ඉරානයේ බලගැන්වූ යුරේනියම් සංචිත ඇත්තේ කොහේ ද?

طرح گرافیکی ایران، یک تریلی در حال حرکت رو جاده و چهار نشانه تاسیسات هسته‌ای در پس‌زمینه قرمز
    • Author, රේසා සබේති
    • Role, මාධ්‍යවේදී
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 12

යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් ටෙහෙරානය සහ වොෂින්ටනය අතර පැවැත්වෙන සාකච්ඡාවලදී ඉරානය සතු බලගැන්වූ යුරේනියම් සංචිත බරපතළ මතභේදාත්මක කරුණක් බවට පත්ව තිබේ. එහෙත්, ඉස්ලාමීය ජනරජයේ න්‍යෂ්ටික කටයුතු පිළිබඳ වාර්තාවලට අනුව, මෙම ද්‍රව්‍යවල වත්මන් තත්ත්වය සහ ඒවා ගබඩා කර ඇති ස්ථානය මේ වන විට සංකීර්ණ අබිරහසක් බවට පත්ව ඇත.

මෑත වසරවලදී ඉරානය විසින් සියයට 60ක මට්ටමකට බලගන්වන ලද කිලෝග්‍රෑම් සිය ගණනක් බරැති යුරේනියම් තොගයක් සම්බන්ධයෙන් මෙම ආරවුල හටගෙන තිබේ. මෙම මට්ටම න්‍යෂ්ටික අවියක් නිපදවීමේදී භාවිත කිරීමට තරම් ප්‍රමාණවත් නොවන නමුත්, එම මට්ටමේ සිට න්‍යෂ්ටික බෝම්බයක් නිපදවීමට අවශ්‍ය සියයට 90ට ළඟා වීමට තාක්ෂණික වශයෙන් පවතින්නේ ඉතා කෙටි දුරකි.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ, මෙම යුරේනියම් තොග ඉරානය ඇතුළත හෝ ඉන් පිටතදී විනාශ කර දැමිය යුතු බව ය. නමුත් ඉරාන බලධාරීන් එවැනි ඉල්ලීම් දිගින් දිගට ම ප්‍රතික්ෂේප කර ඇත.

ෆෝඩෝ, නටාන්ස් සහ ඉස්ෆහාන් යන ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත ඇමෙරිකාව සහ ඊශ්‍රායලය පහර දුන් දින 12ක් පුරා පැවති යුද්ධයෙන් පසු වසරකට ආසන්න කාලයක් ගතවී ඇතත්, මෙම යුරේනියම් තොගවලින් කොපමණ ප්‍රමාණයක් ඉතිරිව තිබේ ද, ඒවා පවතින්නේ කුමන තත්ත්වයක ද සහ ඒවා නියත වශයෙන් ම ගබඩා කර ඇත්තේ කොහේ ද යන්න ස්ථිරව ප්‍රකාශ කිරීමට කිසිදු ස්වාධීන බලධාරියෙකුට මෙතෙක් හැකියාව ලැබී නොමැත.

මිලිටරි ප්‍රහාර හේතුවෙන් න්‍යෂ්ටික මධ්‍යස්ථාන විනාශ වීම, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ පරීක්ෂකවරුන්ට ප්‍රවේශය අත්හිටුවීම සහ ඉරාන මෙන් ම ඇමෙරිකානු නිලධාරීන් සිදු කරන පරස්පර ප්‍රකාශ හේතුවෙන් මෙම ද්‍රව්‍යවල ඉරණම පිළිබඳව මැවී ඇත්තේ අපැහැදිලි චිත්‍රයකි. ඇතැම් තක්සේරු මගින් යෝජනා කෙරෙන්නේ, ප්‍රහාර එල්ල වීමට පෙර මෙම තොගවලින් කොටසක් වෙනත් ස්ථානයක් වෙත රැගෙන ගිය බව ය. තවත් පිරිසක් යෝජනා කරන පරිදි, ඉන් කොටසක් ප්‍රහාරවලින් හානියට පත් න්‍යෂ්ටික මධ්‍යස්ථානවල සුන්බුන් යට තිබෙන්නට හැකියාව පවතී.

ඉරානය සතුව සියයට 60ක් බලගැන්වූ යුරේනියම් පවතින්නේ ඇයි?

2015 වසරේදී එළඹි න්‍යෂ්ටික ගිවිසුමේදී (JCPOA) න්‍යෂ්ටික බලාගාර සඳහා ඉන්ධන නිෂ්පාදනය කිරීමට අවශ්‍ය වන සියයට 67.3ක මට්ටමක සිය යුරේනියම් බලගැන්වීමේ සීමාව පවත්වා ගැනීමට ටෙහෙරානය එකඟ විය. 2018 වසරේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු ධූර කාලය තුළ එක්සත් ජනපදය මෙම ගිවිසුමෙන් ඉවත් වීමෙන් අනතුරුව ඉරානය ද ක්‍රමානුකූලව සිය න්‍යෂ්ටික කැපවීම් අතහැර දැමුවේ ය. ඔවුන් පළමුව යුරේනියම් බලගැන්වීම සියයට 5.4 දක්වාත්, පසුව සියයට 20 දක්වාත් ඉහළ නැංවූ අතර වසර 3ක් ගතවන තුරු සියයට 60 සීමාවට ළඟා නොවිණි.

2021 වසරේ අප්‍රේල් මාසයේදී මෙම තත්ත්වය වෙනස් විය. නටාන්ස් න්‍යෂ්ටික මධ්‍යස්ථානයේ සිදු වූ පිපිරීමකින් සහ විදුලි බිඳවැටීමකින් [ඉරානය එය ඊශ්‍රායලය විසින් සිදු කරන ලද කඩාකප්පල්කාරී ක්‍රියාවක් ලෙස හැඳින්වීය] පසුව තමන් යුරේනියම් සියයට 60ක මට්ටමකට බලගැන්වීම ආරම්භ කරන බව ඉස්ලාමීය ජනරජය නිවේදනය කළේ ය. ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය එම අවස්ථාවේදී ප්‍රකාශ කළේ, න්‍යෂ්ටික අවි නොමැති රටවල් අතරින් මෙතරම් ඉහළ මට්ටමකට ළඟා වූ ලොව එක ම රට ඉරානය බව ය.

ඇමෙරිකානු බලපෑම් සහ ඊශ්‍රායල ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් මෙම පියවර ගත් බව සහ සිය න්‍යෂ්ටික වැඩසටහන සඳහා අවශ්‍ය යුරේනියම් බලගැන්වීමේ මට්ටම තීරණය කිරීමට ටෙහෙරානයට අයිතියක් ඇති බව ඉරාන බලධාරීහු ප්‍රකාශ කළහ. නමුත් බටහිර රටවල් පෙන්වා දුන්නේ, සියයට 60ක මට්ටමකට යුරේනියම් බලගැන්වීම සාමාන්‍ය සිවිල් අවශ්‍යතාවලින් ඔබ්බට ගිය එකක් බව ය. න්‍යෂ්ටික අවි නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන යුරේනියම් මට්ටමට ළඟාවීමට ඉරානයට ඇති තාක්ෂණික පරතරය සැලකිය යුතු ලෙස අඩු වන බව ද ඔවුහු පැවසූහ.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඊට පසු වසර කිහිපය තුළ න්‍යෂ්ටික ගිවිසුම යළි සමාලෝචනය කිරීම සඳහා වූ සාකච්ඡා ඇනහිටීම සහ ඉරානය සහ බටහිර රටවල් අතර නොසන්සුන්තා වර්ධනය වීමත් සමග, සියයට 60ක මට්ටමට බලගන්වන ලද ඉරාන යුරේනියම් තොග ශීඝ්‍රයෙන් ඉහළ ගියේ ය. ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය සිය වාරික වාර්තා මගින් පෙන්වා දුන්නේ, ඉරානය සිය යුරේනියම් තොගවල පරිමාව ඉහළ නැංවීමට අමතරව ෆෝඩෝ සහ නටාන්ස් යන පිරිපහදු මධ්‍යස්ථානවල වඩාත් දියුණු සෙන්ට්‍රිෆියුජ් [කේන්ද්‍රාපසාරික යන්ත්‍රය] යන්ත්‍ර සවි කිරීම මගින් ඉහළ බලගැන්වුම් මට්ටම් කරා ළඟා වීමට ගතවන කාලය ද අඩු කරගෙන ඇති බව ය.

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියට අනුව පසුගිය වසරේ දින 12ක් පුරා පැවැති යුද්ධයට පෙර ඉරානය සතුව තිබූ සියයට 60ක මට්ටමට බලගන්වන ලද යුරේනියම් තොගය කිලෝග්‍රෑම් 440ක් පමණ විය. නමුත් එරට න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත එල්ල වූ බෝම්බ ප්‍රහාරවලින් පසුව මෙම යුරේනියම් තොගවල ඉරණම කුමක් ද යන්න ඉරාන න්‍යෂ්ටික වැඩසටහනේ වඩාත් ම තීරණාත්මක මෙන් ම තවමත් විසඳී නොමැති ප්‍රධානතම අභිරහස බවට පත්ව ඇත.

මෙම ද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් ගබඩා කර ඇත්තේ යුරේනියම් හෙක්සාෆ්ලෝරයිඩ් (UF6) වායුව ලෙස වන අතර ඒවා විශේෂිත වානේ සිලින්ඩරවල අසුරා වෙනත් ස්ථාන කරා ගෙන යාමට සහ ප්‍රවාහනය කිරීමට හැකියාව පවතී.

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ මතය වූයේ, මෙම ද්‍රව්‍ය නිෂ්පාදනය කෙරුණු මූලාශ්‍රය පැහැදිලි බව ය. ප්‍රධාන වශයෙන් සියයට 60 මට්ටමේ බලගැන්වීමේ කටයුතු සිදු වූයේ ෆෝඩෝ මධ්‍යස්ථානයේ වන අතර නටාන්ස් නියමු බලගැන්වුම් මධ්‍යස්ථානය ඒ සඳහා සහය දැක්වීය. 2025 මැයි මාසයේදී ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය වාර්තා කළේ, එම වසරේ පෙබරවාරි සහ මැයි අතර මාස කිහිපය තුළ පමණක් ෆෝඩෝහිදී සියයට 60 මට්ටමේ යුරේනියම් කිලෝග්‍රෑම් 166කට වඩා වැඩි ප්‍රමාණයක් ද, නටාන්ස්හිදී කිලෝග්‍රෑම් 19කට ආසන්න ප්‍රමාණයක් ද නිෂ්පාදනය කර තිබූ බව ය. නමුත් මෙම ද්‍රව්‍ය දැනට පවතින ස්ථානය ඒවා නිෂ්පාදනය කළ ස්ථානය සමාන නොවන අතර සැබෑ අබිරහස ආරම්භ වන්නේ ද එතැන් සිට ය.

භූගත මධ්‍යස්ථාන වෙත අවධානය යොමු වූයේ ඇයි?

පළමු ඉඟිය ලැබෙන්නේ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය තුළින් ම වන අතර එම ඒජන්සිය දින 12ක් පුරා පැවැති ඉරාන යුද්ධයට පෙර නිකුත් කළ වාර්තාවල සඳහන් කර තිබුණේ, ෆෝඩෝ මධ්‍යස්ථානයට අමතරව 2024 දෙසැම්බර් මාසයේ සිට ඉස්ෆහාන්හි පිහිටි න්‍යෂ්ටික ද්‍රව්‍ය ගබඩා කිරීමේ මධ්‍යස්ථානයක් ද දැඩි ආරක්ෂණ ක්‍රමවේදයක් යටතේ පැවති බව ය. ඒ අනුව, 2025 ජූනි මාසයේ එල්ල වූ ප්‍රහාරවලට පෙර මෙම ඉස්ෆහාන් මධ්‍යස්ථානය යුරේනියම් පරිවර්තනය කිරීමේ සහ ඉන්ධන නිෂ්පාදනය කිරීමේ මධ්‍යස්ථානයක් පමණක් නොව සංවේදී ද්‍රව්‍ය ගබඩා කරන වැදගත් කේන්ද්‍රස්ථානයක් ලෙස ද ජාත්‍යන්තර ඒජන්සියේ ඇස ගැටී තිබිණි.

දින 12ක් පුරා පැවැති යුද්ධයෙන් මාස 7කට පමණ පසු 2026 පෙබරවාරි මාසයේදී එම ඒජන්සිය නිකුත් කළ වාර්තාවකින් මෙම ස්ථානයේ ඇති වැදගත්කම තවදුරටත් ඉහළ ගිය අතර එමගින් පවසා තිබුණේ, චන්ද්‍රිකා ඡායාරූප මගින් ඉස්ෆහාන් භූගත උමං සංකීර්ණයේ දොරටුව අසල නිතිපතා සිදුවන වාහන ගමනාගමනයක් නිරීක්ෂණය වී ඇති බව ය.

එම වාර්තාවේ ම ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය ප්‍රකාශ කළේ, ප්‍රකාශයට පත් කර තිබූ ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන හතරකින් ලබාගත් සියයට 20 සහ සියයට 60 මට්ටම්වලට බලගැන්වූ යුරේනියම් හෙක්සාෆ්ලෝරයිඩ් ගබඩා කර තිබුණේ ද මෙම ස්ථානයේ ම බවයි. කෙසේ වෙතත්, ජූනි මාසයේ පැවති යුද්ධයෙන් පසුව ඒජන්සියේ පරීක්ෂකවරුන්ට මෙම උමං සංකීර්ණය වෙත ප්‍රවේශ වීමට අවස්ථාව නොලැබීම හේතුවෙන් අදාළ යුරේනියම් තොග සියල්ල ම තවමත් ඉස්ෆහාන් මධ්‍යස්ථානයේ පවතින්නේ ද යන්න ස්ථිර කිරීමට ඔවුන්ට නොහැකි වූ නමුත් මෙම ද්‍රව්‍යවලින් සැලකිය යුතු ප්‍රමාණයක් පවතින ස්ථානය පිළිබඳව ඔවුන් සතු නවතම විශ්වාසවන්ත තොරතුරු අනුව පෙන්වා දෙන්නේ, එය මෙම භූගත සංකීර්ණය තුළ තිබිය හැකි බව ය.

භූගත පහසුකම්

2026 මාර්තු මාසයේදී ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ අධ්‍යක්ෂ ජනරාල් රෆායෙල් ග්‍රොසි විසින් මෙම තක්සේරුව ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කරනු ලැබීය. එහිදී ඔහු කියා සිටියේ, ඉරානයේ සියයට 60 මට්ටමට බලගැන්වූ යුරේනියම්වලින් කිලෝග්‍රෑම් 200කට වඩා වැඩි ප්‍රමාණයක් තවමත් ඉස්ෆහාන් මධ්‍යස්ථානයේ තිබිය හැකි බවට ඒජන්සිය විශ්වාස කරන බව ය.

දින 12ක් පුරා පැවැති යුද්ධයෙන් අනතුරුව ඉස්ෆහාන් වෙත අවධානය යොමු වීමට බලපෑ තවත් හේතුවක් විය. එම අවස්ථාවේදී CNN වාර්තා කළේ, භූගත බංකර් විනාශ කළ හැකි බෝම්බ (බංකර් බස්ටර්) මගින් ෆෝඩෝ සහ නටාන්ස් මධ්‍යස්ථාන ඉලක්ක කළ ද, ඉස්ෆහාන්හි උමං ජාලයේ වැඩි කොටසකට ප්‍රහාර එල්ල වූයේ ටොමාහෝක් කෲස් මිසයිල මගින් බවයි. එම තක්සේරුවලට අනුව ඒවාට "භූගත කොටස්වලට ගැඹුරු ව්‍යුහාත්මක හානියක් සිදු කිරීමට නොහැකි වී තිබිණි."

මෙම වෙනස ප්‍රහාරවලට පෙර ඒ වෙත ගෙන යන ලද යුරේනියම් තොග මෙන් ම ඒ වන විටත් එම සංකීර්ණයේ ගබඩා කර තිබූ තොග ද බෝම්බ ප්‍රහාරයෙන් පසුව පවා මෙම භූගත මධ්‍යස්ථානයේ ආරක්ෂිතව ඉතිරිව තිබෙන්නට ඇති බවට ඇතැම් විශ්ලේෂකයින් සිදු කළ අනුමානවලට හේතුවිය.

ට්‍රක් රථ, ජල ටැංකි සහ ප්‍රහාරයට පෙර ප්‍රවාහනය කළ බවට වූ උපකල්පනය

වඩාත් ම වැදගත්ම දෘශ්‍ය ඉඟිය 2025 ජූනි ප්‍රහාර ආරම්භ වීමට දින කිහිපයකට පෙර දක්වා දිව යයි. ප්‍රංශයේ Le Monde පුවත්පත 2026 මාර්තු 28 වන දින ඉහළ විභේදනයකින් යුතු චන්ද්‍රිකා ඡායාරූපයක් ප්‍රකාශයට පත් කළ අතර, පසුව Bulletin of the Atomic Scientists සහ විද්‍යා හා ජාත්‍යන්තර ආරක්ෂාව පිළිබඳ ආයතනය විසින් සිදු කරන ලද විශ්ලේෂණයන්හිදී ද එය උපුටා දක්වා තිබිණි.

දින 12ක් පුරා පැවති යුද්ධය ආරම්භ වීමට දින හතරකට පෙර එනම්, එයාර්බස් චන්ද්‍රිකාවක් මගින් 2025 ජූනි 9 වන දින ලබා ගත් මෙම ඡායාරූපයෙන් පෙන්නුම් කෙරෙන්නේ නිල් පැහැති සිලින්ඩරාකාර බහාලුම් 18ක් රැගෙන යන විශාල ට්‍රක් රථයක් ඉස්ෆහාන් උමං සංකීර්ණයේ දකුණු දොරටුව අසල නවතා ඇති බව‍ ය. ඇතැම් විශ්ලේෂකයින් විශ්වාස කරන්නේ, සියයට 60 මට්ටමට බලගන්වන ලද යුරේනියම් ගබඩා කරන සම්මත ක්‍රමය වන 'යුරේනියම් හෙක්සාෆ්ලෝරයිඩ්' බහාලූ සිලින්ඩර ප්‍රවාහනය කිරීම සඳහා මෙම බහාලුම් භාවිත කර ඇති බවට ය.

මෙම ඡායාරූපයේ ඇති වැදගත්කම රැඳී තිබෙන්නේ එම ට්‍රක් රථයට ප්‍රවාහනය කළ හැකි උපරිම ධාරිතාව මතය. තාක්ෂණික තක්සේරු මගින් යෝජනා කෙරෙන්නේ එවැනි ට්‍රක් රථයකින් ඉරානය සතු සියයට 60 මට්ටමට බලගන්වන ලද යුරේනියම් තොගයෙන් සැලකිය යුතු කොටසක් ප්‍රවාහනය කිරීමේ හැකියාව පවතින බව ය. අදාළ චන්ද්‍රිකා ඡායාරූපය ඇගයීමට ලක් කරමින් පරමාණුක විද්‍යාඥයින්ගේ පුවත්පත ඇස්තමේන්තු කර තිබුණේ, එම ට්‍රක් රථයේ භාණ්ඩ ධාරිතාව බලගන්වන ලද යුරේනියම් කිලෝග්‍රෑම් 540ක් දක්වා විය හැකි බව ය. මෙය ඉරානය විසින් ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය වෙත වාර්තා කරනු ලැබ තිබූ සමස්ත සියයට 60ක බලගන්වන ලද යුරේනියම් ප්‍රමාණයටත් වඩා වැඩි අගයකි.

කෙසේ වෙතත්, විශේෂඥයන් අවධාරණය කරන්නේ චන්ද්‍රිකා ඡායාරූප පමණක් උපයෝගී කරගනිමින් එම බහාලුම් තුළ තිබූ ද්‍රව්‍ය මොනවා දැයි ස්ථිර වශයෙන් ප්‍රකාශ කළ නොහැකි බව ය. එමෙන් ම එම ට්‍රක් රථය සැබවින් ම බලගන්වන ලද යුරේනියම් ප්‍රවාහනය කරමින් තිබූ බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය ද කිසිදු අවස්ථාවක ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර නැත.

නමුත් මෙම ඡායාරූපය වෙනත් සාක්ෂි සමග සංසන්දනය කිරීමේදී එහි වැදගත්කම බෙහෙවින් ඉහළ යයි. ඉන් වඩාත් ම කැපී පෙනෙන කරුණ වූයේ, උමං මාර්ගවල දොරටු වසා දමා ඇති බවට පළවූ වාර්තා වේ. විද්‍යා හා ජාත්‍යන්තර ආරක්ෂාව පිළිබඳ ආයතනය 2026 පෙබරවාරි මාසයේදී වාර්තා කළේ, ඉස්ෆහාන් උමං සංකීර්ණයට ඇතුළු වන දොරටු තුනක් පස් දමා සම්පූර්ණයෙන් ම වසා දමා ඇති බවයි. එමෙන් ම එම දොරටු ඉදිරිපිට අලුතින් මාර්ග බාධක ඉදිකර ඇති බව ද එම ආයතනය අප්‍රේල් මාසයේදී වාර්තා කළේ ය. ඇතැම් විශ්ලේෂකයින් විශ්වාස කරන්නේ, මෙම පියවර මගින් පෙන්නුම් කරන්නේ, එහි තිබූ ද්‍රව්‍ය සම්පූර්ණයෙන් ඉවත් කිරීමකට වඩා, එම සංකීර්ණය ආරක්ෂා කිරීමට සහ ඊට ඇතුළු වීම දුෂ්කර කිරීමට ගත් උත්සහයක් බව ය.

Isfahan

'නොදන්නා ස්ථානයක්'

දින 12ක් පුරා පැවැති යුද්ධය අවසානයේදී නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත, ඇමෙරිකානු ආරක්ෂක බුද්ධි ඒජන්සියේ මූලික හා රහස්‍ය වාර්තාවක් උපුටා දක්වමින් මෙලෙස සඳහන් කළේ ය: "ප්‍රහාර එල්ල වීමට පෙර ඉරානයේ බලගන්වන ලද යුරේනියම් තොගයෙන් විශාල කොටසක් වෙනත් ස්ථාන කරා ගෙන ගොස් තිබූ අතර, මෙම ප්‍රහාරවලින් විනාශ වී ඇත්තේ න්‍යෂ්ටික ද්‍රව්‍යවලින් ඉතා සුළු කොටසක් පමණි. ඉරානය මෙම ද්‍රව්‍යවලින් කොටසක් රහසිගත ස්ථාන වෙත ගෙන යන්නට ඇත."

එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කළේ, විශාල න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත ප්‍රහාරයක් එල්ල වුවහොත් සිය න්‍යෂ්ටික වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා "ඉරාන රජය කුඩා පරිමාණයේ රහසිගත බලගැන්වූ යුරේනියම් මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගොස් ඇත," යනුවෙන් ඇතැම් ඊශ්‍රායල බලධාරීන් ද විශ්වාස කරන බව ය.

ස්වාධීනව තහවුරු කළ නොහැකි තවත් ඉඟියක් වන්නේ, බලගන්වන ලද යුරේනියම් තොගවලට සිදු වූයේ කුමක් ද යන්න පිළිබඳව ඉරාන බලධාරීන් විසින් සිදු කරන ලද ප්‍රකාශ ය. 2025 ජූනි මාසයේදී ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය වෙත ලිපියක් යොමු කරමින් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පැවසුවේ, "න්‍යෂ්ටික උපකරණ සහ ද්‍රව්‍ය ආරක්ෂා කිරීම සඳහා ඉරානය විශේෂ පියවර ගන්නා" බව ය. ඉන් සති කිහිපයකට පසු ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට අදහස් දක්වමින් ඔහු පැවසුවේ, අදාළ යුරේනියම් තොගවල නිවැරදි තත්ත්වය පිළිබඳව තමා "ඇත්ත වශයෙන් ම නොදන්නා" බව සහ ඊට හේතුව වන්නේ "ඒවා තිබුණේ බෝම්බ ප්‍රහාරයට ලක්වූ ස්ථානවල" වීම ය.

ඉන් පසුව ගතවූ මාස කිහිපය තුළ ඉරාන බලධාරීන් නිරන්තරයෙන් ම අවධාරණය කළේ, මෙම ද්‍රව්‍ය සුන්බුන් අතර වැළලී ඇති බව ය. 2025 සැප්තැම්බර් මාසයේදී අරග්චි ප්‍රකාශ කළේ, "අපගේ යුරේනියම් පවතින්නේ බෝම්බ ප්‍රහාරයට ලක්වූ න්‍යෂ්ටික මධ්‍යස්ථානවල සුන්බුන් යට" බව ය. 2026 මාර්තු මාසයේදී ඔහු CBS පුවත් සේවයට පැවසුවේ, එම ද්‍රව්‍ය ගොඩගැනීමේ කිසිදු සැලසුමක් ඉරානයට දැනට නොමැති බව ය.

අනෙක් අතට මෙම යුරේනියම් තොග ඉරානයෙන් පිටතට රැගෙන යාමට තමන් විරුද්ධ වන බව ඉස්ලාමීය ජනරජයේ බලධාරීන් ප්‍රකාශ කර ඇත. 2026 අප්‍රේල් මාසයේදී විදේශ අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක එස්මයිල් බගායි කියා සිටියේ කිසිදු තත්ත්වයක් යටතේ ඉරානයේ බලගැන්වූ යුරේනියම් වෙනත් කිසිදු ස්ථානයකට මාරු නොකරන බව ය. ඉහළ මට්ටමකට බලගන්වන ලද යුරේනියම් ඉරානයෙන් අපනයනය නොකරන ලෙස එරට ඉහළ ම නායකයා නියෝග කර ඇති බව ඉරානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනකු උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය 2026 මැයි මාසයේදී වාර්තා කළේ ය.

පසුගිය වසරේ ගිම්හාන සමයේදී ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත බෝම්බ ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව, ඇමෙරිකානු බලධාරීන් මේ පිළිබඳව විවිධ ප්‍රකාශ නිකුත් කර තිබේ. දින 12ක් පුරා පැවැති යුද්ධය අවසන් වූ සැණින් ඔවුන් අවධාරණය කළේ, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන "සම්පූර්ණයෙන් ම විනාශ කළ" බව ය. නමුත් ඇමෙරිකාව එල්ල කළ ප්‍රහාරවලට පෙර ඉරානය සිය බලගන්වන ලද යුරේනියම් තොගයෙන් වැඩි කොටසක් වෙනත් ස්ථාන කරා ගෙනයාමට සමත් වූ බවට ස්ථිර සාක්ෂි ඔවුන් සතුව නොමැති බව ද පැවසූහ.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ, න්‍යෂ්ටික ද්‍රව්‍ය බොහෝ විට ඉලක්ක කරන ලද මධ්‍යස්ථානවල ඇති පාෂාණ, කොන්ක්‍රීට් සහ වානේ ස්ථරවලට යටින් වළ දමා ඇති බව ය. ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ද කියා සිටියේ, ප්‍රහාරයට පෙර මහා පරිමාණයෙන් ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට කිසිදු සලකුණක් නොමැති බව ය.

අද මෙම බලගන්වන ලද යුරේනියම් තොගවලට සිදු වූයේ කුමක් ද යන්න ටෙහෙරානය සහ වොෂින්ටනය අතර පවතින ප්‍රධානතම මතභේදාත්මක කරුණක් බවට පත්ව තිබේ.

තෙවැනි කතාව: 'කලාන්ග් කන්ද'

ඉරානය

ප්‍රධාන පුවත් ද්විත්වයට අමතරව තවත් තෙවැනි මතයක් ද කරළියට පැමිණ තිබේ. එනම් ඊශ්‍රායල නිලධාරීන් 'නිව් යෝර්ක් ටයිම්ස්' පුවත්පතට ප්‍රකාශ කර ඇති අන්දමට ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට අයත් සංචිත හෝ උපකරණවලින් කොටසක්, මෑතකදී ඉදි කෙරුණු, එතරම් ප්‍රසිද්ධියක් නොමැති භූගත මධ්‍යස්ථාන වෙත මාරු කර ඇතැයි යන්න ය.

මෙහිදී වඩාත් ම අවධානයට ලක්ව ඇති නම වන්නේ 'Pickaxe Mountain' ආශ්‍රිත සංකීර්ණයයි. 'වොෂින්ටන් පෝස්ට්' පුවත්පතට අනුව, නටාන්ස් ආසන්නයේ පිහිටි මෙම මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු 2020 වසරේදී ආරම්භ කර ඇති අතර දින 12ක් පුරා පැවති යුද්ධයෙන් පසුව එහි ඉදිකිරීම් වේගවත් වී තිබේ. චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂණය කරමින් පසුගිය සැප්තැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කෙරුණු එම වාර්තාව පෙන්වා දෙන්නේ, අදාළ කන්ද තුළට විහිදෙන උමං මාර්ග ඉදිකර ඇති බව ය. එමෙන් ම ශක්තිමත් කරන ලද පිවිසුම් දොරටු, පුළුල් කළ කැණීම් කටයුතු සහ ආරක්ෂක යටිතල පහසුකම් ස්ථාපනය කිරීමේ සලකුණු ද එහි දක්නට ලැබෙන බව එම වාර්තාව සඳහන් කරයි.

PBS පුවත් සේවය 2025 දෙසැම්බර් මාසයේදී වාර්තා කළේ, නටාන්ස් අසල පිහිටි 'Koh Kalang' සංකීර්ණය ද ඉරානයේ එතරම් ප්‍රසිද්ධ නොවන භූගත ව්‍යාපෘතිවලින් එකක් බව ය. එහි 2020 වසරේ සිට ගැඹුරු උමං මාර්ග සහ ආරක්ෂිත යටිතල පහසුකම් ගොඩනගා ඇත. ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ පරීක්ෂකවරුන් කිසි දිනෙක මෙම ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවල නිරත වී නොමැති අතර, යුද්ධයෙන් පසුව ඇතැම් මධ්‍යස්ථාන පරීක්ෂා කිරීමට ඉරානය අවසර දී නොමැති බව ද එම වාර්තාව පවසයි. PBS පුවත් සේවයට අනුව ඉරාන නිලධාරීන් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ මෙම සංකීර්ණයේ අරමුණ සෙන්ට්‍රිෆියුජ් උපකරණ එකලස් කිරීම සහ ඒවා ආරක්ෂා කිරීම සඳහා භූගත පහසුකම් සැලසීම මිස බලගන්වන ලද යුරේනියම් තොග ගබඩා කිරීම නොවන බව ය.

උපායමාර්ගික සහ ජාත්‍යන්තර අධ්‍යයන කේන්ද්‍රය ද 2025 ඔක්තෝබර් මාසයේදී වාර්තා කළේ උමං මාර්ගවල පවතින අධික ගැඹුර, ශක්තිමත් කළ පිවිසුම් ද්වාර සහ දියුණු ආරක්ෂක පද්ධති හේතුවෙන් මෙම Koh-e-Kalang සංකීර්ණය අනාගතයේදී සංවේදී න්‍යෂ්ටික කටයුතු සඳහා භාවිත කළ හැකි බවයි. එය න්‍යෂ්ටික උපකරණ හෝ ද්‍රව්‍ය ආරක්ෂා කර තැබීමට වඩාත් සුදුසු ස්ථානයක් බව ද ඔවුහු පවසති. කෙසේ වෙතත්, මෙම තක්සේරු කිරීම් ප්‍රධාන වශයෙන් පදනම් වී ඇත්තේ චන්ද්‍රිකා ඡායාරූප සහ බුද්ධි අංශ විශ්ලේෂණයන් මත පමණක් වන අතර ඉරානයේ 60%ක් දක්වා බලගන්වන ලද යුරේනියම් මෙම ස්ථානයට මාරු කර ඇති බව හෝ එහි ගබඩා කර ඇති බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ නිල වාර්තා මෙතෙක් සනාථ කර නොමැත.

සිය යුරේනියම් සංචිත පිළිබඳව ඉරානය පවසා ඇත්තේ කුමක් ද?

2025 ජූනි 13

"න්‍යෂ්ටික උපකරණ සහ ද්‍රව්‍ය ආරක්ෂා කිරීම සඳහා ඉරානය විශේෂ පියවර" ගන්නා බව අබ්බාස් අරග්චි ලිපියක් මගින් ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය වෙත දැනුම් දුන්නේ ය. ඊට ප්‍රතිචාර දක්වමින් එම ඒජන්සියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ, ආරක්ෂිත කලාපයක පවතින කිසියම් න්‍යෂ්ටික ද්‍රව්‍යයක් ඉරානය තුළ වෙනත් ස්ථානයකට මාරු කරන්නේ නම් ඒ පිළිබඳව අනිවාර්යයෙන් එම ඒජන්සිය දැනුවත් කළ යුතු බව ය.

2025 අගෝස්තු 02

ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඉරානය සතුව තවමත් 60%ක් දක්වා බලගන්වන ලද යුරේනියම් සංචිත පවතින්නේදැයි විමසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අබ්බාස් අරග්චි කියා සිටියේ "මම ඒ ගැන දන්නේ නැහැ" යනුවෙනි. "ඇත්තට ම මම ඒ ගැන දන්නේ නැහැ, මොකද ඒ ද්‍රව්‍ය තිබුණු ස්ථානවලට බෝම්බ ප්‍රහාර එල්ල වුණා," යනුවෙන් ඔහු අනතුරුව ප්‍රකාශ කළේ ය. ප්‍රහාරයට ලක්වූ මධ්‍යස්ථාන තුළ එම ද්‍රව්‍ය තිබූ බව තමන් දන්නා නමුත්, මේ වන විට ඉරාන පරමාණුක බලශක්ති සංවිධානය ඒ පිළිබඳව තක්සේරු කරමින් සිටින බව ඔහු පැවසීය.

2025 සැප්තැම්බර් 11

රූපවාහිනී නාලිකාවක් ඔස්සේ අදහස් දක්වමින් අබ්බාස් අරග්චි පැවසුවේ, "අපේ යුරේනියම් සංචිත තියෙන්නේ බෝම්බ ප්‍රහාරවලට ලක්වුණු න්‍යෂ්ටික මධ්‍යස්ථානවල නටබුන්වලට යටවෙලයි." එම ද්‍රව්‍ය නැවත ලබාගත හැකි මට්ටමක පවතින්නේ ද යන්න පිළිබඳව පරමාණුක බලශක්ති සංවිධානය මේ වන විට පරීක්ෂා කරමින් සිටින අතර ප්‍රතිඵලය උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය වෙත දැනුම් දෙන බව ද ඔහු සඳහන් කළේ ය.

2025 සැප්තැම්බර් 12

බලගන්වන ලද න්‍යෂ්ටික ද්‍රව්‍ය පවතින ස්ථානය ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය වෙත වාර්තා කළ යුතු දැයි රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අබ්බාස් අරග්චි කියා සිටියේ, එම කරුණ ඒජන්සිය වෙත වාර්තා කරන්නේ "කවදා ද සහ කෙසේ ද" යන්න උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය විසින් තීරණය කරනු ඇති බව ය. "නමුත් එය නුදුරේදී ම සිදු වෙන්නේ නැහැ" යනුවෙන් ද ඔහු පැවසීය.

2026 පෙබරවාරි 15

ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය මජිඩ් තක්ත් රවන්චි, බීබීසී ලෝක සේවයට ප්‍රකාශ කළේ, වොෂින්ටනය පනවා ඇති සම්බාධක ඉවත් කිරීමට සූදානම් නම් ඉරානය සතු කිලෝග්‍රෑම් 400කට ආසන්න බලගන්වන ලද යුරේනියම් සංචිත සීමා කිරීම ඇතුළු තමන්ගේ න්‍යෂ්ටික වැඩසටහනේ සීමා පිළිබඳව සාකච්ඡා කිරීමට ටෙහෙරානය සූදානම් බව ය. කෙසේ වෙතත්, යුරේනියම් බලගැන්වීම ඉහළ නැංවීම "සම්පූර්ණයෙන් ම නතර කිරීම" පිළිබඳව සාකච්ඡා කිරීමට ඉරානය සූදානම් නොමැති බව ඔහු අවධාරණය කළේ ය.

2026 අප්‍රේල් 17

ඉරානය සතු යුරේනියම් සංචිත විදේශ රටකට මාරු කිරීමට එකඟ වී ඇති බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කළ විදේශ අමාත්‍යංශ ප්‍රකාශක එස්මයිල් බගායි පැවසුවේ "ඉරානයේ තිබෙන පස් අපට කොයිතරම් පූජනීයයි ද, අප සතු යුරේනියම් සංචිතත් අපට ඒ හා සමානව ම පූජනීයයි" යනුවෙනි.

2026 මැයි 21

ඉරාන‍යේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ, බලගන්වන ලද යුරේනියම් ඉරානයෙන් පිටතට අපනයනය නොකරන ලෙස ඉරාන නායකයා නියෝග කර ඇති බව ය. රොයිටර්ස් සඳහන් කළේ, මෙම සංචිත විදේශගත කිරීම මගින් ඉදිරියේදී එල්ල විය හැකි ප්‍රහාර හමුවේ ඉරානය වඩාත් අවදානමට ලක්විය හැකි බව ඉරාන නිලධාරීන් විශ්වාස කරන බවයි.

2026 මැයි 25

විදේශ අමාත්‍යංශ ප්‍රකාශක එස්මයිල් බගායි පැවසුවේ, ඉරානය මේ මොහොතේ සාකච්ඡා පවත්වමින් සිටින්නේ පවතින යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් මිස න්‍යෂ්ටික ගැටලු පිළිබඳව නොවන බව ය.