කඳුළු විලක තනිව දරුවන් සොයන අම්මාවරු

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මවගේ රුධිරයෙන් ජීවය ලැබෙන ලෝකයේ අම්මාවරුන්ගේ දිනය අදට (මැයි14) යෙදී තිබේ.
සෑම වසරකම මැයි මාසයේ දෙවන ඉරිදා දිනය අම්මාවරුන්ගේ දිනය ලෙස සැමරෙන අතර ඇතැම් රටවල මව්වරුන්ගේ ඉරිදා ලෙස එම දිනය හඳුන්වයි.
දරු සෙනෙහස මහමෙරක් දරාගෙන තමන්ගෙන් උඳුරා ගත් දරුවන් යළි එනතුරු බලාසිටින අම්මාවරුන් කිහිප දෙනෙකු බීබීසී සිංහල සේවයට හමුවිය.
මුලතිව් හි සුදාහරන් දේවානි මාතාව 13 වසරක් තිස්සේ බලා සිටින්නේ ඇගෙන් උඳුරාගත් පුතු නැවත එනතුරු ය.
පුතාගේ අතුරුදහන්වීමෙන්ද, සැමියාගේ මරණයෙන්ද පසු ඇයගේ තනියට ගෙදර ඉන්නේ විශේෂ අවශ්‍යතා සහිත දුව පමණකි.
කුලී වැඩ කරමින් දියණියද ජීවත් කරවන්නට වීරිය දරන ඈ වියපත්ය, දුප්පත්ය. සකල ජීවන පීඩා මැද්දේ වුවද එදා සිට අද දක්වාම සටන් වැද සිටින ඇය තම පුත්‍රයා ඉන්නා තැනක් සොයා ගත හැකිවේය යන මහත්වූ අධිෂ්ඨානය අතහැර නැත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
“ළමයි දුන්නේ නැතත් කමක් නෑ. ඉන්නවාද, නැද්ද කියලාවත් කියන්න කිව්වා, ඒත් කවුරු හරි උත්තරයක් දෙන්නේ නෑ අපේ ළමයි ගැන. අපේ ළමයි හිටිය නම්, මොනවා හරි එකක් කරලා අපිට කන්න දෙයි. ඒ නිසා අපි විඳින දුක ආණ්ඩුව දන්නවද, දන්නැද්ද කියලවත් අපි දන්නේ නෑ.” දේවනි අම්මා බිබිසි සිංහල සේවය කියා සිටියාය.
යුද මාරයාගේ ගොදුරු බවට පත්වූ දෙමළ අම්මාවරුන්ට පමණක් නොව දකුණේ ඇති වු කැරළිවලින් ද අම්මාවරුවන් සිය දහස් ගණනකට තම දරුවන් අහිමි විය.
උතුරේත්, දකුණේත් ඒ අම්මාවරු බලා සිටින්නේ තම ලේ කිරට හරවා, ලොකු මහත් කළ පසු තමන්ගෙන් උඳුරාගත් දරුවන් නැවත පැමිනෙණතුරු ය.
“අපිටත් දැන් වයසයි, අද මැරෙයි ද හෙට මැරෙයි ද කියලා දන්නේ නෑ. අපි මැරුනොත් ඒ ළමයි හොයන්න කෙනෙකුත් නෑ. ළමයා ගැන හිතලාම පිස්සු හැදිලා තමයි තියෙන්නේ.” සුදාහරන් දේවානි මාතාව පැවසීය.
ඇය පැවසු ආකාරයට තම දරුවන් සොයමින් වසර ගණනක් තිස්සේ සටන් වඳින උතුරේ මව්වරුන් ගණනාවක් දරුවන් ගැන හරිහැටි තොරතුරක් දැනගැනීමට නැතිව මානසික පීඩාවට පත්ව සිටිති.
උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදන් කිරීමට ලක් වූවන්ගේ ඥාතීන් ආරම්භ කළ අරගලයට මැයි 14 වැනිදාට දින 2275 ක් සම්පුර්ණ වන අතර ඒ අරගලයේ නිරත බහුතරය මව්වරුන් ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
‘මැරෙන්න කලින් මගේ දරුවාගේ මුණ බලාගන්න තිබුණා නම් ඇති’
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
රත්නපුරයට නුදුරු ප්‍රදේශයක තේ වත්තක සේවයක කරමින් සිටින වයලට් තම කිරි කැටි දරුවා පිටරටට දී ඇත්තේ එවක දී දරුවා රැක බලා ගැනීමට හා සමාජයෙන් එල්ලවන දොස්වලට මුහුණ දීමට ඇයට ශක්තියක් නොමැති වු නිසාවෙනි.
වයලට් යන අන්වර්ථ නාමයෙන් අප ඇයව හඳුන්වනු ලබන්නේ ඇගේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීමට අවශ්‍යය බැවින් ය.
“එතකොට මට වයස අවුරුදු 20 ක් 22 ක් විතර ඇති ගෑණු දරුවෙක් මට ඉපදුනේ මම එයාට නම තිබ්බේ සමන්මලී කියලා. ඒ දරුවා හදාගන්නවාට අපේ ගෙදර අය පොඩ්ඩක්වත් කැමති වුණේ නෑ. මගේ දුව හම්බ වෙලා ටික දවසකින් අපේ තාත්තා තමයි කවුද ගෑණු කෙනෙක් ගෙනල්ලා කිව්වේ මේ නෝනාට දරුවා දෙන්න, දරුවාව සුදු නෝනා කෙනෙක්ට දීලා පිටරට යවනවා කියලා.දරුවාගේ අනගාතය ගැන හිතලා මම දරුවාව දුන්නා.”
වියපත්ව, ඔත්පල වී සිටින වයලට් මාතාව පවසන පරිදි පිටරටට හදාවඩා ගැනීමට දුන් ඇගේ දියණියගේ දැන් වයස අවුරුදු 30 ක් ඉක්මවා ඇත.
දරුවා ඇගෙන් රැගෙන යද්දි වසරකට වරක් හෝ දරුවා ඇයට පෙන්වන බව පොරොන්දු වී ඇතත් දරුවා දුන් පසුව නැවත ඇයට දරුවා ගැන කිසිඳු විස්තරයක් දැනගන්නට ලැබී නැත.
“තාත්තා මැරෙනකම්ම දරුවා දුන්න ගෑණු කෙනා ගැන මම ඇහුවා ඒත් මට මුකුත් කිව්වේ නෑ. මට මුකුත් ඕනේ නෑ මැරෙන්න කලින් මගේ දරුවාගේ මුණ බලාගන්න තිබුණා නම් ඇති.”
වයලට් මෙන්ම මෙරට බොහෝ අම්මාවරු තම දරුවන් හදාවඩා ගැනීමට විදේශිකයින්ට දී තිබේ.
පිටරටට දුන් දරුවන් සොයන අම්මලා ගැන මෙන්ම පිටරට සිට පැමිණ අම්මලා සොයන දරුවන් ගැන ද නිරතුරුව ඔබට අහන්න ලැබෙන්නේ එම නිසාය.
දේවානි සහ වයලට් මාතාව මෙන්ම තම දරුවන් සොයා වැලපෙන අම්මලා දහස් ගණනක් මව්වරුන්ගේ දවසේත් බලා සිටිනුයේ තමන්ට අහිමි වු ආදරණීය දරුවා තමන් වෙත පැමිණෙනු ඇතැයි කියාය.
“කඳුළු දෝරින් කල්වාරි කඳු දොවාලූ අම්මා
නොඑන පුතු ගැන අදත් තනිවී අඬනවා අම්මා
නොඑන පුතු ගැන මග බලාගෙන අඬනවා අම්මා”
ඒ, මහමෙරක් දරු සෙනෙහස සිතේ තදකරන් තම දරුවන් එනතුරු මග බලා සිටින දහසකුත් වු අම්මාවරුන් ගැන පොඩිරත්න අඟමලේ රචනා කර ප්‍රේම් රංජිත් විජේවික්‍රම ගේ සංගීතය මුසු කොට විශාරද ජයතිලක බණ්ඩාර ගායනා කරන ගීයක පද පෙලකි.
































