ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කොරෝනා වෛරසය: කොවිඩ්-19 නිසා මියැදෙන රෝගීන්ට සමු දීමට සමීප ඥාතීන්ට අවසර
කොරෝනාවෛරසය (කොවිඩ්-19) සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ ක්‍රියාත්මක කෙරෙන නව විධිවිධාන අනුව, වෛරසය ආසාදනය වීමෙන් මියැදෙමින් සිටින රෝගීන් දැක ඔවුන්ගෙන් සමුගැනීමේ අවස්ථාව පවුලේ කිට්ටුම සාමාජිකයන්ට ලැබෙනු ඇත.
එම අවසරය ප්‍රකාශයට පත් කරන ලද්දේ බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් (Matt Hancock) විසිනි.
මහලු නිවාසවල උපස්ථායකයන්ට පෞද්ගලික ආරක්ෂණ උපකරණ සැපයීමේ (PPE) නව සංවිධාන ජාලයක් ද සෞඛ්‍ය ලේකම්වරයා විසින් දියත් කරනු ලැබ ඇත.
ඉහත කී ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත්කරන ලද්දේ, එක්සත් රාජධානියේ කොරෝනාවෛරස් මරණ සංඛ්‍යාව 13,000 කට ආසන්න වෙමින් තියදීය.
පසුගිය මාර්තු මාසයේ 23 දින ප්‍රකාශයට පත් කළ දැඩි තහංචි හේතුවෙන්, කොරෝනාවෛරස් ආසාදිත රෝගීන් ජීවිතයේ අවසන් මොහොතේ පසුවෙද්දී ඔවුන්ගේ පවුලේ ඥාතීන්ට හෝ හිතමිතුරන්ට ඔවුන්ට සමුදීමට අවසරයක් නොලැබුණි.
එහෙත් එම තහංචිය ළිහිල් කරමින් අදහස් දැක්වූ බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම්වරයා මොහොමඩ් අබ්දුල්වාහිඩ් නම් දහතුන් හැවිරිදි දරුවා පිළිබඳ විශේෂයෙන් සිහිපත් කළේය.
"නෙතට කඳුලක්"
දකුණු දිග ලන්ඩනයේ විසූ මොහොමඩ් අබ්දුල්වාහිඩ් පසුගිය මාසයේ දිනක හුදෙකලාව රෝහලක දී අවසන් හුස්ම හෙලන ලද අතර, ඔහුගේ පවුලේ සාමාජිකයන් ස්වයං-නිරෝධායනයේ පසු වූ හෙයින් ඔවුන්ට දරුවාගේ අවසන් අවස්ථාවට පවා සහභාගීවීමට නොහැකි විය.
සෞඛ්‍ය ලේකම්වරයා කියා සිටියේ එම පුවත ඇසීමෙන් තම දෙනෙතින් කඳුළු ගලාගිය බවය.
"පුද්ගලයෙක් ඔහුගේ ජීවිතයේ අන්තිම මොහොතේ පසුවෙන අවස්ථාවේ තමා ළඟ කවුරුන් හෝ සිටිනු දැකීම ඉතාම ගැඹුරු ස්වාභාවික මානව ගුණයක්" යනුවෙන් සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පැවසීය.
"එය ජීවිතයේ සදාකාලිකව සටහන් වෙන අවස්ථාවක්. ඒක මියැදෙමින් සිටින තැනැත්තාටත් සැනසීමක්!"
සෞඛ්‍ය ලේකම්වරයාගේ කරුණු දැක්වීමෙන් අනතුරුව සමාජ සත්කාරක සේවාවන්ට අදාළ බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ නව ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත් කරනු ලැබුණි.
එම නව නිර්දේශ අනුව "වැඩිහිටියන් බලාගන්නා ආයතනවලට අත්‍යවශ්‍ය නොවන අමුත්තන් පැමිණීම සීමා කළ යුතු" වෙයි.
"එහෙත් යම්කිසිවෙකු ඔහුගේ හෝ ඇයගේ ජීවිතයේ අවසන් මොහොතේ පසු වෙන්නේ නම්", ඔවුන්ගේ අමුත්තන්ට එහි ඇතුල්වීමට අවසර දිය යුතුය.
පසුගිය අප්‍රේල් 02 වෙනිදා ප්‍රකාශයට පත් කරන ලද බ්‍රිතාන්‍ය විධිවිධාන මගින් ද පවුලේ ඥාතීන්ට මියැදෙමින් සිටින තම ආදරණීය සාමාජිකයා අසල සිටීමට නීතියෙන් අනුමැතිය දී තිබුණත් බොහෝ වැඩිහිටි නිවාසවලින් ඊට අවසරයක් නොලැබුණි.
ඊට හේතු වුනේ කොරෝනාවෛරසය පැතිර යාමට එය හේතුවක් වේය යන භීතියයි. එසේම මහලු නිවාසවල උපස්ථායකයන්ට පෞද්ගලික ආරක්ෂණ උපකරණ (PPE) නොවීමත් ඊට බලපෑවේය.
රෝහල්වලත් එවැනි තත්ත්වයක් පැවැති අතර, බොහෝ රෝගීන්ට හුදෙකලාව මියයාමට සිදු වුනේ පවුලේ නෑදෑයකු හෝ හිතවතකුවත් ළඟ නොමැතිවවය.
මියැදෙමින් සිටින මොහොතේ පමණක් නොව ඔවුන්ගේ අවමඟුලට සහභාගීවීම අතින් ද තහංචි බලපවත්වෙයි.
එම විධිවිධාන අනුව කොරෝනාවෛරස් රෝගියකුගේ අවසන් ගමනට එක්විය හැක්කේ පවුලේ ඥාතීන් සීමිත දෙනෙකුට පමණක් වන අතර ඔවුන් සමාජමය දුරස්ථභාවය අනුගමනය කළ යුතුව ඇත.
කොවිඩ්-19 වෛරසය මර්දනය කෙරෙන එන්නතක් සොයා ගනු ලබන තෙක් සමාජ දුරස්ථභාවය දිගටම පවත්වා ගන්නා ලෙස විද්‍යාත්මක උපදෙස් ලැබී ඇතැයි බ්‍රිතාන්‍ය රජය පවසයි.
මහාචාර්ය නීල් ෆර්ගියුසන් (Prof Neil Ferguson) බීබීසියට අදහස් දක්වමින් "පරීක්ෂණ සහ හඳුනාගැනීම් (testing and contact-tracing) වැනි යම්කිසි ආදේශක විසඳුමකින් තොරව දැනට බල පැවැත්වෙන විධිවිධාන ළිහිල් කරනු ලැබීම එක්තරා දුෂ්කර තත්ත්වයක් උද්ගත කිරීමට හේතුවිය හැකි බව" පෙන්වා දුන්නේය.
ආණ්ඩුවේ සැලසුම් ප්‍රකාර තවත් සති තුනක 'ලොක්ඩවුන්' කිරීමක් ප්‍රකාශයට පත් කරනු ලැබීමට නියමිතය.
එවැනි ක්‍රියා මාර්ගයකට තම සහයෝගය ලැබෙන නමුත් එම දීර්ඝ කිරීම සිදු කෙරෙන්නේ කවදාද? කවර කාලයකටද ? යන්න ප්‍රකාශයට පත් කළ යුතුව ඇතැයි ප්‍රධාන විපක්ෂය වන ලේබර් පක්ෂය කියා සිටියි.
මියගිය හෙදියගේ දරුවා "සුවෙන්"
කොරෝනාවෛරසය ආසාදනය වීමෙන් මරණයට පත් බ්‍රිතාන්‍ය හෙදියක විසින් ප්‍රසූත කරන ලද බිළිඳකු යහපත් ශරීර සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙන බව මේ අතර තවත් වාර්තාවකින් පැවසෙයි.
මේරි අගයිවා අගියපොන් (Mary Agyeiwaa Agyapong) නැමති 28 හැවිරිදි හෙදිය වෛරසය ආසාදනය වීමෙන් පසුගිය ඉරිදා මරණයට පත්වූ අතර, ඇය ආසාදනයෙන් පසුවෙද්දී සාර්ථකව ප්‍රසූත කළ දරුවාට වෛරසය ආසාදනය වී නැති බව සෞඛ්‍ය බලධාරීහු පවසති.
මියගිය හෙදියගේ සැමියා දැනට ස්වයං-නිරෝධායනයේ පසුවෙයි.
සබැඳි යොමු: