ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වසරකට පසු යළි උණුසුම් වූ මිරිහාන....
අද (මාර්තු 31) පස්වරුවේ නුගේගොඩ මිරිහානේ පැවති විරෝධතාවක් අතරතුර සමාජ ක්‍රියාකාරීන් කිහිපදෙනෙකු පොලිස් භාරයට ගෙන තිබේ.
මෙලෙස පොලිස් භාරයට පත්ව ඇත්තේ, සමාජ ක්‍රියාකාරීන් වන අනුරුද්ධ බණ්ඩාර, ධානීෂ් අලී, ඇතුළු පුද්ගලයින්ය.
අරගලයේ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් අද (මාර්තු 31) සවස, මිරිහාන ජුබිලි කණුව අසළ විරෝධතාවක් සංවිධානය කර තිබුණි.
එම විරෝධතාව අතරතුර ඔවුන් පොලිස්භාරයට ගෙන තිබේ.
කෙසේවෙතත් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැතැයි පොලිසිය සඳහන් කළේය.
පොලිසිය පැවසුවේ 100කට ආසන්න පිරිසක් විරෝධයට එක්ව සිටි බවය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික නිවස ඉදිරිපිට පැවැති විරෝධයට අදට වසරක් සපිරීම නිමිති කරගෙන මෙම විරෝධතාව සංවිධානකර තිබුණි.
පොලීසිය පැමිණ විරෝධතාවය විසුරුවා හැරීමට පියවර ගැනීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
කෙසේවෙතත් අරගලකරුවන්ව නුගේගොඩ ගුවන් පාලම දක්වා විසරුවා හැරීමට පොලීසිය කටයුතු කර තිබුණි.
පසුව අරගලකරුවන් එහිදී ද විරෝධතාවක නිරතව තිබේ.
මිරිහාන විරෝධතා සැමරුම
2022 වසරේ මාර්තු 31 වැනිදා හිටපු ජනාධිපති ගෝඨාභයර රාජපක්ෂගේ මිරිහාන නිවස ආසන්නයේ විරෝධතාව පැවැත්වුයේ විදුලි , ඉන්ධන , ගෑස් හිඟය හා ජීවන වියදම මුල් කරගනිමින් ජනතාව මුහුණදෙන අපහසුතාවයන් හේතුවෙනි.
එම විරෝධතා හේතුවෙන් එදින රාත්‍රියේ නුගේගොඩ පොලිස් කොට්ඨාසය ඇතුලු කොළඹ ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරි නීතිය ද පනවනු ලැබිණ.
එදින පොලිස් ඇදිරිනීතිය ප්‍රකාශයට පත්කළේ ජනපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික නිවස පිහිටි නුගේගොඩ මිරිහාන ප්‍රදේශයේ 2022 මාර්තු 31 දා පැවැති විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර ප්‍රහාර එල්ල කිරීමෙන් අතරුරුවත් දිගින් දිගටම විරෝධතාවය ක්‍රියාත්මක වීම හේතුවෙනි.
එම විරෝධතාව අතරතුර බස්රථයකට හා ජීප් රථයකට ද ගිනි තබා තිබුණි.
එම විරෝධතාවයෙන් අනතුරුව එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතුලු ආණ්වට ඉවත් වන්නැයි බලකරමින් අරගලයක් ආරම්භ විය.