එවරස්ට්: 'මරණීය කලාපයේ දී' ෂර්පාවරයෙකු සිදුකළ දුලබ ගලවාගැනීමේ මෙහෙයුමක්

Published

නේපාලි ජාතික මඟපෙන්වන්නෙකු වන ගෙල්ජි ෂර්පාවරයාට, කඹයක් තදින් අල්ලාගෙන වෙව්ලමින් සිටි මැලේසියානු ජාතිකයෙකු හමුවූයේ එවරස්ට් කන්දේ 'මරණීය කලාපය' ලෙස හැඳින්වෙන, උෂ්ණත්වය -30C බැසීමට හැකි අඩවියේ දී ය.

ඔහු එම කඳු නගින්නා ඔසවාගෙන, මුහුදු මට්ටමෙන් මීටර 8500ක ඉහළක සිට ඊළඟ පැය හය පුරා පහළට බැසීමෙහි යෙදුනි.

නේපාල සංචාරක බලධාරියෙකු වන බිග්යාන් කොයිරාළ පැවසුවේ, "එම උන්නතාංශයේ දී කඳු නගින්නන්ව ගලවා ගන්න එක කරන්න බැරි විදියේ වැඩක්" යනුවෙනි. එය "ඉතා දුලබ මෙහෙයුමක්" බව ඔහු පැවසීය.