ඕස්ට්‍රේලියාවේ 'උණු වූ පාරවල් නිසා වාහනවලට හානි'

Published

උණු වෙමින් පවතින තාර ටයරවල දැවටීම නිසා ඕස්ට්‍රේලියාවේ මාර්ගයක රියදුරන්ට වාහන අතහැර දමා ඉවතට යෑමට සිදුව තිබේ.

ක්වීන්ස්ලන්ඩ්හි (Queensland) සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථ හිමියන් 50 දෙනෙකුට පමණ වන්දි ලබා ගත හැකි බව වාර්තාවක සඳහන් වේ.

"මම කවදාවත් මේ වගේ දෙයක් දැකලා නැහැ. ඊයේ මෙම සිද්ධිය ගැන වාර්තාව ලැබෙනකොට මම විශ්මයට පත් වුණා" යැයි නගරාධිපති ජෝ පැරොනෙල්ලා (Joe Paronella ) ABC පුවත් වෙත පැවසීය.

පසුගිය කාලය තුළ සිදුවූ කාලගුණික වෙනස් වීම් මත මාර්ගයට හානි සිදුව ඇති බව විශ්වාස කෙරේ.

ඉතා උණුසුම් දින කීපයකින් පසු වැසි සහිත සිසිල් කාලගුණයක් පැවතියද, ප්‍රදේශවාසියෙකු වන ඩෙබෝරා ස්ටේසි පැවසුවේ "විශාල ලෙස උණු වෙමින් තිබූ තාර" වාහන ටයර මත දැවටුන බවය.

"සතියක් විතර කාලගුණය ඉතා සිසිල්ව තිබුණා... නමුත් ඉර එළිය වැටුණා විතරයි පාර ඇලෙන්න ගත්තා," ඇය Courier මේල් පුවත් වෙත පැවසීය.

තාර ඇලීමෙන් වාහන කීපයක ටයර මාරු කිරීමට සිදු වූ අතර, සමහර වාහන ඇතුළත කොටස්වලටද හානි සිදුව තිබේ.

ඇතර්ටන් ටේබල්ලෑන්ඩ්ස්හි (Atherton Tablelands) පිහිටා තිබෙන එම මාර්ගය මේ වනවිට තාවකාලිකව වසා දමා ඇත.

හානි සිදුවූ වාහන සඳහා වන්දි ලබා දෙන බව ක්වීන්ස්ලන්ඩ් ප්‍රවාහන සහ ප්‍රධාන මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මේ තොරතුරුද දැනගන්න: