ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කොරෝනා වෛරසය: ලොව පුරා මරණ සංඛ්‍යාව පන්ලක්ෂය ඉක්මවයි
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන් හොප්කින්ස් සරසවියේ (Johns Hopkins University) වාර්තා අනුව කොරෝනාවෛරස් වසංගතයට ගොදුරුව ලෝකය පුරා මරණයට පත්සමස්ත සංඛ්‍යාව පන්ලක්ෂය ඉක්මවා ඇත.
පසුගිය වසරේ අවසාන භාගයේ චීනයෙන් පැතිරයාම ආරම්භ වූ කොරෝනා වසංගතයට මුල් වූ Covid-19 වෛරසය මේ වන විටකෝටියකට අධික ජන සංඛ්‍යාවකට ආසාදනය වී ඇති බවත් ජෝන් හොප්කින්ස් සරසවිය වාර්තා කරයි.
එම ආසාදිතවීම්වලින් අඩක් පමණ වාර්තා වී තිබෙන්නේ යුරෝපා රටවලින් සහ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. වෛරසය ඇමෙරිකානු කලාපයෙහි තවමත් වේගයෙන් පැතිර යමින් පවතී.
දකුණු ආසියානු සහ අප්‍රිකානු රටවලටත් වෛරසය බලපෑම් කරමින් ඇතත්, ජුලි මාසයේ අවසානය තෙක් එම කලාප දෙකේ දරුණු තත්වයක් උද්ගත නොවනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.
Covid-19 වෛරසය ලෝකයේ බොහෝ කලාපයන්හි තවමත් පැතිරයමින් පවතින අතර පසුගිය දින හයක කාලය ඇතුළත පමණක් දස ලක්ෂයක පමණ වාර්තාගත ආසාදිතවීමක් ගැන සඳහන් විය.
ඇමෙරිකා එක්සත් ජනපද වාර්තාවන්ට අනුව කොරෝනාවෛරසය ආසාදිතව එරට මරණයට පත් ජන සංඛ්‍යාව 125,000ක් පමණ වෙයි. සිය වැසියන් විසිපන් ලක්ෂයකට (2.5 million) පමණ වෛරසය දැනට අසාදනය වී ඇතැයි එක්සත් ජනපදය පවසයි.
අද වනවිට ලෝකයේ වැඩිම කොරෝනාවෛරස හානි වාර්තා වන්නේ එක්සත් ජනපදයෙනි.
වෛරසය පැතිර යාමත් සමඟ පනවන ලද 'ලොක්ඩවුන්' තහංචි ළිහිල් කිරීමට පියවර ගත් ඇමෙරිකානු ප්‍රාන්තවල අලුත් ආසාදිත රැල්ලක් වාර්තා වෙමින් පවතී. විශේෂයෙන්ම එවැනි ප්‍රවනතාවක් දක්නට ලැබෙන්නේ එක්සත් ජනපද දකුණු ප්‍රාන්තවලිනි.
එම ව්‍යාප්තිය ටෙක්සාස්, ෆ්ලොරිඩා සහ තවත් ප්‍රාන්ත කීපයක ව්‍යාපාරික කටයුතු අතින් තහංචි යළිත් තර කෙරෙන පියවර ගැනීම සඳහා නිලධාරීන් යොමුකිරීමට හේතු විය.
මෙම වෛරසය ආසාදනය වීම් සම්බන්ධයෙන් රටවල් කීපයකින් ලැබෙන සංඛ්‍යා දත්ත මගින් පෙන්නුම් කෙරෙන තවත් කාරණයක් වන්නේ සුදු සමක් සහිත ජනයාට වඩා කළු සමක් සහ ආසියානු ජනයා කෙරෙහි වෛරසය බරපතල බලපෑමක් එල්ල කරන බවය.
වෛරසය බරපතල මට්ටමින් පැතිරයාම අතින් ඇමෙරිකා එක්සත් ජනපදය ලඟට දැනට සිටින ඊළඟ රට බ්‍රසීලයයි. ආසාදිතයන් දහතුන් ලක්ෂයක් සහ 57,000කට අධික මරණ සංඛ්‍යාවක් බ්‍රසීලයෙන් දැනට වාර්තා වී ඇත.
නව කොරෝනා ආසාදිත රැල්ලක් වාර්තා වෙමින් ඇතත්, ලබන ජූලි මස 10 වෙනිදායින් පසු පාපන්දු තරඟ ආරම්භ කරන බව 'රියෝ ඩි ජනෙයිරෝ' (Rio de Janeiro) ප්‍රාන්තය දැනටමත් ප්‍රකාශයට පත්කර ඇත. ක්‍රීඩාංගනයකට ඇතුල්කර ගනු ලබන සංඛ්‍යාවෙන් තුනෙන් එකක් පමණ පාපන්දුලෝලීන්ගේ සහභාගිත්වයෙන් ආරම්භක තරග පැවැත්වීම ඔවුන්ගේ සැලසුමයි.
කොරෝනා නව රැල්ලකට මුහුණදීමට සිදුවීමත් සමඟ චීනය පසුගිය ඉරිදා බේජිං අගනුවර අසල කලාපයට බල පැවැත්වෙන දැඩි 'ලොක්ඩවුන්' තහංචියක් ප්‍රකාශයට පත්කළේය.
ඒ අනුව 'හෙබායි' (Hebei) පළාතේ 'ඇන්ක්ෂින්' (Anxin) කලාපයට ඇතුල්වීම සහ ඉන් පිටවීම තහනම් කොට ඇත.
බටහිර යුරෝපයේ වැඩිම කොරෝනා මරණ වාර්තාවෙන රට එක්සත් රාජධානියයි. එංගලන්තයට අයත් 'ලෙස්ටර්' (Leicester) නගරයෙන් නව කොරෝනා රැල්ලක් වාර්තාවීමත් සමඟ පළමුවරට එම ප්‍රදේශයට පමණක් බල පැවැත්වෙන 'ලොක්ඩවුන්' තහංචි පැනවීමට සිදුවනු ඇතැයි බ්‍රිතාන්‍ය ආණ්ඩුව පියවර ගෙන ඇත.