෝ බලපානු ඇති අතර, මෑතක දී ඔබට වැදගත් වූ ඇතැම් දේ කෙරෙහි අවධානය යොමු කිරීමට පටන්ගත් විට එය සිදුවෙයි.

හරියටම ඒ කුමක් ද?

මෙම සංකල්පය 'බාඩර්-මයින්හොෆ් සංසිද්ධිය' (Baader-Meinhof phenomenon) ලෙස ද හැඳින්වෙන අතර, එය මතකයට සම්බන්ධකම් කියයි.

මෙයට 'බාඩර්-මයින්හොෆ් සංසිද්ධිය' යන නම යොදාගනු ලැබ ඇත්තේ 1994 වසරේ දී ජර්මානු ඔන්ලයින් සංසදයක පරිශීලකයෙකු විසිනි. වරක්, 1970 ගණන්වල පැවති, 'රතු හමුදා පිල' හෙවත් ජර්මානු ත්‍රස්තවාදී කණ්ඩායමේ (එහි ප්‍රධාන නායකයින් දෙදෙනෙකුගේ වාසගම් නිසා එය 'බාඩර්-මයින්හොෆ්' ලෙස ද හැඳින්විණි) නම සඳහන් කිරීමෙන් පසු ඔහු එම නාමය බොහෝ තැනකදී දුටුබව ඔහු අදාළ සංසදයේ දී සඳහන්කොට තිබුණි.

මෙය අනෙකුත් පරිශීලකයින්ට ද මෙම සංසිද්ධිය පිළිබඳ ඔවුන්ගේ අත්දැකීම් බෙදාගැනීමට හේතුවිය. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම නමට පිළිගැනීමක් ලැබී, අවසානයේ එය එම නමින්ම ප්‍රසිද්ධියට පත් විය.

එහෙත් එය අලුත් සංසිද්ධියක් නොවීය. එය අප වෙන් වෙන්ව ගත්කල අපගේ මොළ ක්‍රියා කරන ආකාරය සමග සැම විට ම සම්බන්ධවී තිබූ දෙයකි.

Illustration of the brain

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම සංසිද්ධියේ මූලයන් පවතින්නේ, ජීවී විශේෂයක් ලෙස අපගේ පරිණාමය තුළ ය

"ඔබ යමක් ගැන දැනගත්තා කියමු. එතකොට ඒක නිතර නිතර පේන්න පටන්ගන්නවා," මනෝවිද්‍යාව සහ ජීව විද්‍යාව පිළිබඳ හාවර්ඩ් උපාධිධාරිනියක වන ආචාර්ය නේහා පාතක්, සෞඛ්‍ය තොරතුරු අඩංගු WebMD නමැති වෙබ් අඩවියේ පළ කළ ලිපියකින් පැහැදිලි කරයි.

"මුලින්ම වෙන්නේ, යමක් නිතර නිතර පේනවා කියලා ඔබ විශ්වාස කරන එක. එතකොට, ඒ වචනය වෙන්න පුළුවන්, සංකල්පය හෝ වෙනත් දෙයක් වෙන්න පුළුවන්, දැන් වගේ නෙවෙයි, මීට කලින් එච්චර වාරයක් පෙනුනේ නෑ කියලා ඔබ විශ්වාස කරන්න පටන්ගන්නවා. ඒක සුලබ දෘෂ්ඨි අගතිය (confirmation bias) කියලා හඳුන්වනවා. ඇත්තට ම ඒ වාර ගණන වැඩි වෙලා නැහැ, නමුත් ඔබේ මොළය ඔබට ඒත්තු ගන්වනවා ඒක එහෙම වෙලා කියලා," ඇය සඳහන් කරයි.

මෙතැන දී මොළය තුළ සිදුවන්නේ කුමක් ද?

2005 වසරේ දී "frequency illusion" යන යෙදුම ප්‍රථම වරට නිර්මාණය කළ, ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයයේ වාග් විද්‍යාව පිළිබඳ මහාචාර්ය ආර්නල්ඩ් ස්විකීට අනුව, මෙම සංසිද්ධිය සුප්‍රසිද්ධ මනෝවිද්‍යාත්මක ක්‍රියාවලීන් දෙකක ප්‍රතිඵලයකි.

එක් අතකින් 'වරණීය අවධානය' ක්‍රියාත්මක වන අතර, එමඟින් යම් මොහොතක දී අපට වැදගත් දෑ කෙරෙහි අවධානය යොමු කර ඉතිරිය ඉවත දමයි. වරණීය අවධානය අපගේ ඉගෙනීම හා සම්බන්ධ ප්‍රධාන ක්‍රියාවලියකි.

අනෙක් අතට, 'සුලබ දෘෂ්ඨි අගතිය' ඒ මොහොතේ අප සිතන දෙයට අනුබල දෙන තවත් දෑ සොයා බැලීමට අප පොළඹවයි: නිල් පැහැති මෝටර් රථ වැඩි වශයෙන් දැකීමෙන්, මේවා වඩා ත් සුලබබව අපි විශ්වාස කරන අතර, එමඟින්, මෙම වර්ණයේ මෝටර් රථ බහුලබවට වන අපගේ විශ්වාසය තවදුරටත් තහවුරු කෙරෙයි.

ලෝකය ක්‍රියා කරන ආකාරය පිළිබඳ පැහැදිලි කිරීම් සෙවීමට මිනිසා හුරුව සිටින නිසාත්, අප සොයාගන්නා දෙයට අප අනුගත වන නිසාත්, සුලබ දෘෂ්ඨි අගතිය නිසා පොදුවේ 'සංජානන අගතීන්' [තර්කනයෙන් තොරව නිගමනවලට එළඹීම] ලෙස හැඳින්වෙන දෑ ද ඇතිවිය හැකි ය.

Brain scan

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සංජානන නැඹුරුව යනු, අපගේ තීරණවලට බලපාන අපගේ චින්තනයේ සහ සංජානනයේ මනෝමය 'ෂෝට්කට්' වන අතර, පවතින තොරතුරු මතිග්‍රාහී ලෙස අර්ථකථනය කිරීම හේතුවෙන් අපට විකෘති ආකාරයෙන් සිතීමට සලස්වයි
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මේ ආකාරයෙන්, මෙම මායාව එක් එක් පුද්ගලයාගේ මොළය වෙන් වෙන් වශයෙන් ක්‍රියා කරන ආකාරය සමග සම්බන්ධ වේ.

"සුලබ දෘෂ්ඨි මායාව සෑම කෙනෙකුට ම සිද්ධ නොවුණත්, එහෙමත් නැත්නම් ඒක අපිට සිද්ධ වුණා කියලා අපිට මතක නැති වුණත් - මොක ද ඒක සිද්ධවෙන්න නම් අපිට ඒක වෙනවා කියල අපි දැනගෙන ඉන්න ඕනේ නැති නිසා - ඒකෙ පරිණාමීය වශයෙන් වැදගත්කමක් තියෙනවා," සමාජ මනෝවිද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිධාරිනියක සහ සායනික මනෝවිද්‍යාඥවරියක වන ජොආනා රියේරා බීබීසීයට පැවසීය.

"මේකට, ජීවී විශේෂයන්හි පැවැත්මට සම්බන්ධ පරිණාමීය සාධක තියෙන නිසා, ඒක සාමාන්‍ය ජනගහණයකින් විශාල පිරිසක් තුළ සිදුවීම සාමාන්‍ය දෙයක්. තවත් දෙයක් තමයි අපි දැනුවත්ව ඉන්න එක," Psychology and Mind යන වෙබ් අඩවියේ පුහුණු අධ්‍යක්ෂවරිය ද වන ඇය පැහැදිලි කරයි.

අපට සංජානනය කිරීමේ හැකියාවක් ඇත. ඉන් අදහස් වන්නේ, අපට එක් වරකට අවධානය යොමුකළ හැකිවන්නේ සීමිත සිදුවීම්/ තොරතුරු ප්‍රමාණයකට පමණක් බැවින්, අපගේ මොළය සියලු බාහිර උත්තේජක කෙරෙහි එකසේ අවධානය යොමු නොකරන බව ය. එසේ නොවුණහොත් අපට අපගේ පරිසරයට අනුවර්තනය වීමට නොහැකි වනු ඇත.

'සංජානනය' ලෙස හැඳින්වෙන මෙම ක්‍රියාවලිය හරහා, අපි අපගේ ඉන්ද්‍රියයන් ඔස්සේ ඇතැම් තොරතුරු (ශ්‍රව්‍ය, දෘශ්‍ය, රස ආදී දෑ) ග්‍රහණය කර ඒවා පිරිසකසන්නෙමු.

"අපි නිශ්චිත උත්තේජනයක් කෙරෙහි දැඩි අවධානයක් යොමු කරද්දී, [එහෙම වෙන්න හේතුව තමයි,] එක්කෝ අපි මෑතක දී ඒ වගේ දේකට නිරාවරණය වෙලා ඒක සිත්ගන්නාසුළු දෙයක් බවට පත් වෙලා තියෙනවා, එක්කො මානසික වශයෙන් අපිව සක්‍රිය කරන තීව්‍ර වර්ණයක් හෝ දෙයක් නිසා බලපෑමට ලක් වෙලා තියෙනවා, එහෙමත් නැත්නම් මෑතක දී එක ම දෙයක් වෙත අපි නැවත නැවතත් නිරාවරණය වෙලා තියෙනවා; මේක අපේ සංජානනය ඒ ආකාරයේ උත්තේජක සඳහා වඩා ත් විවෘත කරනවා," පරිණාමීය ක්‍රියාවලි පිළිබඳ විශේෂඥවරිය පැහැදිලි කරයි.

A woman singing with a racquet as a guitar

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මීට තවත් සරල උදාහරණයක් නම්, ඔබගේ නව ප්‍රියතම ගීතය නිකුත්වී යම් කාලයක් ගතවී තිබුණත්, එය ඔබගේ මනසේ තිබෙන නිසා ඔබ එය සෑම තැනකම ඇසීමට පටන්ගැනීමෙන්, එය කෙසේ හෝ යළි ජනප්‍රිය වී ඇතැ යි ඔබට සිතෙයි

මක් නිසා ද යත්, බොහෝ විට ඒ මොහොතේ අපගේ මොළය ග්‍රහණය කරගන්නේ එම උත්තේජනය අපට වැදගත්බව යි. එය අපට වැදගත් බැවින්, ඒ හා සමාන උත්තේජකයක් දුටු විට - එය රතු පැහැති මෝටර් රථයක් වේවා, යම් වෙළෙඳ නාමයක් යටතේ ඇති නිල් පැහැති මෝටර් රථයක් වේවා, වෙනත් ඕනෑ ම ආකාරයක උත්තේජකයක් වේවා - අපගේ මොළය ඒ කෙරෙහි අවධානය යොමු කරයි.

"සුලබ දෘෂ්ඨි මායාවට, මොළයේ පාර්ශ්වකපාල කණ්ඩිකාවේ ඇති අවකාශය හා සම්බන්ධ සංජානනය වැනි ක්‍රියා සිදුවන ස්ථානය වැනි විවිධ ප්‍රදේශ සමග සම්බන්ධ වෙනවා. නමුත් ඒ වගේම ලිම්බික් පද්ධතියටත් ඒ හා සම්බන්ධව වැදගත් කාර්යභාරයක් ඉටු කරන්න පුළුවන්. උදාහරණයක් විදියට, මතකය හා සම්බන්ධ වන හිපොකැම්පස ව්‍යුහයන් හෝ බිය හා සම්බන්ධ සම්බන්ධ වන ඇමිග්ඩලා කොටස දක්වන්න පුළුවන්," මෙම ස්පාඤ්ඤ විශේෂඥවරිය පවසයි.

මේ ආකාරයට, ඕනෑම මොහොතක දී එම නිශ්චිත උත්තේජකයට වැඩි අවධානයක් එක් කිරීමෙන් එම සුලබ දෘෂ්ඨි මායාවට චිත්තවේගීය ප්‍රතිචාර සම්බන්ධ කළ හැකි අතර, සෑම කෙනෙකු ම එක ම උත්තේජකයකට සහ වස්තුවකට එක ම ආකාරයකින් ප්‍රතික්‍රියා නොකරන්නේ මන්දැ යි එමඟින් පැහැදිලි වෙයි.

උදාහරණයක් ලෙස, මා ගැබිනි කාන්තාවක දැක අනතුරුව දිගින් දිගට ම ගැබිනි කාන්තාවන් දකින්නේ නම්, ඒ, එය එම නිශ්චිත මොහොතේ මගේ ජීවිතයේ මට ඉතා වැදගත් දෙයක් වන නිසා විය හැකි ය.

"ඒක චිත්තවේගීය අංශ හා සම්බන්ධ, ඒ වගේම සංජානනීය ක්‍රියාවලියක්. සමහර විට මම දරුවෙකු අහිමි වුණු කෙනෙක් කියමු, නැත්නම් මට ආයෙත් දරුවෙක් හදන්න ඕනේ, එහෙමත් නැතිනම් මම දැනටත් ගර්භනී වෙන්න පුළුවන්. ඉතින් ඒ නිශ්චිත මොහොතේ ඒක මට වැදගත් දෙයක්," රියේරා පවසයි.

An illustration of a brain and a computer

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම සංසිද්ධිය, 'මනෝඅලෙවිකරණයේ' දී මිනිසුන් පෙළඹවීමේ මෙවලමක් ලෙස භාවිතා කළ හැකි ය

අපට හමුවන උත්තේජක වර්ගය අනුව මොළයේ විවිධ ප්‍රදේශ සුලබ දෘෂ්ඨි මායාවේ එක් එක් කාර්යයන් ඉටු කරන අතර, එය අප එකිනෙකාට වෙනස් ප්‍රතිචාර දැක්වීමට හේතු වන බව මෙයින් අදහස් වෙයි.

"ඒක මනෝවිද්‍යාවේදී කතා කෙරෙන ඉතා මූලික කාරණාවක්: අපට හමුවන වස්තුව හෝ ද්‍රව්‍යය අපගේ සංජානන ප්‍රතිචාරය තීරණය කරන්නේ නෑ. මේ අවස්ථාවේ දී ඒ සුලබ බව කියන කාරණය. යම් වස්තුවක් සමග ඉස්මතුවන සංජානන පක්ෂග්‍රාහී හෝ අතාර්කික විශ්වාසයන් තියෙනවා. නමුත් ඒ විශ්වාසය ඇති කරන්නේ වස්තුව නොවෙයි. අපි තමයි අපේ සමස්ත චිත්තවේගීය පද්ධතිය හරහා, අප දේවල් දකින ආකාරය අනුව සුලබ දෘෂ්ඨි මායාව වැනි දේවල් ඇති කරන්නේ."

මොළයට ඍණාත්මක බලපෑමක් නැත

"මම නිල් කාර් ගොඩක් දකිනවා නම්, ඇත්ත වශයෙන් ම නිල් කාර් සෑම තැනක ම තියෙනවා කියලා මම උපකල්පනය කරලා නිගමනයකට එනවා කියමු. සුලබ දෘෂ්ඨි මායාව වැනි ඇතැම් සංජානනීය වෙනස්කම් ඇති කරන බොහෝ නැඹුරුතා ඇති වන අවස්ථාවල පදනම ඒක," බව රියේරා පැහැදිලි කරන්නේ, මෙම සංසිද්ධිය පුද්ගලයෙකුට ඔහු සිටින පරිසරයට අනුවර්තනය වීමට උපකාර කරන ආකාරයේ වැදගත්කම ද ඉස්මතු කරමිනි.

"උදාහරණයක් විදියට, මම මෑතක දී නරක්වෙච්ච පළතුරක් කාලා මට අසනීප ගතියක් දැනෙනවා නම්, මේක නිතර සිද්ධ වෙන දෙයක් ද කියලා නිරීක්ෂණය කරන්න මම අවමයෙන් දින කිහිපයක්වත් ගත කරාවි, නැත්නම් ඒක අත්විඳ ඇති වෙනත් අය එක්ක කතා කරාවි. මගේ මොළය කරන දේ තමයි, භයානක තත්ත්වයකට අනුවර්තනය වෙන එක. ඒ නිසයි ඒක වැදගත්."

"මතිග්‍රාහයෙන් තීරණ ගන්න එක සැමවිට ම නරක දෙයක් වෙන්න ඕනේ නෑ. සමහර විට අපගේ පරිසරයට අනුවර්තනය වීමට සහ නොනැසී පැවතීමට අපට උපකාර කරන්න ඒක අවශ්‍ය වෙනවා," ඇය තවදුරටත් පවසයි.

රථ වාහන අනතුරක් අත්විඳීම වැනි කම්පනසහගත සිදුවීම් සමග සම්බන්ධ වී නොමැති නම්, එය සාමාන්‍යයෙන් ඍණාත්මක බලපෑමක් ඇති නොකරයි.

මෙම විශේෂඥවරියට අනුව, උදාහරණයක් ලෙස, එවැනි අවස්ථාවක දී එය පශ්චාත් කම්පන ආතතියට සම්බන්ධ ආබාධයක රෝග ලක්ෂණයක් ලෙස පැමිණිය හැකි නමුත්, සැමවිටම එය යමෙකු යම් ආකාරයක ගැටලුවක හෝ අපහසුතාවක පසුවන බව අදහස් නොකරයි.