කෝපය පාලනය කර ගත නොහැකි වීම රෝගයක් ද? අධික ලෙස තරහ යන්නේ නම් ඔබ කළ යුත්තේ කුමක් ද?

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 5

අධික කෝපය සහ ක්ෂණිකව තරහ යාම නිසා ඇතැමුන්ගේ ජීවිත බන්ධනාගාරවල නතර වූ අවස්ථා අප කොතෙකුත් අසා තිබේ.

අපගේ සිත් තුළ ඇති වන කෝපය පාලනය කර ගැනීමට අපොහොසත් වුවහොත් එහි ප්‍රතිවිපාකය යහපත් එකක් නොවනු ඇත.

කෝපය පාලනය කර ගත නොහැකි බොහෝ පුද්ගලයන් සමාජයේ දැක ගත හැකි ය.

කෝපය ඇති වීම සමාන්‍ය දෙයක් වුව ද, එය විවිධ කායික හා මානසික රෝග නිසා ද ඇති විය හැකි අතර, අනෙක් අතට නිතර කෝපයට පත්වීම නිසා ද කායික හා මානසික රෝග ඇති වීමේ ඉඩක් පවතී.

'කිසි ම හේතුවක් නැතිව කෝපය ඇති වෙන අවස්ථා තිබෙනවා'

විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් බීබීසී සිංහල සේවය කියා සිටියේ, විවිධ හේතු මත පුද්ගලයින් කෝපයට පත්වන බවත් ඇතැම් පුද්ගලයන්ට හේතුවට සාපේක්ෂව අධික කෝපයක් ඇති බව බවත් ය.

"සමහර පුද්ගලයෝ ඉන්නවා කෝප ගත්තාට පස්සේ ක්ෂණිකව අඩු වෙන්නේ නැහැ, දීර්ඝ කාලයක් පවතිනවා. කිසි ම හේතුවක් නැතිව කෝපය ඇති වෙන අවස්ථා තිබෙනවා. මේ හැම වෙලාවක ම ඒ හා සම්බන්ධ අහිතකර විපාක ඇති වෙනවා."

ඉන් මානසික හා අහිතකර කායික ප්‍රතිවිපාක ඇති විය හැකි බව ද විශේෂඥ මනෝ වෛද්‍යවරයා පෙන්වා දුන්නේ ය.

පෞරුෂත්ව දුර්වලතා නිසා ඇති වන කෝපය

අධික කෝපය හා පාලනය කර ගත නොහැකි කෝපය සඳහා විශේෂිත හේතු ඇති බව විශේෂඥ වෛද්‍යවරයා පැහැදිලි කළ අතර, මානසික, සමාජයීය හා කායික හේතු ඊට බලපෑ හැකි බව සඳහන් කළේ ය.

පෞරුෂත්ව දුර්වලතා කෝප ගැන්වීමට බලපාන මානසික හේතුවක් වන බව ද විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් කියා සිටියේය.

"සමහර පෞරුෂත්ව දුර්වලතා තියෙන අය ඉන්නවා ඒ අයගේ තරහ පාලනය කර ගන්න බැහැ. මේකට කියනවා සීමක්ත පෞරුෂත්ව ආබාධය කියලා කියනවා. ඒ අයගේ හැඟීම් පාලනය කර ගන්න බැහැ. දුක, සතුට, තරහ මේ සියලු හැඟීම් අස්ථාවර යි. මේවා සුළු මොහොතකින් වෙනස් වෙලා යනවා."

සමාජ විරෝධී පෞරුෂත්ව ආබාධ ඇති පුද්ගලයන්ට ද නිරන්තරයෙන් කෝපය ඇති වන බව ද වෛද්‍යවරයා පැවසීය.

පෞරුෂත්ව ආබාධ මෙන් ම වෙනත් මානසික රෝග ද කෝප ගැන්වීමට බලපාන බවත් සමාජයේ ඇති අධික මානසික ආතතිය, පීඩනය සහ විෂාදය වැනි මානසික රෝග හේතුවෙන් ද පුද්ගලයන්ට කෝපය ඇති වන බව මනෝ වෛද්‍යවරයා පැවසීය.

"මේ අය තරහ ගියාට පස්සේ කරන විනාශකාරී දේවල් පිළිබඳව ඒ අය පසුව දුක් වෙනවා අධික වශයෙන්. නමුත් ඒ අයට තමන්ව පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා ඒ තරහ යාම දීර්ඝ කාලයක් පවතින්නට පුළුවන්. ඒ වගේ ම සමහර අයට භින්නෝන්මාදය වගේ මානසික රෝග නිසා තරහ යාම ඇති වෙන්න පුළුවන්."

මත්පැන් හා විෂ මත්ද්‍රව්‍ය හේතුවෙන් ඇති වන කෝපය

මත්පැන් සහ මත්ද්‍රව්‍ය නිසා කෝපය ඇති වන පුද්ගලයන් සිටින බව ද විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් බීබීසී සිංහල සේවය සමග කළ දැනුවත් කිරීමේදී සඳහන් කළේ ය.

"ඇල්කොහොල් අඩංගු මත්පැන්, ගංජා වර්ග හා මෑත කාලයේ ප්‍රචාරය වුණ අයිස් වැනි වෙනත් විෂ මත්ද්‍රව්‍ය මතත් ඒ අයට අධික ලෙස කෝපය ගැන්වෙන අවස්ථා තියෙනවා. සමහර වෙලාවට මත්ද්‍රව්‍ය නිසා ඇති වෙන සැකය සහ අධික ආවේගය පාලනයේ ඇති වෙන දුර්වලතා නිසා තමයි මේ අයට තරහ යන්නේ."

ආර්ථික හා සමාජ ගැටලු හේතු නිසා ඇති වන කෝපය

දීර්ඝ කාලීන ආර්ථික ගැටලු හා සමාජයේ ගැටලුවලට මුහුණ දෙන පුද්ගලයන් තුළින් ද වැඩි වශයෙන් කෝපය අපේක්ෂා කළ හැකි බව විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් කියා සිටියේ ය.

"සමාජයේ ප්‍රශ්න නිසා ඇති වෙන අපේක්ෂා භංගත්වය, ජීවත් වීමේදී ඇති වන සමාජයීය පීඩනය, දීර්ඝ කාලයක් නිදහස අහිමිව සිටීම, ආයතනගතව සිටීමට සිදුවීම, තීරණ ගැනීමේ අයිතිය අහිමි වී සිටීම වැනි හේතු නිසාත් පුද්ගලයන්ට තරහ යනවා. තරහ යාම සමාජීය වශයෙන් අහිතකර ලෙස බලපානවා."

කෝපය ඇති වීමට බලපාන ජානමය හේතු

තව ද, ජානමය වශයෙන් තරහ ඇති වන පුද්ගලයන් සමාජයේ සිටින බවත් විශේෂඥ මනෝ වෛද්‍යවරයා පැවසීය.

"තරහ යාමේ දුර්වලතාව දෙම්පියන්ගෙන් දරුවන්ටත්, සහෝදර සහෝදරියන්ටත් පැතිරිලා යනවා. තවත් සමහර කණ්ඩායම්වල තරහ යාම දෙමව්පියන්ගෙන් ඉගෙන ගන්න දෙයක්. ඒ පවුල්වල අදහස් හුවමාරු කරගැනීමේදී තරහ ගන්නවා ඒක සමාන්‍ය දෙයක් කියලා සලකනවා."

පවුල් ආරවුල්, නොගැලපෙන සම්බන්ධතා හෝ විවාහයක සිටීම, දරුවන්ගේ ඇති වන පීඩන හේතුවෙන් ද කෝපය ඇති විය හැකි ය.

"දෙමාපියන්ගේ විවිධ ගැටලු සහ දෙමාපියන් ඇති කරන පීඩනය නිසා දරුවන්ට තරහ යන්න පුළුවන්. දරුවන්ට තරහ යාම සඳහා විවිධ හේතු බලපානවා. අධ්‍යාපනයේ ඇති වන දුර්වලතා, ගැටලු වගේ ම ඒ අයට පාසලේදී බාහිර සමාජයේදී ඇති වන ශාරීරික වධ බන්ධනත් තරහ යාමට හේතු වෙන්න පුළුවන්. දරුවන්ට සිදුවන ලිංගික හා කායික අපචාර නිසාත් තරහ යන්න පුළුවන්."

එමෙන් ම, PTS රෝගයට මුහුණ දෙන රෝගීන්ට ද වැඩි වශයෙන් කෝපය ඇති වන බව හඳුනාගෙන ඇති බවත් විශේෂඥ මනෝ වෛද්‍යවරයා පැවසීය.

සෞඛ්‍යයට බලපෑම් කරන අධික කෝපය පාලනය කරන්නේ කොහාම ද?

දීර්ඝ කාලීනව අධික ලෙස කේන්ති ගැනීම හේතුවෙන් දියවැඩියාව, හෝර්මෝන රෝග මෙන්ම හෘද රෝග ඇති වීමේ සම්භාවිතාව ද වැඩි බව මෙන්ම විවිධ මානසික රෝග ඇති විය හැකි බවට විද්‍යාත්මක ලෙස හඳුනාගෙන ඇති බවත් මනෝ වෛද්‍යවරයා කියා සිටියේය.

කෝපය ඇති වන හේතු හඳුනාගෙන ඊට පිලියම් සෙවීම හරහා කෝපය පාලනය කර ගත හැකි බව ද විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් සඳහන් කළේය.

දීර්ඝ කාලීනව කෝපය ඇති වන්නේ නම් ඊට සම්බන්ධ විවිධ මානසික හෝ කායික රෝග තිබේ දැයි සොයා බලා එසේ රෝග ඇත්නම් ඊට ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් බව වෛද්‍යවරයා අවධාරණය කළේ ය.

"තරහ පාලනය කර ගැනීම සඳහා උපදේශනය හෝ මනෝ විද්‍යා ප්‍රතිකාර ලබා ගැනීම ඉතාම වැදගත් වෙනවා," යැයි විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් කියා සිටියේය.

විශේෂඥ මනෝ වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ, තරහ පාලනය කරන විධි ක්‍රම අනුගමනය කිරීමෙන් බොහෝ පුද්ගලයන්ගේ කෝපය පාලනය කළ හැකි බව ය.

එමෙන් ම, ඇතැම් පුද්ගලයන්ට දීර්ඝ කාලීනව කෝපය ඇති වන්නේ නම් ඒ සඳහා ලබා දිය යුතු ඖෂධ ප්‍රතිකාර ද තිබේ.

"මානසික රෝග හෝ පෞරුෂත්ව රෝගයක් නිසා තරහ ඇති වෙනවා නම් වහා ම ඒ සඳහා ප්‍රතිකාර ලබා ගැනීමත් වැදගත්, ශාරීරක රෝගයක් තරහා යාම හේතු වන්නේ නම් එම ශාරීරික රෝගයට ප්‍රතිකාර ලබා ගත යුතු යි." විශේෂඥ මනෝ වෛද්‍යවරයා අවධාරණය කළේය.

"තරහ යාම යනු රෝගයක් හෝ පෞරුෂත්ව ආබාධයක් හෝ සමාන්‍ය තත්ත්වයක් විය හැකි ය. යම්කිසි කෙනෙකුගේ තරහ යාම දීර්ඝ කාලීනව සිදුවීම තුළින් එම තරහා යාම පාලනය කළ ගත නොහැකි නම් තමන්ට ම ඒ වගේ තමන්ගේ එදිනෙදා කාර්යයන්ට තමන්ගේ මානසික සෞඛ්‍යයට, සතුටට මෙන්ම සම්බන්ධතාවලට බලපෑමක් වෙනවා නම් එය සමාන්‍ය තත්ත්වයක් හැටියට සැලිකිය නොහැකි යි. එවැනි අවස්ථාවලදී තරහ යාම පාලනය කර ගැනීම සඳහා ඊට අවශ්‍ය මානසික උපදෙස් ලබා ගැනීම ඉතාමත් ම වැදගත්. තරහ යාම මානසික රෝගයක් නොවුණත් සමාන්‍ය දෙයක් වුණත් තරහ යාම පාලනය කර ගැනීම තුළින් තමන්ගේ මානසික සෞඛ්‍ය සහ කාර්යක්ශමතාව වැඩි කර ගැනීමට හැකි නිසා එවැනි පුද්ගලයන් පවා ඒ සඳහා අවශ්‍ය මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර හෝ උපදේශනය සඳහා යොමු වීම වැදගත්," යැයි විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් වැඩිදුරටත් අවධාරණය කළේ ය.