ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බිහාර් ගංවතුර සම්බන්ධයෙන් මීයන්ට චෝදනා
පන්සීයකට අධික මහජන ජීවිත විනාශ කරමින් පසුගියදා මුහුණ දීමට සිදු වූ ගංවතුර උවදුර සම්බන්ධයෙන් ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ඇමතිවරයෙක් මීයන්ට චෝදනා කරයි.
බිහාරයේ ජල සම්පත් භාර ඇමති රජිව් රන්ජන් සිය ප්‍රාන්තය ගංවතුරින් විනාශ වීමට හේතුව හැටියට දකින්නේ මීයන් විසින් ජල බාධක ඉවුරු හාරා විනාශ කරනු ලැබීමයි.
බිහාරයේ මෙවර ගංවතුරින් මරණයට පත් ජනයාට අමතරව තවත් විශාල විනාශ රැසක් වාර්තා විය.
උන්හිටිතැන් අහිමි ජන සංඛ්‍යාව එක්කෝටි විසි ලක්ෂයකටත් අධික විය.
ජලාශයන්හි ජල බාධක ඉවුරු අසල ජීවත් වෙන ජනතාව ගබඩා කර තබා ගන්නා ආහාර වලට ආකර්ෂණය වෙන මී රංචු ඉවුරු දිගට සිදුරු කරමින් මී ගුල් තනා ගන්නා බවත් එමගින් ඉවුරු දුර්වල කෙරෙන බවත් බිහාරයේ ජල සම්පත් භාර ඇමති රජිව් රන්ජන් පෙන්වා දෙයි.
එහි ප්‍රතිවිපාකයක් වශයෙන් දුර්වල ඉවුරු ඔස්සේ ජලය ගලන්නට පටන් ගන්නා බවත් ඇමතිවරයා පවසයි.
ගංවතුර උවදුර සම්බන්ධයෙන් ඇමතිවරයා මීයන්ට ඇඟිල්ල දිගු කරන අතරවාරයේ ඉන්දීය පරිසර සංවිධාන එම ප්‍රශ්නයට ආණ්ඩුව වගකිව යුතු බව කියා සිටිති.
පරිසර සංවිධාන වලට අනුව ගංවතුර උවදුරට හේතුව මනා ජලාපවහන පද්ධතියක් පිළිබඳව සැළකිල්ලක් නොදක්වමින් මහාමාර්ග සහ වෙනත් යටිතල පහසුකම් ඉදි කරනු ලැබීමයි.
පසුගිය අවුරුද්දේ බිහාරය මත්පැන් තහනමක් ප්‍රකාශයට පත් කරනු ලැබීමෙන් අනතුරුව රාජ සන්තක කරන ලද මත්පැන් ලීටර් දහස් ගණනක් අතුරුදහන් වීම සම්බන්ධයෙන් ද නිලධාරීන් චෝදනා කළේ මීයන්ටයි.
ඒවා මීයන් විසින් පානය කර ඇති බව එම නිලධාරීහු ප්‍රකාශ කළහ.
කෙසේ වුවද, මීයන් සමාජ ව්‍යවසනයක් වී ඇති බවට වාර්තා නිතරම ඉන්දියාවෙන් ලැබෙයි.
මීයන් විසින් රෝහලක් අල්ලා ගනු ලැබීම නිසා රෝගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මී පාලකයන් (Pest controllers) කැඳවීමට සිදු වූ පුවතක් ද ඒ අතර විය.
මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ 'මහාරාජා යෂ්වෙන්ත්රෝ' රෝහල මුහුණ දුන් එම මී උවදුර පාලනය කිරීමේ කටයුතු වල නිරත වූ කෘමි නාශක ආයතනයක් වන 'ලක්ෂ්මී' සමාගම ප්‍රකාශයක් කරමින් රෝහල් භූමියෙන් දහසකට අධික මී ගුල් සොයා ගත් බව කියා තිබුණි.
රෝහල් පරිශ්‍රයේ මී ගහනය ලක්ෂය ඉක්මවා තිබුණ බවත් එය එම රෝහලින් ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන්ගේ සංඛ්‍යාවට වඩා වැඩි වූ බවත් එම වාර්තා මගින් ප්‍රකාශ විය.