ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කොරෝනා වෛරස් වසංගතය අතරේ රටවල් ගණනාවක සරම්ප පැතිරීමේ අවදානමක්
කොරෝනාවෛරස් වසංගතයේ ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමේ ඇතැම් වැඩසටහන් ප්‍රමාද කිරීමට සිදුව ඇති බැවින් සරම්ප රෝගය පැතිර යාමේ අවදානමක් පවතින බව බලධාරීහු පවසති.
රටවල් 37 ක ළමුන් මිලියන 117 කට නියමිත වේලාවට ප්‍රතිශක්තිකරණය නොලැබීමට ඉඩ ඇති බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (යුනිසෙෆ්) පවසයි.
'MMR' එන්නත ලබා දීම අවම වීමත් සමග යුරෝපය පුරා රටවල් කීපයක සරම්ප විශාල වශයෙන් පැතිර ගිය අවස්ථා තිබිණි.
සරම්ප තුරන් කළ රටක් ලෙස තිබූ එක්සත් රාජධානියේ ද මාරාන්තික විය හැකි මෙම රෝගය ආසාදනය වීමේ වැඩිවීමක් මේ වන විටත් නිරීක්ෂණය වී තිබේ.
කැස්ස, කුෂ්ට සහ උණ මෙහි රෝග ලක්ෂණ වන අතර, කම්මුල්ගාය, සරම්ප සහ රුබෙල්ලා (MMR) එන්නතෙන් මාත්‍රා දෙකක් දරුවන්ට ලබා දීමෙන් මෙම රෝගය වළක්වා ගත හැකිය.
සරම්ප වේගයෙන් බෝවන බැවින්, එන්නත් ලබා දීමේ සුළු පහළ යාමක් මගින් වුව ද බලපෑමක් ඇති විය හැක.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ දැනට සරම්ප පැතිරී යාමක් වාර්තා වී නොමැති රටවලට අවශ්‍ය නම් ප්‍රතිශක්තිකරණ එන්නත් ක්‍රියාවලිය තාවකාලිකව නවතා දැමිය හැකි බවය.
කොරෝනාවෛරස් වසංගතය හමුවේ, දැනටමත් විශාල වශයෙන් සරම්ප පැතිරී යන රටවල් ඇතුළු රටවල් 24 ක ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමේ ක්‍රියාවලිය ප්‍රමාද කිරීමට තීරණය කර තිබේ.
එම රටවල් නම්:
• බංග්ලාදේශය • බ්‍රසීලය • බොලිවියාව • කාම්බෝජය • චැඩ් • චිලී • කොලොම්බියාව • ජිබුටි • ඩොමිනිකන් ජනරජය • කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය • ඉතියෝපියාව • හොන්ඩුරාස් • කසකස්තානය • කිර්ගිස්තානය • ලෙබනනය • මාලදිවයින • මෙක්සිකෝව • නේපාලය • නයිජීරියාව • පැරගුවේ • සෝමාලියාව • දකුණු සුඩානය • යුක්රේනය • උස්බෙකිස්තානය
මීට වඩා වැඩි රටවල් ප්‍රමාණයක් බාධාවන්ට මුහුණ දෙනු ඇතැයි යුනිසෙෆ් සංවිධානය පවසයි.
"කොරෝනාවෛරසය පැතිරීම හේතුවෙන් එන්නත් ලබා දීම තාවකාලිකව නැවැත්වීම වැනි අසීරු තීරණයක් ගෙන ඇත්නම්, අප නායකයින්ගෙන් ඉල්ලා සිටින්නේ එන්නත ලබා නොදුන් දරුවන් ගැන වාර්තා ලබා ගැනීමේ උත්සාහයන් තීව්‍ර කරන ලෙසයි. එවිට නැවත ක්‍රියාවලිය ආරම්භ කිරීමට හැකි කාලයක දී වඩාත් අවදානමට ලක්විය හැකි පිරිසට සරම්ප එන්නත ඉක්මනින් ලබා දිය හැකි වෙනවා," යුනිසෙෆ් සංවිධානය පැවසීය.
"එන්නත් කිරීමේ සේවා අඩාල වීම මගින් ළමයින්ට මාරාන්තික රෝග වැළඳීමේ අවදානම වැඩි වෙනවා. මෙයින් ජාතික සෞඛ්‍ය සේවාවන්වලට වර්තමානයේ පවතින පීඩනය වැඩි වන අතර, බෝවන රෝග දෙවෙනි වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් තිබෙනවා," යැයි එහි ප්‍රකාශිකා ජොආනා රියා තවදුරටත් කියා සිටියාය.
ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිශක්තිකරණ එන්නත් ක්‍රියාවලිය ක්‍රියාත්මක ද?
"ජාතික ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඊට හේතුව කොවිඩ්-19 මීට වඩා සෞඛ්‍ය ගැටලුවක් ලෙස අපේ රටේ පවතින නිසා," යැයි මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පබා පළිහවඩන බීබීසී සිංහල සේවයට පැවසීය.
"නමුත් ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග එන්නත් ලබා දීම නැවත ක්‍රියාත්මක කිරීමට මේ වන විට වසංගත රෝග විද්‍යා අංශය කටයුතු කරමින් ඉන්නවා. මේ සතියේ දී අපි මහජන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට දැනුම් දෙනවා එන්නත් මධ්‍යස්ථාන ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ," ඇය තවදුරටත් පැවසුවාය.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා අනුව 2013 වසරේදී ශ්‍රී ලංකාවේ ද සරම්ප රෝගය ව්‍යාප්ත වී තිබිණ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත අනුව 2013 වසරේදී ශ්‍රී ලංකාව තුළ සරම්ප රෝගීන් 4079 දෙනෙකු වාර්තා වී තිබිණි.
කෙසේවෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා ක්‍රියාත්මක පුමුඛතා වැඩසටහනක් ලෙස, 2014 වසරේ සිට ශ්‍රී ලංකාව තුළ සරම්ප රෝග මර්දන වැඩසටහන ක්‍රියාත්මක විය.
2019 වසරේ දී ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වුණ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය 72 වන සමුළුවේදී සරම්ප රෝගය තුරන් කළ රටක් බවට වන සහතිකය ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවට පිරිනැමීය.
බරපතළ ආසාදන වෛරස් රෝගයක් ලෙස සැලකෙන සරම්ප රෝගය නිසා 2017 වසරේදී පමණක් 111,000ක් මියගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
මේ ගැනත් කියවන්න: