ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කොරෝනා වෛරසය: චීන නගරයක බලු-බළල් මස් තහනමක්
චීනයේ ෂෙන්ජැන් (Shenzhen) නගරය තුළ සුනඛ සහ බළල් මාංශ විකිණීම සහ පරිභෝජනය තහනම් කර තිබේ. එවැනි තහනමක් පැනවුණු පළමු චීන නගරය ලෙස මෙය වාර්තාගත වේ.
මෙය වාර්තා වන්නේ නව කොරෝනාවෛරසය පැතිර යාම හා වන සතුන්ගේ මාංශ පරිභෝජනය අතර සම්බන්ධයක් පවතින බවට සැලවීමෙන් අනතුරුව එවැනි මාංශ තහනමකට යාම සඳහා චීන බලධාරීන්ට පෙළඹවීමක් ඇතිවීම තුළය.
ෂෙන්ජැන් නගර බලධාරීහු වන සත්ව මාංශ තහනම තවත් ඉදිරියට ගෙන යමින් සුනඛ සහ බළල් මාංශ ද තහනම් ලැයිස්තුවට එක් කළහ.
මෙම තහනම ලබන මැයි මස 1වනදා පටන් ක්‍රියාත්මක වීමට නියමිතය.
ආසියාව පුරා විවිධ රටවල වසරකට සුනඛයන් මිලියන 30ක් මසට මරා දමන බව සත්ව ආරක්ෂණය වෙනුවෙන් කටයුතු කරන Humane Society International (HSI) සංවිධානය පවසයි.
කෙසේ නමුත් සුනඛ මාංශ ආහාරයට ගැනීම චීනය තුළ බහුලව සිදු නොවේ. චීන වැසියන්ගෙන් බහුතරය සුනඛ මාංශ කිසිදා ආහාරයට ගෙන නොමැති අතර ඔවුන් පවසන්නේ බලු මස් ආහාරයට ගැනීමට අකමැති බවය.
අනෙකුත් සියලුම සතුන්ට වඩා සුනඛයන් සහ බළලුන්, මිනිසුන් සමඟ වඩා සමීප සබැඳියාවක් ඇති කරගෙන තිබේ. "බල්ලන්ගේ සහ බළලුන්ගේ මෙන්ම සුරතලයට ඇති කරන අනෙකුත් සතුන්ගේ මාංශ පරිභෝජනය තහනම් කිරීම සංවර්ධිත රටවල මෙන්ම හොංකොං සහ තායිවානයේ සාමාන්‍ය දෙයක් ලෙස ක්‍රියාත්මක වේ," යනුවෙන් ෂෙන්ජැන් නගර පාලනය පැවසූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.
"මෙම තහනම මානව ශිෂ්ඨාචාරයේ නියමයන්ට සහ ජීව ගුණයට ද අනුකූල වේ," සත්ව ආරක්ෂණය වෙනුවෙන් හඬ නගන Humane Society International (HSI) සංවිධානයේ ප්‍රශංසාවට මෙම පියවර ලක් විය.
"වසරකට චීනය තුළ බල්ලන් මිලියන 10ක් සහ බළලුන් මිලියන 4ක් මරා දැමෙන මේ කුරිරු වෙළඳාම නතරකර දැමීම සඳහා මෙය හොඳම මොහොත විය හැකියි," HSI සංවිධානයේ, චීන ප්‍රතිපත්ති විශේෂඥ, වෛද්‍ය පීටර් ලී පැවසීය.
එය කෙසේ නමුත්, මේ අතරතුර කොරෝනාවෛරස ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා චීනය වලසුන්ගේ සිරුරේ ආහාර ජීර්ණ පද්ධතියෙන් ලබා ගන්නා යුෂ වර්ගයක් අනුමත කර තිබේ.
මෙය අනාදිමත් කාලයක සිට චීන සාම්ප්‍රදායික ඖෂධ සඳහා භාවිත වෙමින් තිබේ.
නමුත් මෙය නව කොරෝනාවෛරසයට එරෙහිව ක්‍රියා කරන්නේද යන්න තවමත් වෛද්‍ය විද්‍යාත්මකව ඔප්පු වී නොමැත.
මෙම ජීර්ණ අම්ලය ලබා ගැනීම වලසුන්ට ඉතා වේදනාකාරී ක්‍රියාදාමයකි.
වන සත්ව වෙළඳපොළක්
චීන බලධාරීහු වන සත්ව පරිභෝජනය සහ වෙළඳාම තහනම් කළේ පසුගිය පෙබරවාරියේදී ය.
ඔවුන් විසින් මෙම පියවර ගනු ලැබුවේ නව කොරෝනාවෛරසය ආරම්භ වූයේ වූහාන් නගරයේ පිහිටි වන සත්ව මාංශ වෙළෙඳපොළකින් බවට සැක පළ වීමෙන් අනතුරුවය.
ඉන් පසුව චීනය පුරා මෙවැනි වෙළඳපොළවල් සහ වන සත්ව ජාවාරම් නතර කිරීම සඳහා දැඩි නීති ක්‍රියාත්මක කරවීමට චීන බලධාරීහු ක්‍රියා කළහ.
මේ වනවිට ලොව පුරා මිනිසුන් මිලියනයකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවත් 47,000කට අධික පිරිසක් මරණයට පත්වී ඇති බවත් ඉතාලියේ ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය පවසයි.
චීනයෙන් පමණක් වාර්තා වූ කොරෝනා වෛරස ආසාදිතයන් ප්‍රමාණය 81,589කි. මරණයට පත්වූ පුද්ගලයන් ගණන 3,318කි. මෙම සංඛ්‍යා ලේඛන සපයනු ලැබ ඇත්තේ චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම විසිනි.
නව කොරෝනාවෛරසයේ ආරම්භක ප්‍රභවය කුමක්ද සහ එය මිනිසාට සංක්‍රමණය වුයේ කෙසේද යන්න තහවුරු කර ගැනීමට විද්‍යාඥයන්ට තවමත් හැකියාවක් ලැබී නැත.