ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
"අම්මව මරන්න දෙවතාවක් වෙඩි තැබුවේ මගේ ඇස් ඉදිරිපිට"
"අනේ ඔයා ඇස් පියාගන්න එපා. මට ඉන්නේ ඔයා විතරයි. මගේ ජීවිතය වෙනුවෙන් උදව් වෙන්න වෙන කවුරුවත් නැහැ. ඔයා නැතිව මම මොනවා කරන්නද?"
ශුහ්රා කූෆි බලාපොරොත්තු සුන් වූ තත්ත්වයකට පත් වී සිටියාය. ඒ මොහොතේ ඇයගේ මව වෙඩි ප්‍රහාරයකට ලක්වී සිටියාය. ඒ කාබුල් නුවර බලා මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී ය.
ශුහ්රා ගේ මව ඇෆ්ගනිස්ථානයේ පාර්ලිමේන්තුවට දෙවරක් තේරී පත් වූ මන්ත්‍රීවරියකි.
"මම ඒ වෙලාවේ හොඳටම බය වුණා. මම හිතුව මට මගේ අම්ම අහිමි වුණා කියල. ඒත් මම ඒ වෙලාවේ මාව පාලනය කරගන්න උත්සාහ කළා. මගේ අම්මට මේ වෙලාවේ මගේ පිහිට අවශ්‍ය බව මට තේරුණා." ශුහ්රා පැවසුවාය.
ප්‍රහාර දෙකක්
ෆව්සියා කුෆී, ඇෆ්ගන් මූලධර්මවාදීන්ට එරෙහිව සෘජුව කතා කරන කාන්තාවකි. සාම සාකච්ඡා මේසයේ දී තාලිබාන්වරුන්ට ඇය අභියෝගයක් වූවාය.
නමුත් ඒ වෙනුවෙන් සිය දේශපාලන දිවිය තුළ ඇය ගෙවූ වන්දි බොහෝ ය. 2010 දී ඇය සමඟ ගමන් ගත් රථ පෙළට ප්‍රහාරයක් එල්ල විය. මේ වසරේ අගෝස්තුවේ දී, මග රැක සිටි ඝාතකයෙකුගේ වෙඩි උණ්ඩයකට ද ඇය ගොදුරු වූවාය.
ඇය අසල සිටි බාල ම දියණිය මේ ප්‍රහාර දෙකම සියැසින් දුටුවාය. ශුහ්රා දැන් විසි හැවිරිදි ය.
මෙම ප්‍රහාර එල්ල වූ මොහොතේ තමන්ට දැනුණු හැඟීම ඇය බීබීසී සමග විස්තර කළාය. කෙතරම් භයානක අනතුරක් තමන් හා මව ඉදිරියේ තිබියදීත් ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් සිය මව දිගටම ඒ සටන ගෙන යායුතු බව මේ දියණිය සිතන්නේ මන්ද?
සතුරා අභිමුව
ෆව්සියා සහ ශුහ්රා, පසුගිය අගෝස්තු 14 වැනිදා පර්වාන් සිට කාබුල් නුවර බලා පැමිණෙමින් සිටියහ. පර්වාන් යනු ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරට උතුරින් පිහිටි පළාතකි.
අතරමග වූ හින්දු කෝවිලක සුන්දරත්වය මොවුන්ගේ අවධානයට ලක්විය.
"අම්ම කිව්වා ඒ කෝවිල හරිම ලස්සනයි කියල. රතු සහ කොළ පැහැති විදුලි බුබුළුවලින් මේ කෝවිල සරසල තිබුණ." ශුහ්රා මතකය අවදි කළාය.
යම් සැක සහිත දසුනක් එකිනෙහිම ඔවුන් ඇස ගැටුණි.
"වාහන දෙකක් අපිව ලුහුබඳින බව අපි දැක්ක. අපි දන්නේ නැහැ මේ වාහන දෙක කොහේ ඉඳල මතු වුණාද කියල."
තව මොහොතකින් තමන් වටකර ප්‍රහාරයක් එල්ලවනු ඇතැයි යන බියකරු හැඟීම ශුහ්රා සහ ෆව්සියාට ඇති විය.
"ප්‍රහාරය එල්ල වෙන්න මොහොතකට පෙර කළු පාට කාර් එකක් අපව ඉස්සර කළා. අපේ රියදුරා නලාව ශබ්ද කළා. ඒ වෙලාවේ තමයි අපිට පිටුපසින් වෙඩි සද්දේ ඇහුනේ. එක ඇහුනේ අම්ම වාඩි වෙලා හිටිය පැත්තෙන්. අම්ම වාඩි වෙලා හිටියේ වාහනේ දකුණු පැත්තේ."
වෙඩි ශබ්ද දෙකක් ඇසුණු බව ශුහ්රා ගේ මතකයේ ඇත. පළමු වෙඩිල්ල ඔවුන් සිටි වාහනයට වැදී නැත.
ෆව්සියා සමඟ පසු පස ආසනයේ වාඩි ලා සිටියේ ශුහ්රා ය. තම මවගේ හිස ආවරණය කර ගැනීමට ශුහ්රා උත්සාහ කළාය. අසුන යටට පහත් වන්නැයි ඇය මවට පැවසුවාය.
ඉදිරියෙන් සහ පසුපසින් වාහන දෙකකට මැදිවීම වළක්වා ගැනීම සඳහා ෆව්සියා ගේ රියදුරු තම වාහනයේ වේගය වැඩිකර ඉදිරියට ඇදුණේය. ප්‍රහාරකයා කවුරුන්ද යන වග හඳුනාගැනීමට කිසිවෙකුට ඉඩක් නොලැබිණ.
"අපිට පලා යනවා හැරෙන්නට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. නැත්නම් ඔවුන් තවත් වතාවක් අපට වෙඩි තියනවා."
සැඟවී සිට පහරදීම
තම මව ඉලක්ක කොට ප්‍රහාරයක් එල්ල වනු ශුහ්රා දුටුවේ පළමු වතාවට නොවේ.
ඒ 2010 වසරයි. ඒ වන විටත් ෆව්සියා කූෆි පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකි. එවක ඇෆ්ගන් ජනාධිපතිවරයා වූ හමීඩ් කර්සායි ගේ සමීප ආධාරකාරියකි. ඇය රැගත් රථ පෙළ පිටිසර බද කලාපයක් වූ නන්ගර්හාර් ප්‍රදේශය හරහා ඇදෙමින් තිබුණි. හදිසියේම සැඟවී සිටි පිරිසකගෙන් ප්‍රහාරයක් එල්ල විය.
"ඒ වන විට මගේ වයස අවුරුදු දහයයි. මම වාහනේ පසුපස ආසනේ වාඩි වෙලා හිටියේ. මගේ දෙපැත්තෙන් වාඩි වෙලා හිටියේ අම්මයි අක්කයි." ශුහ්රා විස්තර කරන්නීය.
"මට තාම මතකයි ඒ වෙඩි හඬ. එක දිගටම වෙඩි තියන්න පටන් ගත්තා."
එම ප්‍රහාරයෙන් ෆව්සියාට අනතුරක් සිදු නොවුණි. පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ඇයගේ රථ පෙළ ආරක්‍ෂිත ස්ථානයක් කරා ගෙන යන ලදී. අනතුරුව කාබුල් නුවර බලා ගුවනින් ගෙන යාමට කටයුතු යොදා තිබිණි.
"ඒ වෙලාවේ හැම කෙනාම බිරාන්ත වෙලා හිටියේ. ඒත් අම්මටවත් වෙන කාටවත් කිසිම අනතුරක් නොවීම ගැන අපි සතුටු වුණා. ඒත් මේ වතාව ඊට වඩා වෙනස්."
2010 දී එල්ල කළ ප්‍රහාරයේ වගකීම තාලිබාන් ව්‍යාපාරය භාර ගෙන තිබුණි.
"ඒ වෙලාවේ ඒක දරාගන්න අපිට පුළුවන් වුණා. මොකද, අපි දැනගෙන හිටිය කවුද ඒක කළේ කියල. ඒත් දෙවැනි වතාවේ, ප්‍රහාරය කාගේ වැඩක්ද කියල කවුරුවත් දන්නේ නැහැ. කිසිම කෙනෙක් වගකීම භාර ගෙන නැහැ. ඒ නිසා ලොකු බයක් දැනෙනවා. අපේ පවුලට ඒක දරා ගන්න අමාරුයි."
ප්‍රචණ්ඩත්වයේ ඉතිහාසය
ෆව්සියා වගේම දියණියන් දෙදෙනා ද හැදී වැඩුණේ හතර අත ප්‍රචණ්ඩත්වය දකිමින් ය. ඇතැම් විට පවුලේ සාමාජිකයෙකු ද ඊට ගොදුරු වූවන් අතර සිටියේය.
ශුහ්රාගේ මව් පාර්ශවයේ සීයා ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විය. ඔහු ද ඝාතනයට ලක් විය. එම ඝාතනය සිදු කරන ලද්දේ මුජහිදීන් ව්‍යාපාරය විසිනි.
ශුහ්රාගේ පියා තාලිබාන් කැරලිකරුවන්ගේ සිරකරුවෙකු බවට පත්වීමෙන් පසුව ක්ෂය රෝගය වැළඳී මිය ගියේය. ඒ වන විට ශුහ්රා කුඩා දැරියක් වුවාය.
ෆව්සියා සිය දියණියන් දෙදෙනාම හදා වඩා ගත්තේ දේශපාලන ජීවිතය ද ඉදිරියට ගෙන යන අතරතුර ය.
"මම දිගටම ජීවත් වුණේ පවුලේ කෙනෙක් මට අහිමි වේවි කියල බයෙන්. මම කවදාවත් සාමාන්‍ය ජීවිතයක් අත්විඳලා නැහැ. නමුත් ඒ කිසි දෙයක් නිසා මා වෘත්තිකයෙකු වීමේ සිහිනය නතර වුණේ නැහැ." ශුහ්රා පැවසුවාය.
'මම හිතන්නේ මට තුවාල වෙලා'
පර්වාන් සිට කාබුල් බලා එමින් සිටියදී එල්ල වූ වෙඩි ප්‍රහාරයේ දී, මෙතෙක් කාලයක් හිතේ දරාගෙන සිටි ඒ භීතියට ශුහ්රා ඇත්තටම මුහුණ දුන්නාය.
"වෙඩි තියල තත්පර කීපයයි ගියේ. අම්ම මගේ ඇස් දෙක දිහා එක එල්ලේ බලාගෙන ඉඳල කිව්වා, 'මං හිතන්නේ මට තුවාල වෙලා' කියල. මට කවදාවත් ඒ බැල්ම අමතක වෙන්නේ නැහැ." ශුහ්රා කීවාය.
සිදු වී ඇත්තේ කුමක්දැයි ශුහ්රා තේරුම් ගත්තාය.
නාඳුනන වෙඩික්කාරයාගේ තුවක්කුවෙන් ගිලිහුණු පතුරමක් වාහනයේ පිටුපස තහඩු සිදුර කරගෙන, ආසනය ද පසාරු කරගෙන විත් මවගේ උරපත්තට පහලින් දකුණතට වැදී ඇති බව ශුහ්රා දුටුවාය.
"මට ඒ වෙලාවේ හිතුණා අම්ම මට සදහටම නැති වුණා කියල. මම එක දිගටම කියන්න පටන් ගත්ත 'අනේ අම්මේ ඇස් පියාගන්න එපා, මට කතා කරන්න' කියල. මම උත්සාහ කළා ඇයව අවදියෙන් තබාගන්න."
වෙඩි ප්‍රහාරය තවමත් අවසන් වී නැතැයි යන භීතිය තවමත් ශුහ්රා තුළ පවතී. ඇය කලබල වී හඬන්නට වූවාය.
"මම අම්මගේ ඔලුව පහත් කරගෙන මමත් පහළට නැමුණා. 'ඔලුව උස්සන්න එපා, උන් ආයෙත් වෙඩි තියයි' කියල මම අම්මට කිව්වා."
"ලෙයින් තෙත් විය"
ශුහ්රා තමන් සතුව ඒ මොහොතේ පවතින දෙයින් ප්‍රයෝජන ගත්තාය. ඇය සළු පටින් (scarf) සිය මවගේ අත වෙලන්නට පටන් ගත්තේ රුධිරය ගලා යාම නැවත්වීම සඳහා ය.
මේ වන විට ඇයගේ මව සිටියේ එතරම් යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් නොවේ. ඇය කොරෝනාවෛරසයට ගොදුරු වී සිට සුවය ලැබුවා පමණි. සිරුරේ යකඩ ඌනතාවක් ද පැවතිණි.
"මේ වෙලාවේ අඳුරු වැටිලා තිබුණේ. අම්මගේ තුවාලය මට හරිහැටි පෙනුණේ නැහැ. ඒත් මම ස්කාෆ් එක ගැට ගැහුවා. මගේ අත් දෙකම ලේ වලින් තෙත් වෙලා."
වෙඩි වැදුණු මොහොතේම ෆව්සියාට විශාල ශාරීරික වේදනාවක් දැනෙන බවක් පෙනෙන්නට නොතිබිණ. නමුත් ඇයට අත සෙලවිය නොහැකි විය.
ගතවූයේ නිමේෂයකි. එකවරම මවගේ තුවාලයෙන් දරා ගත නොහැකි මට්ටමේ වේදනාවක් මතු විය.
ජීවිතයේ අවාසනාවන්ත ම මොහොත ළඟා වෙමින් ඇත්දැයි ශුහ්රා බිය වූ හෙයින් ඇයගේ වැඩිමහල් සොහොයුරිය ඇමතිය යුතු බව ඇය සිතුවාය.
"අම්ම ඇරෙන්න අපේ ජීවිතයට වෙන කිසිම කෙනෙක් නැහැ. අම්ම තමයි අපට තියෙන එකම පිහිට." ශුහ්රා පවසන්නීය.
රියැදුරු වේගයෙන් රථය ඉදිරියට පදවයි. විනාඩි 40කින් ඔවුන් රෝහලකට ළඟා විය.
ෆව්සියාගේ බාහුව තුළට කිඳා බැස ඇති පතුරම වෛද්‍යවරුනට සොයා ගැනීමට හැකි වූයේ CT ස්කෑන් පරීක්ෂණ දෙකක් සිදු කිරීමෙන් අනතුරුවය.
සතියක් පුරා නේවාසිකව ප්‍රතිකාර ගැනීමට ෆව්සියාට සිදු වුවාය. අනතුරුව නිවෙස බලා ගිය ද සම්පුර්ණ සුවය ලැබීමට තව කලක් ගත වනු ඇත.
තාලිබාන්වරුන්ට එරෙහිව විවේචන
ඇෆ්ගන් කාන්තා හඬ බොහෝ විට නොතකා හැරෙන සුළුය. එබැවින් ෆව්සියා කූෆි ගේ හඬ ඇෆ්ගන් කාන්තාවට ශක්තියක් විය.
පසුගිය වසරේ පැවැත්වෙමින් තිබූ තාලිබාන් සාම සාකච්ඡා මේසයට ෆව්සියා ද හිඳ ගත්තාය. එම සාකච්ඡා මේසයට තාලිබාන් ව්‍යාපාරය වෙනුවෙන් කාන්තාවන් ද සහභාගී කරවන මෙන් ඇය බලවත් ඉල්ලීමක් කළාය. එතැන සිටි තාලිබාන් නියෝජිතයෝ මෙම යෝජනාව හාස්‍යයට ලක් කළහ.
ඇෆ්ගන් සාම සාකච්ඡාවලදී ෆව්සියා ක්‍රියාකාරී චරිතයකි. සාම වෑයමට එරෙහි පිරිසක් තමන්ට වෙඩි ප්‍රහාරය එල්ල කළ බවට ෆව්සියා සැක කරන්නීය. එම ප්‍රහාරයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව තාලිබාන් ව්‍යාපාරය පැවසීය.
ප්‍රහාරය සිදු වූ ප්‍රදේශය තුළ තවත් සන්නද්ධ කණ්ඩායම් කිහිපයක් ක්‍රියාකාරීව සිටිති.
සිදු වූ ප්‍රහාරය හේතුවෙන් තමන් හා මව කම්පනයට පත් වී සිටින බවත් සිදු වූයේ කුමක්දැයි සිතා ගැනීමට නොහැකි තත්ත්වයකට පත් වී සිටින බවත් ශුහ්රා පැවසුවාය.
"අම්ම කලකිරීමෙන් ඉන්නේ. එයා හිතන්නේ තමන්ගේ මිනිස්සුන්ට උදව් කරද්දී ඇයි මාව මරන්න හදන්නේ කියල."
"අපි මේ මාර්ගය තෝරාගෙන හමාරයි"
ශුහ්රාගේ වැඩිමල් සොහොයුරිය, ශර්සාඩ් එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලබන්නීය. අම්මා රැක බලා ගැනීම වැඩි වශයෙන් සිදු කෙරෙන්නේ ශුහ්රා අතිනි.
"මම මගේ අම්මට හරිම සමීපයි. ඇය මගේ හොඳම මිතුරිය වගේ." ශුහ්රා පවසන්නීය.
ඇෆ්ගනිස්ථානය සාමාන්‍යයෙන් කාන්තාවන්ට පීඩාකාරී භූමියක් ලෙස සැළකේ. දේශපාලනයේ යෙදෙන කාන්තාවන්ට බොහෝ බාධකවටල මුහුණ දීමට සිදුවන බව ශුහ්රා කීවාය.
"දේශපාලනයට සම්බන්ධ වෙන්න මට හැමවිටම උවමනාවක් තිබුණා. මම අම්මගේ අඩිපාරේ යනවා. ඇය තමයි මගේ පරමාදර්ශී චරිතය." ශුහ්රා, කාබුල් නුවර පිහිටි විශ්වවිද්‍යාලයක දේශපාලන විද්‍යාව හදාරන්නීය.
"මට ඕන මේ රට ප්‍රහාරකයන්ගෙන් තොර, ත්‍රස්තවාදයෙන් තොර, අයුක්තියෙන් තොර රටක් වෙනවා දකින්න."
ඇෆ්ගන් දේශපාලනයේ ආධිපත්‍යය පුරුෂයන් සතුය. තමන්ට අනාගතයේ දී මුහුණ දීමට සිදුවන දුෂ්කරතා පිළිබඳව ශුහ්රා හොඳින් දනී. තම මව පිළිබඳව සමාජ මාධ්‍ය සහ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ පළවන නින්දාසහගත දෑ දුටු විට තවදුරටත් ඒ බව ශුහ්රාට තහවුරු විය.
"මම ඉස්සර මේ වගේ ප්‍රතිචාර ගැන කරදර වුණා. නමුත් දැන් මට පේනවා මගේ අම්ම කරන දේට සහයෝගය පළ කරන විශාල පිරිසක් ඉන්න බව."
2018 දී පැවැති ඇෆ්ගන් මහ මැතිවරණයට තරග කිරීම ෆව්සියාට සහ අයගේ නැන්දනිය වන මාරියම් ට තහනම් කෙරිණ. ඔවුන්ට එල්ල වූ චෝදනාව වූයේ නීතිවිරෝධී සන්නද්ධ කණ්ඩායමක් සමඟ සබඳතා පවත්වන බවය.
ෆාව්සියා කූෆි මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන්නීය.
දේශපාලනික සහ ශාරීරික ප්‍රහාරයන් කිසිදා නිමා නොවන බව ශුහ්රා සහ සිය සොයුරිය හොඳින් ම දනිති. නමුත් සිය මව සටන අතහැර දැමිය යුතු නැති බව දියණියන් දෙදෙනාගේම අදහසයි.
"මගේ අම්ම සෑම ගැහැණු ළමයෙකුට ම ධනාත්මක බලපෑමක් ඇති කරල තියෙනවා. ඇෆ්ගනිස්ථානයේ සාමාන්‍ය ගැහැනියකට අසාමාන්‍ය වන බොහෝ දේවල් අම්ම කරලා තියෙනවා. පිරිමින් පමණක් ආධිපත්‍යය පතුරුවාගෙන සිටින බොහෝ ක්ෂේත්‍ර වලට ඇය ඇතුළු වීම නිසා ඇගේ අඩිපාරේ ගමන් කරන්නට තවත් බොහෝ කාන්තාවන් නිර්භයව දැන් ඉදිරිපත් වෙනවා."
"අපට අවශ්‍යයි ඇය තවදුරටත් ඉදිරියට යනවා දකින්න. මොකද, ප්‍රහාරකයෝ දැනගන්න ඕන ඔවුන්ගේ ක්‍රියා වලින් ඇය නිහඬ කරවන්න බැහැ කියල." ශුහ්රා පවසන්නීය.
"අපි මේ මාර්ගය තෝරාගෙන හමාරයි. අපි දිගටම ඒ මාර්ගයේ යනවා."
(බීබීසී ලෝක සේවයේ ස්වාමිනාදන් නටරාජන් සකස් කළ වාර්තාවක් ඇසුරිණි)
කියවන්න: