ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
හම්බන්තොට ලුණු ලේවා සේවකයින්: 'අපිට මේ අවුරුද්දේ දවස් 05ක් වගේ වැඩ කරන්න ලැබුණේ. අපි දරුවෝ ජීවත් කරවන්නේ කොහොමද කියලා දහ අතේ කල්පනා කරනවා'
- Author, දිනුක් හේවාවිතාරණ, හම්බන්තොට සිට
- Role, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 6
"අපිට මේ අවුරුද්දේ දවස් 05ක් වගේ වැඩ කරන්න ලැබුණේ. අපි දරුවෝ ජීවත් කරවන්නේ කොහොමද කියලා දහ අතේ කල්පනා කරනවා. මෙහෙ වෙන කරන්න රස්සාවලුත් නැහැ." එලෙස බීබීසී සිංහල සේවය වෙත අදහස් දැක්වුයේ හම්බන්තොට ලුණු ලේවායේ අනියම් කම්කරුවෙකු ලෙස සේවයේ යෙදුණු 46 වැනි වියේ පසුවන චන්ද්‍රිකා නමැත්තියයි.
චන්ද්‍රිකා යනු ඇයගේ සත්‍ය නම නොවේ. චන්ද්‍රිකා බීබීසී සිංහල සේවය වෙත අදහස් දැක්වීමට එකඟ වු අතර ඇයගේ අනන්‍යතාවය ආරක්ෂා කරන ලෙස ද ඉල්ලීමක් කළාය.
''ඇයි ඔයාගේ ඇත්ත නම හෙළි කරන්න බැරි?'' යනුවෙන් එම කාන්තාවගෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමේදී ඇය කියා සිටියේ ඇත්ත නම හෙළි වුවොත් නැවත තමන්ට ලුණු ලේවායේ රැකියාවට යාමට නොහැකි වන බවයි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ලුණු නිෂ්පාදනය කරන ප්‍රධාන ලේවායේ වැඩ කටයුතු මේ දිනවල සිදුවන ආකාරය ගැන කරුණු සොයා බැලීමට එහි ක්ෂේත්‍ර චාරිකාවක නිරත වූ බීබීසී සිංහල සේවයේ කණ්ඩායමට මෙම අනියම් කම්කරුවන් ලෙස සේවය කරන පිරිස හමුවිය.
සිය අනන්‍යතාවය ආරක්ෂා කරන ලෙස කළ ඔවුන් කළ ඉල්ලීම හේතුවෙන් ඔවුන්ගේ ඡායාරූප පළ නොකිරීමට බීබීසී සිංහල සේවය තීරණය කරන ලදී.
'අපි පුදුම දුකක් විදින්නේ'
හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන මහා ලේවාය, පලටුපාන සහ බුන්දල යන ලේවායන් හි අනියම් කම්කරුවන් ලෙස සේවය කරන 450 කට ආසන්න පිරිසකට මේ වන විට ඇතිවී තිබෙන වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් රැකියාවල නිරත වීමට නොහැකි වී ඇති බව බීබීසී සිංහල සේවයේ අපට දැක ගත හැකි විය.
''මේ අවුරුද්දේ අපිට මාස 06 කටම වැඩ කරන්න ලැබුණේ දවස් 05යි. ගිය අවුරුද්දේ දවස් 55යි වැඩ කරන්න පුළුවන් වුනේ. 2023 අවුරුද්දේ අපිට වැඩ කරන්න ලැබුණේ දවස් 91යි. එන්න එන්න අපිට වැඩ කරන්න ලැබෙන දවස් ගාන අඩු වෙනවා.''
''අපි වැඩ කරන්නේ දවස් කුළියට. දවසකට අපිට ගෙවන්නේ රුපියල් 1700ක්. සාමාන්‍යයෙන් ලුණු ලේවායේ අපිට වැඩ කරන්න ලැබෙන්නේ අවුරුද්දකට මාස 04ක් විතරයි. එහෙම තියෙද්දී මේ වෙද්දී අපි පුදුම දුකක් විඳින්නේ. කොහොමද ජීවත් වෙන්නේ කියලා හිතා ගන්න බැරි තැනකට වැටිලා ඉන්නේ. සාමාන්‍යයෙන් අපි කාන්තාවෝ වුණාට මඩ පාත්ති හදන තැන ඉඳලා ලුණු කඩන තැන වෙනකම් වැඩ කරනවා. නමුත් දැන් එන්න එන්න අපිට වැඩ හම්බ වෙන්නේ නැහැ.'' යනුවෙන් තමන් මුහුණ දී ඇති තත්ත්වය සම්බන්ධයෙන් චන්ද්‍රිකා කියා සිටියාය.
'මේ අවුරුද්ද ගැන අපිට කිසිම විශ්වාසයක් නැහැ'
මේ අතර බීබීසී සිංහල සේවය වෙත අදහස් දැක්වූ තවත් කාන්තාවක් වන 39 හැවිරිදි වසන්ති (සත්‍ය නම නොවේ) කියා සිටියේ මේ වසරේදී ලුණු කැඩීමට හැකිවේද යන්න සැක සහිත බවයි.
''දැනට තියෙන තත්ත්වය එක්ක අපිට මේ අවුරුද්දේ ලුණු කඩන්න පුළුවන් වෙයිද කියලා හිතන්න අමාරුයි. සාමාන්‍යයෙන් මාර්තු මාසයේ ඉඳලා ලුණු කඩනවා. නමුත් මේ අවුරුද්දේ අපිට කඩන්න ලුණු නැහැ වැස්ස නිසා ඔක්කොම අවුල් වෙලා තියෙන්නේ. මේ තියෙන තත්ත්වය එක්ක මේ අවුරුද්දේ ලුණු හදන්න පුළුවන් වෙයිද කියලත් සැකයි. මොකද අඩුම තරමින් අපිට ජුනි මාසේ ඉදලා පෑව්වත් ලුණු හදන්න ඕන කරන මඩ පාත්ති මේ වෙනකම් හදලා නැහැ.'' ඇය පැවසුවාය.
මේ අතර බීබීසී සිංහල සේවය වෙත අදහස් දැක්වූ, අනියම් කම්කරුවෙකු ලෙස හම්බන්තොට ලුණු ලේවායේ සේවය කරන තවත් කාන්තාවක් වූ 48 හැවිරිදි වියේ පසුවන පද්මිණි (සත්‍ය නම නොවේ) පැවසුවේ තමන් වසර 16කට අධික කාලයක් සේවය කළ ද මේ දක්වා තමන්ට සේවා ස්ථිර කිරීමක් නොලැබුණු බවයි.
''මම අවුරුදු 16ක් තිස්සේ වැඩ කරනවා ලේවායේ අනියම් සේවිකාවක් විදිහට. මට වඩා අඩු කාලයක් වැඩ කරපු සමහර අයට ස්ථිර පත්වීම් දුන්නා. අහපුවම කියනවා අධ්‍යාපන සුදුසුකම් නැහැ කියලා. හැබැයි එහෙම ස්ථිර කරපු අයත් කරන්නේ මඩ පාත්ති හදන එකයි, තණකොළ ගලවන එකයි. මේවා අපි කාටද කියන්නේ කියලා හිතා ගන්න බැහැ. සමහර ටෙම්පරි වැඩ කරන අය ඉන්නවා අවුරුදු 25 -30ක් සේවය කරනවා. එයාලවත් තාම ස්ථිර සේවයට අරන් නැහැ. ඒ මිනිස්සු වුණත් අසරණයි. සමහර නිලධාරීන්ට ඕන විදිහට තමයි මේ හැම දෙයක්ම වෙන්නේ.'' යනුවෙන් ඇය පැවසුවාය.
'අපිට අඩුම තරමින් අවුරුදු කන්නවත් ලැබුණේ නැහැ'
මෙම වසරේ සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් හම්බන්තොට ලුණු ලේවායේ සේවය කරන අනියම් සේවකයින් වෙනුවෙන් ප්‍රසාද දීමනා ලබා දිමක් සිදු නොවූ බව ද එම සේවකයින් බීබීසී සිංහල සේවය වෙත පැවසීය.
''හැම අවුරුද්දෙම අපිට කීයක් හරි බෝනස් හම්බ වුණාට මේ අවුරුද්දේ කීයක්වත් දුන්නේ නැහැ. අවුරුදු දීමනාව හැටියට උත්සව අත්තිකාරකමක් දෙන්න නම් ලේවායේ ස්ථිර සේවය කරන දෙන්නෙක් ඇප අත්සන් කරන්න ඕන කියලා කිව්වා. ඒත් දෙනවා කිව්වේ රුපියල් 10,000ක්. ඉතින් අපිට වැඩ නැතිව ඉන්න කොට උත්සව අත්තිකාරකමක් ගන්න ස්ථිරව වැඩකරන අය අත්සන් කරන්න බයයි. අන්න ඒ වගේ තත්ත්වයක් මේ අවුරුද්දේ අපිට අත්වුණේ."
"අපිට අඩුම තරමින් අවුරුදු කන්නවත් ලැබුණේ නැහැ. මෙතන වැඩ කරන්නේ ගොඩක් දුප්පත් මිනිස්සු. බෝනස් එකක් ලැබුනා නම් අපි වගේ වැඩ කරන අය අපේ ළමයින්ට ඇඳුම් ටිකක්, පොත්පත් අරන් දෙන්න හරි තිබ්බා. ඒත් එහෙම කරන්න ලැබුණේ නැහැ.'' ඔවුන් පැවසූහ.
'අත් කකුල්වල තුවාල හැදෙනවා වැඩ කරද්දී'
මේ අතර තමන් ලුණු ලේවායේ සේවය කරන විට මුහුණ දීමට සිදුවූ අපහසුතා සම්බන්ධයෙන් අනියම් සේවයේ නියුතු සේවිකාවන් කිහිප දෙනෙකුම බීබීසී සිංහල සේවය වෙත අදහස් දැක්වූයේ මෙලෙසයි.
''ලුණු ලේවායේ වැඩකරනවා කියන එක ලේසි නැහැ. පුදුම විදිහට අපි දුක් විඳිනවා වැඩ කරන කොට. තද පෑවිල්ලත් එක්ක ලේවායේ වැඩ කරන කොට ඇඟ පිච්චෙනවා. මේ නිසා හමේ රෝග ඇතිවෙනවා. ඒ වගේමයි ලේවායේ වැඩ කරන කොට ලුණුවල සැරට අත් වගේම කකුල් එහෙම පැලෙනවා විතරක් නෙමේ තුවාල දානවා.''
''දවසකට ට්‍රැක්ටර් ලෝඩ් එකහාමාරක් දවසකට ලුණු කඩන්න ඕන ටාර්ගට් එක කවර් කරන්න නම්. එහෙම ලුණු කඩන්න අඩුම තරමින් අපි පැය 04 ඉදලා පැය 08ක් වගේ වැඩ කරන්න ඕන. එතකොට තියෙන රස්නේ එක්ක එහෙම වැඩ කරනවා කියන එක හිතන්නවත් අමාරුයි.''
''ලුණු පාත්තියක් කියන්නේ අඩි 15ක් පළල අඩි 45ක් දිගයි. ඒක දකින කොටම බඩ පපුව දාලා යනවා. ලුණු කඩනවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි.''
''මෙහෙම දිගටම වැඩ කරනවා කියන්නේ අපේ අස්ථිවල තියෙන කාටිලේජ ගෙවෙනවා. අපි ගොඩක් දුක් විඳලයි ලුණු කෑල්ල කඩන්නේ. මොකක් හරි ලෙඩක් හැදුණා කියන්නේ අපි මාස ගානක් ගෙදර. අපිට කියලා කිසිම රක්ෂණයක් හරි වෙන මොකක් හරි සෞඛ්‍ය දීමනාවක් ලැබෙන්නේ නැහැ.''
''අපිට ලුණු කඩන්න කියලා බූට් දුන්නේ ගිය අවුරුද්දේ. මේ වෙද්දී අපි මාස ගානක් වැඩකරලා නැති නිසා අත් කකුල්වල තුවාල පේන්න නැහැ. වැඩ කරලා තිබ්බනම් අපේ අත් කකුල්වල දාලා තියෙන තුවාල පෙන්නන්න තිබ්බා" ඔවුහු කියා සිටියහ.