ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කොවිඩ් 19: පූසටත් 'මාස්ක්' දාන්න වේවිද?
කොවිඩ් 19 රෝගය මිනිසාගෙන් බළලුන්ට බෝවී ඇති බවට සැලකිය හැකි ආසාදනයන් දෙකක් ස්කොට් ජාතික විද්‍යාඥයන් පිරිසක් විසින් හඳුනාගනු ලැබ ඇත.
කොරෝනාවෛරසය ආසාදනය වූ බළලුන් දෙදෙනෙකු පිළිබඳව පර්යේෂණ සිදු කළ ග්ලාස්ගොව් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් කියා සිටියේ එම බළලුන් දෙදෙනාටම රෝගය වැළඳී ඇත්තේ එකී සුරතුලුන්ගේ අයිතිකරුවන්ට කොවිඩ් 19 වැළඳීමෙන් අනතුරුව බවය.
එම බළලුන් දෙදෙනා වර්ග දෙකකට අයත් වන අතර නිවාස දෙකක ජීවත් වෙති.
ඉන් එක් බළලෙකුට මතුවී ඇත්තේ සුළු රෝග ලක්ෂණ පමණි. නමුත් අනෙක් බළලා අසාධ්‍ය තත්ත්වයකට පත් වීමෙන් අනතුරුව ජීවිතය නිමා කර ඇත.
මේ අනුව දැන් විද්‍යාඥයන්ට අවශ්‍ය වී ඇත්තේ සුරතල් සතුන් හරහා මිනිසුන්ට කොවිඩ් 19 වැළඳීමට ඇති හැකියාව පිළිබඳව දැනුම වර්ධනය කර ගැනීමට ය.
ආසාදිත බළලුන් දෙදෙනා සොයා ගෙන ඇත්තේ එක්සත් රාජධානිය පුරා ගෘහාශ්‍රිත බළලුන් පිළිබඳව සිදු කෙරුණු පර්යේෂණ මෙහෙයුමක ප්‍රතිඵලයක් වශයෙනි.
මෙම බළලුන් දෙදෙනා රෝගී වීමට පෙර අයිතිකරුවන්ට කොවිඩ් වැළඳී තිබුණි. එබැවින් අයිතිකරුවන්ගෙන් මෙම බළලුන්ට එම රෝගය බෝවන්නට ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති.
මෙම අධ්‍යයනය පිළිබඳ විස්තර පශුවෛද්‍ය වාර්තාවල පළ කර තිබේ. එහි සඳහන් වන්නේ බලලුන්ගෙන් මිනිසාට කොවිඩ් 19 ව්‍යාප්ත වන බවට සහතිකවම කිව හැකි සාධක තවමත් සොයාගෙන නොමැති බවය.
එමෙන්ම මිනිසුන් අතර මෙම වසංගතය පැතිර යාම සඳහා බල්ලන්, බළලුන් හෝ වෙනත් සුරතල් සතුන් ප්‍රධාන සාධකයක් වී ඇති බවට තවමත් සනාථ වී නොමැති බවද එම වාර්තාවේ සඳහන් වේ.
නමුත් මෙම රෝගය දිගටම ව්‍යාප්ත වීම සඳහා ඉඩකඩ සැලසිය හැකි, වෛරස දරා සිටින්නන් බවට මෙම සුරතල් සතුන් පත්වීමේ ඉඩකඩක් පැවතිය හැකි බව විද්‍යාඥයෝ පවසති.
එබැවින් මෙම රෝගය ව්‍යාප්තවීමේ දී මිනිස් ඇසුරේ සිටින සතුන් ප්‍රධාන සාධකයක් වේද යන්න පිළිබඳව පර්යේෂණ පැවැත්වීම ඉතා වැදගත් බව ඔවුන්ගේ අදහසයි.
'සාපේක්ෂව අඩු අවදානමක්'
"මිනිසාගෙන් සතුන්ට රෝගය බෝවී ඇති බවට සැලකිය හැකි මෙම ආසාදන අවස්ථා දෙක හමුවුණේ, එක්සත් රාජධානියේ ගෘහාශ්‍රිත බළලුන් පිළිබඳව කළ පර්යේෂණයකින්. එයින් පෙනී යනවා සතුන් අතර පවතින කොවිඩ් ආසාදනය පිළිබඳවත් දැනුම වර්ධනය කර ගැනීම කෙතරම් වැදගත් ද කියල." ග්ලාස්ගොව් විශ්ව විද්‍යාලයේ වෛරස පිළිබඳ පර්යේෂණ අංශයේ මහාචාර්ය මාගරට් හොසී පැවසුවාය.
"දැනට පවතින සාධක අනුව නම් පෙනී යන්නේ සතුන්ගෙන් මිනිසුන්ට මෙම රෝගය බෝවන්නට පවතින්නේ සාපේක්ෂව අඩු අවදානමක් බවයි. නමුත් මහජන සෞඛ්‍යය සැලකිල්ලට ගත්තම මිනිසාගෙන් - මිනිසාට කොවිඩ් 19 වැළඳීමේ අවදානම ඉතා ඉහළයි."
"කෙසේ නමුත්, මිනිසුන් අතර මෙම රෝගය අඩු වීමක් සිදුවුවත් සතුන් අතර එය ව්‍යාප්ත වීම පිළිබඳව සොයා බැලීම ඉතා වැදගත් වන්නේ නැවතත් එය මිනිසුන් අතරට රැගෙන ඒමට එය හේතුවක් විය හැකි නිසයි. ඒ නිසයි මේ පිළිබඳව තවදුරටත් විමර්ශනය කොට අපගේ දැනුම වර්ධනය කර ගැනීම වැදගත් වෙන්නේ." ඇය තවදුරටත් පැවසුවාය
මෙම අධ්‍යයනය සිදුකර ඇත්තේ ග්ලාස්ගොව් විශ්ව විද්‍යාලයේ පශුවෛද්‍ය පීඨයේ පවත්වාගෙන යන පශු රෝග විනිශ්චය සේවාවේ පර්යේෂකයන්ගේ ද සහභාගිත්වය ඇතිවය.
ඉහත කී එක් බළලෙකු ශ්වසන අපහසුතා පෙන්නුම් කර ඇත්තේ 2020 වසරේ අප්‍රේල් මාසයේ දීය. එම නිවසේ පදිංචිකරුට කොවිඩ් රෝග ලක්ෂණ මතු වී තිබුණේ 2020 මාර්තු මාසයේ අග භාගයේදී ය.
මාස හතරක් වයසැති එම බළල් සුරතලිය අසාධ්‍ය තත්ත්වයකට පත් වූ හෙයින් ජීවිතය නිමා කරන්නට සිදු විය.
පශ්චාත් මරණ පරීක්ෂණයේ දී ලබාගත් පෙනහළු නියැදි වලින් පෙනී ගියේ වෛරස නියුමෝනියාව හේතුවෙන් පෙනහළුවලට හානි සිදු වී ඇති බවය. එමෙන්ම, Sars-CoV-2 වෛරසය ආසාදනය වී තිබුණු බවට ද ඔප්පු විය.
සුළු රෝග ලක්ෂණ
දෙවනුව හමු වූ ආසාදිත බළලා ගේ වයස අවුරුදු හයකි. එම නිවසේ සාමාජිකයෙකුට ද කොවිඩ් 19 වැළඳී තිබුණි.
මෙම බළලාගේ නාසයෙන් සොටු දියර ගලන්නට විය. සෙම්ප්‍රතිශ්‍යාව සහිත සුළු රෝග ලක්ෂණ පමණක් මතු විය. පශුවෛද්‍යවරයෙකු වෙත ගෙන යාමෙන් අනතුරුව බළලා සුවය ලැබීය.
නමුත් එම බළලාගේ ශ්ලේෂ්මල පරීක්ෂා කිරීමෙන් අනතුරුව තහවුරු වූයේ ඇයට ද කොවිඩ් 19 වැළඳී තිබුණු බවය.
කෙසේ නමුත්, ගෘහාශ්‍රිත සතුන් පරීක්ෂාවට ලක් කිරීම ඉතා සීමිතව සිදුවන හෙයින් මෙය අවස්ථා දෙකක් පමණක් ලෙස අවතක්සේරු කළ නොහැකි බව විද්‍යාඥයෝ විශ්වාස කරති.
මෙම වසංගතය ආරම්භ වූ සමයේ ද ගෘහාශ්‍රිත බළලුන්ට කොවිඩ් 19 ආසාදනය වී තිබුණු අවස්ථා කීපයක් මාධ්‍ය ඔස්සේ වාර්තා වී තිබුණි. හොංකොං, බෙල්ජියම, ඇමරිකා එක්සත් ජනපදය, ප්‍රංශය ආදී රටවලින් ලැබුණු මෙම වාර්තා අනුමාන කර තිබුණේ මිනිස් ඇසුරින් මෙම බළලුන්ට කොවිඩ් 19 අසාදනය වන්නට ඇති බවය.