Port Cityහිදී පැහැර ගැනුණු චීන ජාතිකයෙකුගේ ඝාතනය ගැන බීබීසීයට මෙතෙක් අනාවරණය වූ කරුණු

ඡායාරූප මූලාශ්‍රය, Provided
ඊයේ (ජූලි 23) අලුයම් කාලයේදී වරාය නගරයේදී (Port City) පැහැරගෙන ගොස් ඝාතනය කෙරුණු චීන ජාතිකයා සම්බන්ධයෙන් වූ ඉදිරි විමර්ශන කොළඹ වරාය පොලිසිය සහ ඇහැළියගොඩ පොලිසිය මගින් සිදුකරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පවසයි.
මෙම මනුෂ්‍ය ඝාතනයට සම්බන්ධ බවට සැකපිට තවත් චීන ජාතිකයින් දෙදෙනෙකු ඊයේ (ජූලි 23) සවස කටුනායක ගුවන් තොටුපළ හරහා විදේශගත වීමට සූදානම් වීමේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා බීබීසී සිංහල වෙත පැවසුවේ ය.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ, කොළඹ අපරාධ කොට්ඨාසය, වරාය පොලිසිය සහ ඇහැළියගොඩ පොලිසිය මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකරමින් සිටින බව ය.
චීන ජාතිකයින් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් සිදුවූ මෙම මනුෂ්‍ය ඝාතනය සහ පුද්ගල පැහැර ගැනීම් පිළිබඳ සිදුවීම සම්බන්ධයෙන් බීබීසී සිංහල කරුණු සොයා බැලීමක් කළේ ය.
පෝට් සිටිහිදී සිදුවූයේ කුමක් ද?
පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ. වුට්ලර් පැවසුවේ, ඊයේ (ජූලි 23) අලුයම 2.00ට පමණ කොළඹ වරාය නගරයේ පිහිටි පාලම මතට මාළු ඇල්ලීමට කැබ් රථයකින් චීන ජාතිකයින් තිදෙනෙකු පැමිණ සිටි බවත්, ඔවුන් ඉලක්ක කරමින් තවත් චීන ජාතිකයින් පිරිසක් ප්‍රහාරයක් එල්ල කර පැහැරගෙන යාමක් සිදු කර ඇති බවත් ය.
'පාන්දර දෙකට විතර කොළඹ පෝට් සිටි එකේ පාලම උඩට කැබ් එකකින් ආපු චීන ජාතිකයින් තුන්දෙනෙක් මාළු අල්ලගෙන ඉන්නකොට තවත් වාහන දෙකකින් චීන ජාතිකයින් පිරිසක් එතනට ඇවිත් තියෙනවා. පස්සේ මාළු අල්ලගෙන හිටිය චීන ජාතිකයින් තුන්දෙනාට අර වාහන දෙකෙන් ආව චීන ජාතිකයින් පිරිස පහර දීලා තියෙනවා. ඊට පස්සේ ඒ අය ආව එක වෑන් එකක් පෝට් සිටි එකේ ම අත ඇරලා අනිත් වාහනෙන් මාළු අල්ලන් හිටිය චීන ජාතිකයින් තුන්දෙනාව පැහැරගෙන ගිහින් තියෙනවා. ඒ වගේ ම මේ පිරිස ආව බවට සැකකෙරෙන වෑන් රථයේ තිබිලා පිස්තෝලයක් හම්බ වෙලා තියෙනවා. ඒ ගැනත් විමර්ශනය කරනවා," ඔහු පැවසුවේ ය.
මේ අතර, මෙම සිදුවීමෙන් අනතුරුව පැහැරගෙන ගිය චීන ජාතිකයින් තිදෙනාගෙන් දෙදෙනෙකු කොළඹ නගරය තුළදී ම අතහැර දමා ගොස් තිබූ බවත්, ඔවුන් මේ වන විට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය.
"පැහැරගෙන ගිය චීන ජාතිකයින් තුන්දෙනාගෙන් දෙන්නෙක් කොළඹ නගරය ඇතුළේදී ම අත ඇරලා ගිහින් තියෙනවා. පස්සේ මේ අය දැන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළු වෙලා ප්‍රතිකාර ලබමින් ඉන්නවා," ඔහු පැවසීය.

කැළයකින් හමුවූ මළසිරුර
නීතිවිරෝධී මත්පැන් වැටලීම සඳහා ගිය ඇහැළියගොඩ පොලිසියේ නිලධාරී කණ්ඩායමකට ඊයේ (ජූලි 23) කැළෑබද ප්‍රදේශයක සැකකටයුතු ගල් ගොඩක් තුළ සඟවා තිබූ පුද්ගල මළසිරුරක් හමුවී තිබිණි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් කියා සිටියේ, එලෙස හමුවූ පුද්ගල මළසිරුර පැහැරගෙන ගිය චීන ජාතිකයාගේ බවට පොලිසිය කරුණු අනාවරණය කරගෙන ඇති බව ය.
"ඇහැළියගොඩ, කරඳන කියන ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් ජාවාරමක් වටලන්න ගියපු පොලිසියේ කණ්ඩායමකට සැකකටයුතු විදිහට ගොඩ ගහපු ගල් ගොඩක් දැකලා ඒ ගැන විමර්ශනය කරලා බලද්දී ඒකෙ ඇතුළේ හංගලා තිබ්බ පුද්ගල මළසිරුරක් හම්බ වෙලා තිබුණා. පස්සේ ඒ ගැන වැඩිදුර කරුණු හොයලා බලද්දී ඒ කොළඹ පෝට් සිටි එකෙන් පැහැරගෙන ගියපු චීන ජාතිකයාගේ සිරුර කියලා අනාවරණය වුණා," ඔහු පැහැදිළි කළේ ය.
සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මේ අතර, කොළඹ වරාය නගරය තුළදී සිදුවූ පුද්ගල පැහැරගෙන යාම සහ ඉන් එක් පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ බවට සැකකෙරෙන චීන ජාතිකයින් දෙදෙනෙක් ඊයේ (ජූලි 23) සවස අත්අඩංගුවට ගැනීමට ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමත්ව තිබිණි.
34 හැවිරිදි සහ 38 හැවිරිදි මෙම චීන ජාතිකයන් දෙදෙනා ඊයේ පස්වරු 04.30ට ඉන්දියාවේ, මුම්බායි නුවර ඔස්සේ සිංගප්පූරුව වෙත පළා යාම සඳහා ඉන්දීය ගුවන් සේවයේ AI- 2275 දරන ගුවන් යානයට පිවිසීමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණු බව බීබීසී සිංහල ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ ය.
මේ පිළිබඳව කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත බුද්ධි තොරතුරු ලැබීමත් සමග ඔවුන් පිටත්වීමේ පර්යන්තයේ ආවේක්ෂණ රාජකාරීවල නිරත වෙමින් මෙම සැකකාර චීන ජාතිකයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර, බීබීසී සිංහල කළ විමසීමකට පිළිතුරු දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ, අත්අඩංගුවට ගනු ලැබූ චීන ජාතිකයින් දෙදෙනාට අමතරව සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් රටින් පලා යාම වැළැක්වීම සඳහා අධිකරණයට කරුණු වාර්තා කර ආගමන විගමන දෙපාර්තමේන්තුව හරහා පොලිසිය අවශ්‍ය පියවර ගන්නා බව ය.

චීන තානාපති කාර්යාලයෙන් නිවේදනයක්
මේ අතර කොළඹ වරාය නගරයේ සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය ද නිවේදනයක් නිකුත් කර තිබිණි.
එම නිවේදනයට අනුව තමන් මෙම සිද්ධිය පිළිබඳව සමීපව අවධානයෙන් පසුවන බවත්, කරුණු තහවුරු කර ගැනීම සඳහා කඩිනමින් පුළුල් විමර්ශනයක් සිදුකරන ලෙසත්, චීන පුරවැසියන්ගේ පෞද්ගලික ආරක්ෂාව මෙන් ම නීත්‍යනුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා සුරක්ෂිත කරන ලෙසට තමන් ශ්‍රී ලංකා පොලිසියෙන් ඉල්ලා සිටීන බවත් තානාපති කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකාවේ වෙසෙන චීන පුරවැසියන් තම ආරක්ෂාව පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බවත්, හදිසි අවස්ථාවකදී වහා ම පොලිසියට දැනුම් දෙන ලෙසත්, සහය සඳහා තානාපති කාර්යාලය හා සම්බන්ධ වන ලෙසත් මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය එම නිවේදනයෙන් සිහිපත් කර සිටියි.
ආරවුලට හේතුව කුමක් ද?
චීන ජාතිකයින් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමට හේතුව සොයා වැඩිදුරටත් විමර්ශන සිදුකරමින් සිටින බවත්, දැනට අනාවරණය වන කරුණු අනුව මෙය මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් කලක පටන් පවතින ආරවුලක් බවට පෙනී යන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් බීබීසී සිංහල වෙත පැවසීය.
"දැනට අපිට අනාවරණය වෙලා තියෙන කරුණු අනුව මේක කාලයක් ඉඳලා තියෙන මුදල් ආරවුලක් නිසා සිදුවෙච්ච දෙයක් කියලා. ඒත් මේ සිදුවීම ගැන විමර්ශන ඉදිරියට ක්‍රියාත්මක යි," ඔහු කියා සිටියා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් කළ විමසීමේදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මෙරට රැඳී සිටින චීන ජාතිකයින් විසින් සිදුකරනු ලබන නීතිවිරෝධී ක්‍රියාකාරකම් පිළිබඳව ද විමර්ශන ක්‍රියාත්මක බව ය.
මේ අතර, මෙම සිදුවීමට සම්බන්ධ බවට සැකකරෙන වාහන තුනක් මේ වන විට කොළඹ වරාය නගරය, පාදුක්ක සහ ඇහැළියගොඩ ප්‍රදේශවලදී පොලිසිය විසින් සොයාගෙන ඇති අතර, එම වාහනවල ලියාපදිංචි අයිතිය සහ මෙම අපරාධයට එම වාහන යොදාගෙන ඇත්තේ කුමන අයුරින් ද? යන්න පිළිබඳව පොලිසිය විමර්ශන කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ප්රකාශිකාවක් බීබීසී සිංහල වෙත පැවසුවා ය.

































