ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සයිබීරියාව: අයිස් අතරින් මතු වූ වසර 18,000ක් පැරණි 'සුනඛ' පැටවා
සයිබීරියාවෙන් සොයා ගත් වසර 18,000ක් පැරණි සත්ත්ව සිරුර සුනඛයෙකුගේ ද නැත්නම් වෘකයෙකුගේ ද යන්න තහවුරු කර ගැනීමට පරීක්ෂකයෝ උත්සහ දරමින් සිටිති.
සුනඛ වර්ගයක් ලෙස පෙනෙන මෙම සත්ත්වයා මිය යන විට වයස දෙමසක් ලෙස හඳුනාගෙන ඇත. රුසියාවේ නිතර හිමෙන් වැසුණු ප්‍රදේශයක පස් යට ආරක්ෂා වී තිබූ සිරුරේ ලෝම බොහෝමයකට ද, නාසය මෙන් ම දත් පෙළට ද හානි සිදුව නොතිබිණි.
නමුත්, DNA පරීක්ෂණයෙන් ද නිශ්චිතව මෙම සුනඛ වර්ගය හඳුනා ගැනීමට නොහැකි වී තිබේ.
මෙම සිරුර වෘකයන් සහ වර්තමාන සුනඛයන් අතර ඇති සම්බන්ධතාව තහවුරු කළ හැකි සත්වයෙකුගේ ද විය හැකි බව විද්‍යාඥයෝ පවසති.
විකිරණශීලී කාබන් කාලනිර්ණය (Radiocarbon dating) යොදා ගැනීමෙන් මෙම පැටවා මිය යන විට වයස සහ සිරුර අයිස්වලින් මිදී තිබූ කාලය දැන ගැනීමට හැකි වී තිබේ. ජාන පරීක්ෂණයකින් පසු මෙම පැටවා පිරිමි සත්ත්වයෙකු බව හඳුනාගෙන ඇත.
සුනඛයන් මෙන් ම වෘකයන්ට ද පොදු අතීතයේ දිවි ගෙවූ සත්ත්ව වර්ගයකට මෙම පැටවා අයත් විය හැකි යැයි ස්වීඩන් පරීක්ෂණ මධ්‍යස්ථානයේ පරීක්ෂකයෙකු වන ඩේව් ස්ටැන්ටන් CNN පුවත් සේවයට පැවසුවේය.
"අපි ළඟ මේ වන විටත් බොහෝ දත්ත තිබෙනවා. ඒ තරම් දත්ත තිබෙන නිසා, මේ සත්ත්වයා මොන වර්ගයට අයත් දැයි කියන එක ඔබ බලාපොරොත්තු වෙනවා," ඔහු පැවසීය.
මේ තොරතුරු ද කියවන්න:
වෘකයෙකු හෝ සුනඛයෙකු වන මෙම පැටවා "මෙතෙක් හමුවූ පැරණිතම සුනඛයා වෙන්න පුළුවන්," යැයි 'ලව් ඩේලෙන්' (Love Dalen) නම් පරීක්ෂණ මධ්‍යස්ථානයේ පර්යේෂකයෙකු සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබිණි.
DNA පරීක්ෂණ තවදුරටත් පැවැත්වෙන අතර, එයින් සුනඛයන්ගේ පරිණාමය පිළිබඳ බොහෝ තොරතුරු අනාවරණය කර ගත හැකි බවට විද්‍යාඥයෝ අපේක්ෂා කරති.
මෙම පැටවා "ඩොගෝර්" (Dogor) ලෙස නම් කර තිබේ. යාකුත් භාෂාවෙන් එහි තේරුම 'මිතුරා' වන අතර, ඉංග්‍රීසි භාෂාවෙන් "dog or wolf?" (සුනඛයෙක් ද වෘකයෙක් ද?) යන්නෙහි මුල් කොටසේ (dog or) එකතුවෙන් මෙය නිර්මාණය කර ඇත.
නූතන සුනඛයන් වෘකයන්ගෙන් පැවත එන බවට විශ්වාසයක් පවතී. නමුත්, සුනඛයන් හීලෑ සතුන් බවට පත් වූ කාල වකවානුව පිළිබඳ මතභේද පවතී.
මින් වසර 20,000 සිට 40,000 අතර කාලයකට පෙර සුනඛයන් හීලෑ සතුන් බවට පත් වීම ආරම්භ වී ඇතැයි 2017 වර්ෂයේ නිකුත් වූ අධ්‍යයන වාර්තාවකින් යෝජනා කෙරිණි.