ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඕස්ට්‍රේලියාවේ 'මරී මෑන්': පොළොව මත ඇඳි අභිරහස් යෝධ රුව
මධ්‍යම ඔස්ට්‍රේලියාවට ඉහළින් පියාසර කරමින් සිටි හෙලිකොප්ටර් නියමුවෙකු විසින් පොළොව මත ඇඳි යෝධ මනුෂ්‍යයෙකුගේ සටහනක් දුටුවේ මීට වසර විස්සකට ඉහතදීය.
ප්‍රත්‍යන්ත තැනිතලා බිමක සටහන් කර ඇති කිලෝමීටර 4.2 උසින් යුත් රුවෙන් ඕස්ට්‍රේලියානු ආදිවාසි දඩයක්කරුවෙකු නිරූපණය කෙරෙතැයි බොහෝවිට විශ්වාස කෙරේ.
සමීපයේ ඇති 'මරී නගරයේ' නාමය අනුව හඳුන්වන 'මරී මෑන්' පොළොව මත ඇඳ ඇති විශාලතම සටහන් අතරින් එකකි.
නමුත් කවුරුන් විසින්- කුමක් සඳහා එය නිර්මාණය කරනු ලැබ ඇත්දැයි යන්න අභිරහසකි.
ඉහත කී කලා නිර්මාණයේ ආරම්භය පිළිබඳ කිසියම් තොරතුරක් ලබා දෙන්නෙකුට ඔස්ට්‍රේලියානු ඩොලර් 5,000 ක මුදල් ත්‍යාගයක් ලබා දීමට එරට වෙසෙන ව්‍යවසායකයෙක් වන ඩික් ස්මිත් පසුගිය සතියේදී ඉදිරිපත් විය.
"මෙය වසර විස්සක් පුරා රහසක්ව පැවතියේ කෙසේද?" යනුවෙන් සඳුදා ABC පුවත් සේවය වෙත අදහස් දක්වමින් ඔහු විමසා තිබිණි.
ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නගරයට උතුරින් කිලෝමීටර 700 පමණ දුරින් පිහිටි කාන්තාර ප්‍රදේශයකින් 'මාරී මෑන්' සටහන හමුවූ දින පටන් ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු විය.
පොළොවේ සිට නැරඹීමට නොහැකි තරම් විශාලත්වයකින් යුත් බැවින් සංචාරක ගුවන් ගමන් සේවා අතර එය ජනප්‍රියත්වයට පත්විණි.
ප්‍රාදේශීය මාධ්‍ය වාර්තාවලට අනුව 'මරි මෑන්' සටහනේ සම්පූර්ණ වටප්‍රමාණය කිලෝමීටර 28 කි. එහි ගැඹුර මූලික වශයෙන් සෙන්ටිමීටර 35 පමණ වේ.
ආදිවාසී පුරුෂයෙකු සිය වම් අතින් හෙල්ලයකට සමාන ආයුධයක් දරා සිටින ආකාරය සටහනෙන් නිරූපණය වන බව ප්‍රදේශවාසීන්ගේ විශ්වාසය වී තිබේ.
'මරී' නගරයේ ප්‍රකාශකයෙකු වන ෆිල් ටර්නර් කියා සිටියේ සටහන නිර්මාණය කළ පුද්ගලයා හෝ කණ්ඩායම බොහෝවිට ජීපීඑස් තාක්ෂණය භාවිත කළ වෘත්තීය මට්ටමේ පිරිසක් බව තමන්ට ඒත්තු ගැන්වී ඇති බවය.
"කවුරු වුනත් සෑම මීටර් දහයකටම වරක් උණ පැලවලින් සාදා ගත් මස් පිළිස්සීමට යොදා ගන්නා කූරකින් සටහන ලකුණු කර තිබෙනවා," යනුවෙන් ෆිල් ටර්නර් බීබීසී වෙත පැවසීය.
"සම්බන්ධීකරණයක් නැතිනම් සටහනේ වම් පාදයේ ඇඟිල්ලක හෝ ඔහුගේ උරහිස මත ද ඉන්නේ කියලා දැනගැනීමේ හැකියාවක් නැහැ, ජීපීඑස් තාක්ෂණය ගැන බැලුවොත් ඒ කාලේ එය ලාබාල අවදියේ පසුවුනේ. ඇත්තෙන්ම විශිෂ්ට කුසලතාවක්,"
ඊට එකඟ වන ඩික් ස්මිත් ඒබීසී පුවත් සේවය වෙත අදහස් දක්වමින් පවසා තිබුනේ "කිසිම අත්වැරද්දක් නැහැ. වෘත්තීය මට්ටමින් එය සිදු කර තිබෙනවා," යනුවෙනි.
එහි නිර්මාණකරුවන් පිළිබඳ මත කීපයක් පළ වී තිබේ.
1998 වසරේ ජුනි 26 වෙනිදා 'මරී මෑන්' සටහන පළමු වරට දුටු නියමු ට්‍රෙවර් රයිට් කියා සිටියේ ඔහු එය අහම්බෙන් දුටු බවකි. නමුත් 'මරී මෑන්' පිළිබඳ තොරතුරු දන්වා සිටීම සඳහා ප්‍රාදේශීය ව්‍යාපාරික ස්ථාන සහ මාධ්‍ය වෙත එවක නිර්නාමික ෆැක්ස් පණිවුඩ ලැබී තිබිණි.
ෆැක්ස් පණිවුඩයේ භාෂා විලාශය අනුව එය ඇමරිකානු ජාතික කලාකරුවෙකු විසින් නිර්මාණය කරන ලද්දක් බවට ඇතැමෙක් සැක කළහ.
තවද ඇමරිකානු ධජය සහ ඔලිම්පික් වළලු සහිත ඵලකයක් සටහන අසල තිබී සොයා ගනු ලැබ ඇත.
මේ අතර එය ප්‍රදේශයේ කලාකරුවෙකු හෝ ඔස්ට්‍රේලියානු හමුදාවේ නිර්මාණයක් විය හැකි බවට විකල්ප අදහස් දරන තවත් සමහරෙක් පවසන්නේ ඉහත කී හෝඩුවාවන් සිතාමතා නොමග යැවීම සඳහා නිර්මාණය කර ඇති බවය.
වසර ගණනාවක අවෑමෙන් 'මරී මෑන්' ගේ රුව වියැකී ගිය අතර ප්‍රදේශයේ ඉඩම් හිමි 'අරබානා' ප්‍රජාවගේ අනුමැතිය ඇතිව එය 2016 වසරේ දී ප්‍රතිස්ථාපනය කරන ලදී.