කැලිෆෝනියාව: වාර්තාගත ගින්නකින් අක්කර මිලියන දෙකක් විනාශ වේ

Published

මෙම වසරේ කැලිෆෝනියානු ප්‍රාන්තය තුළ හටගත් ලැව්ගිනි හේතුවෙන් වාර්තාගත අක්කර ගණනක් විනාශ වී තිබේ. මේ වන විට ද පැතිරෙමින් තිබෙන ගින්න නිවීමට ගිනි නිවන භටයන් විශාල පරිශ්‍රමයක් දරමින් සිටිති.

ප්‍රාන්තයේ වන විද්‍යා හා ගිනි ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ 'කැල් ෆයර්' අංශය පවසන්නේ මේ වන විට අක්කර මිලියන දෙකකට වැඩි ප්‍රමාණයක් ගිනිබත් වී ඇති අතර ගිනි පැතිරුණු ප්‍රදේශය ඩෙලවෙයාර් ප්‍රාන්තයට වඩා විශාල ප්‍රදේශයක් බවය.

කැලිෆෝනියා ප්‍රාන්තයේ දිවි ගෙවන ශ්‍රී ලාංකික ගුරුවරියක වන භාග්‍යා බමුණුආරච්චි බීබීසී සිංහල සේවය සමග සිය අත්දැකීම් බෙදා ගත්තාය.

"මේ දවස්වල දරන්න බැරි තරමේ අධික රස්නයක් තියෙන්නේ. එයා කන්ඩිෂන් නොදා ජීවත් වෙන්නම බැහැ. රස්නය නිසා ගින්න පැතිරීම වැඩි වෙනවා. අපේ ගෙවල් ළඟ තියෙන සමහර ගස් රස්නෙටම පිච්චිලා ගිහින් තියෙන්නේ."

අක්කර 7,000 ක් පුරා පැතිරී ඇති 'එල් ඩොරාඩෝ' ලෙස නම් කර ඇති ගින්න ආරම්භ වී ඇත්තේ පෞද්ගලික සාදයකින් බව බලධාරීහු පවසති.

කැලිෆෝනියානු ප්‍රාන්තයට මේ වන විට වාර්තාගත තාප තරංගයක බලපෑම එල්ල වී තිබේ.

ලොස් ඇන්ජලීස්හි ඉහළම උෂ්ණත්වය සෙල්සියක් අංශක 49.4C ලෙස ඉරිදා (සැප්තැම්බර් 6) වාර්තා විය. අඟහරුවාදා (සැප්තැම්බර් 8) සිට උෂ්ණත්වය පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කළද, එමඟින් තද සුළං ඇති වී ගින්න පැතිරෙනු ඇති බව ජාතික කාලගුණ සේවය අනතුරු අඟවයි.

"උදේ නැගිටිනකොට අපේ වාහන අළුවලින් වැහිලා තිබුණා. ඒ වගේම තමයි අවට පරිසරයේ පවතින දුම නිසා වායු දූෂණය සෑහෙන වැඩියි. හැමෝම එයා කන්ඩිෂනර් දාන නිසා කරන්ට් එක පාවිච්චිය වැඩි වෙලා නිතරම ලයිට් යනවා."

"ගුරුවරියන් විදිහට ළමයින්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යන්නේ බොහොම අපහසුතා මැද. වසංගත තත්වයක් තිබුණත් මිනිස්සු මුහුදු වෙරළවල පිරිලා මේ රස්නය දරා ගන්න බැරුව," භාග්‍යා පැවසුවාය.

ගිනි නිවන භටයින් 14,000 කට වැඩි පිරිසක් ප්‍රාන්තය පුරා පැතිරී ගිය ගිනි ගැනීම් 24ක් සමඟ දිගටම සටන් වදින බව වන විද්‍යා හා ගිනි ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ කැල් ෆයර් අංශය නිවේදනය කළේය.

සිකුරාදා (සැප්තැම්බර් 4) සියෙරා කඳුකරයෙන් ආරම්භ වූ ගින්න 'ක්‍රීක් ෆයර්' ලෙස හැඳින්වෙන අතර, එය මෙතෙක් වාර්තා වී ඇති විශාලතම ගින්නය. ක්‍රීක් ෆයර් අක්කර 78,000 කට වැඩි ප්‍රමාණයක් ගිනිබත් කර ඇති අතර තවමත් එය පාලනය කර නොමැති බව බලධාරීහු පැවසූහ.

ලොස් ඇන්ජලීස් ටයිම්ස් වාර්තා කරන්නේ එම ගින්නෙන් බිග් ක්‍රීක් නගරයේ වාසස්ථාන විශාල ප්‍රමාණයක් විනාශ වී ඇති බවය. සෙනසුරාදා (සැප්තැම්බර් 5) සුප්‍රසිද්ධ මැමත් තටාක ජලාශ ප්‍රදේශයේ ගින්නට කොටු වූ කඳු නගින්නන් දෙසීයකට වැඩි පිරිසක් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක විය.

සැන් ඩියාගෝ ප්‍රදේශයේ පැතිරී යන 'නිම්න ගින්න' අක්කර 10,000 කට වඩා වැඩි ප්‍රමාණයක් ගිනිබත් කර ඇති අතර 'ඇල්පයින්' නගරයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට කටයුතු කර ඇත. මේ අතර, ඇන්ජලීස් ජාතික වනාන්තරයේ ඇති වූ 'බොබ්කැට්' ගින්නෙන් අක්කර 5,000 කට ආසන්න ප්‍රමාණයක් විනාශ වී තිබේ.

"අගෝස්තු මාසයේ දී ලැව් ගිනි පැතිරීම මෙහෙ සාමාන්‍යයෙන් වෙන දෙයක්. හැබැයි මේ පාර වාර්තාගත විදිහට විශාල ප්‍රදේශයක් ගිනිබත් වෙලා. මේ අවුරුද්ද පුරාම කැලිෆෝනියාවලට සෑහෙන ප්‍රශ්නවලට මුහුණ දෙන්න වුණා. දැන් මෙහෙ ජීවත් වෙන එක අපහසු දෙයක් බවට පත් වෙලා," භාග්‍යා පැවසීය.

සැන් බර්නාඩිනෝ ප්‍රාන්තයේ එල් ඩොරාඩෝ ගින්න ආරම්භ වූයේ "දරුවාගේ ස්ත්‍රී පුරුෂ භාවය හෙළි කිරීම සඳහා පැවැත්වූ සාදයකදී භාවිත කළ දුමාර ජනක උපකරණයක්" නිසා යැයි කැල් ෆයර් අංශය චෝදනා කරයි.

ස්ත්‍රී පුරුෂ භාවය හෙළි කරන සාද යනු දෙමව්පියන් අපේක්ෂා කරන්නේ ගැහැණු ළමයෙකු ද නැත්නම් පිරිමි ළමයෙකු ද යන්න නිවේදනය කිරීම සැමරීමය. මෑත වසරවලදී, මෙවැනි විශාල සාද කීපයක අනතුරු සිදු වී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස 2019 දී කාන්තාවක මිය ගියාය.

"වියළි කාලගුණය සහ බරපතල ගිනි කාලගුණයත් සමඟ ලැව් ගින්නක් ඇතිවීමට වැඩි කාලයක් ගත නොවන බව කැල් ෆයර් මහජනතාවට මතක් කර දෙනවා," යැයි ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබිණි.

ගිනි ඇති කරන පුද්ගලයින් "මූල්‍යමය හා සාපරාධී ලෙස වගකිව යුතුයි."

අගෝස්තු 15 සිට මේ දක්වා බොහෝ විට අකුණු සැර වැදීමෙන් ආරම්භ වූ ලැව්ගිනි දහසකට ආසන්න සංඛ්‍යාවක් කැලිෆෝනියාව තුළ වාර්තා වී ඇත.

"කොරෝනාවෛරසය නිසා මිනිස්සුන්ට නිවාඩු ගත කරන්න යන්න ලැබුණේ නැහැ. හැබැයි බොහෝ දෙනෙක් කඳුකර කැලෑ පැතිවල ඇවිදින්න පටන් ගත්තා සිසිලස විඳගන්නත් එක්ක. නමුත් එහෙම ගිය අයත් ගිනිවලට මැදි වුණා," භාග්‍යා තවදුරටත් පැවසුවාය.

මෙම වසරේ මේ වන විටත් අක්කර මිලියන දෙකක් ගිනිබත් වී ඇති අතර, මරණ අටක් සහ ගොඩනැගිලි 3,300 කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති බව කැල් ෆයර් පැවසීය.

ෆ්‍රෙස්නෝ, මැඩෙරා, මාරිපෝසා, සැන් බර්නාඩිනෝ සහ සැන් ඩියාගෝ යන කැලිෆෝනියානු ප්‍රාන්ත පහක හදිසි අවස්ථා නිකුත් කර ඇති අතර, එක් කඳු නගින්නෙකු මිය යාම හේතුවෙන් කඳු නැගීමට නොයන ලෙස බලධාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.

කියවන්න: