ශ්‍රී ලංකා - කොදෙව්: පල්ලේකැලේ ක්‍රීඩාංගණයට අද වැස්ස කෙසේ බලපායි ද?

Pallekele International Cricket Stadium

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, තාරක සම්මාන්
    • Role, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 3

බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත්, මන්නාරම දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ප්‍රදේශවලට අද (ඔක්තෝබර් 23) මි.මී. 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව පැවසීය.

ඊට අමතරව, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවල මි.මී.75 ඉක්මවූ තරමක් තද වැසි ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව ඔක්තෝබර් 23 උදෑසන නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.

'බස්නාහිරට තද වැසි'

ශ්‍රී ලංකාවේ බස්නාහිර කොටසේ වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව බීබීසී සිංහල කළ විමසීමකදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් පැවසීය.

ඔහු සඳහන් කළේ, එය විශේෂිත කාලගුණික තත්ත්වයක් බව ය.

"ලංකාවේ බටහිර කොටසට, ඒ කියන්නේ මන්නාරම ඉඳන් ගත්තා ම පුත්තලම, කුරුණෑගල, බස්නාහිර පළාත, සබරගමුව පළාත, ගාල්ල, මාතර සමහර විට හම්බන්තොට දිස්ත්‍රික්කයේත් තද වැසි එන්න පුළුවන්. දැනට අපි අවවාදාත්මක නිවේදනයක් නිකුත් කළා 100ට වැඩි තද වැහි එන්න පුළුවන් කියලා, ඒ පළාත්වල. විශේෂිත කාලගුණික තත්ත්වයක් තියෙන්නේ. ගොඩක් වෙලාවට උදේ වරුවේ ඔය තද වැසි තත්ත්වය තියෙනවා."

ආයෙත් වහින්නේ ඇයි?

කසුන් පැස්කුවෙල් මහතා පැවසුවේ, දිවයිනට ඉහළින් පවතින සුළං රටාවල වෙනස් වීම මෙම වර්ෂාවට හේතු වී ඇති බව ය.

මේ වන විට, බෙංගාල බොක්කට ඉහළින් පීඩන අවපාතයක් පවතින බවත් එය සුළි කුණාටුවක් බවට පත් වී ක්‍රමයෙන් වර්ධනය වීමත් සමග ශ්‍රී ලංකාව හරහා හමා යන සුළං රටා වෙනස් වන බවත් ඔහු පෙන්වා දුන්නේ ය.

"ඒ පද්ධතියේ ඍජු බලපෑමක් නැහැ. නමුත් ඒකෙ වක්‍ර බලපෑමක් තියෙනවා. ශ්‍රී ලංකාවට ඉහළින් තියෙන සුළං රටාවල වෙනස් වීම් තමයි මේ වැස්සට හේතු වෙලා තියෙන්නේ," ඔහු පැවසීය.

ක්‍රිකට් ලෝලීන්ට සුබ පණිවිඩයක්

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක් දින තරගය මහනුවර, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (ඔක්තෝබර් 23) පස්වරු 2:30ට ආරම්භ වීමට නියමිත ය.

ඒ හේතුවෙන්, ක්‍රිකට් ලෝලීන් බොහෝ දෙනෙකුගේ අවධානය පල්ලේකැලේ ප්‍රදේශයේ කාලගුණය සම්බන්ධයෙන් යොමු වී තිබේ.

මේ පිළිබඳව ද අපි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල්ගෙන් විමසීමක් කළෙමු.

එහිදී ඔහු සඳහන් කළේ, ක්‍රිකට් තරගයට වර්ෂාවෙන් යම් බලපෑමක් ඇති විය හැකි වුව ද ඉන් වැඩි ම බලපෑම ඇති බස්නාහිර කොටසට සාපේක්ෂව මහනුවර ප්‍රදේශයට අඩු වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව ය.

"මැච් එකට යම් බාධාවක් වෙන්න පුළුවන්. නමුත් ලොකු ම බලපෑම තියෙන්නේ බස්නාහිර පැත්තට. රට මැදත් යම් වැසි තත්ත්වයක් තියෙනවා. ගොඩක් වෙලාවට අහස වලාකුළින් බර තත්ත්වයක් තියෙනවා. බස්නාහිරට සාපේක්ෂව නුවර පැත්තේ වැස්ස අඩු යි. නමුත් අපිට නෑ කියන්න බැහැ. වැස්ස ඒ පැත්තෙත් තියෙනවා. සැරින් සැරේ තියෙන්න පුළුවන්."

මේ අතර, ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයට ද වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, තරගයේ පන්දු වාර සංඛ්‍යාව අඩු කිරීමට සිදු විය.

හෙට දවස කොහොම ද?

අද දිනට සාපේක්ෂව හෙට දිනයේ වැසි තත්ත්වයේ යම් අඩුවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යාඥවරයා පැවසීය.

ඔහු පෙන්වා දුන්නේ, අනිද්දා (ඔක්තෝබර් 25) සිට යළි වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව ය.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද කළේ ය.