‘තාඩ්’ ඇමෙරිකානු මිසයිල පද්ධතිය වහා නතර කරන මෙන් චීනයෙන් බලපෑම්

Published

දකුණු කොරියාවේ ස්ථානගත කරන ලද මතභේදයට තුඩු දී ඇති 'තාඩ්'(THAAD) ඇමෙරිකානු මිසයිල් ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක කරනු ලැබීම වහාම අත්හිටුවන මෙන් චීනය ඉල්ලා සිටියි.

චීනය එම ඉල්ලීම කළේ මිසයිල වාරණ 'තාඩ්' ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක වීම ආරම්භ කෙරුණ බව ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීමෙන් අනතුරුවයි.

'තාඩ්' ව්‍යාපෘතිය සහ ඊට සම්බන්ධ බලවත් රේඩාර් පද්ධතියට එරෙහිව චීනය දිගින් දිගටම සිය විරෝධය පළ කරයි.

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් සිය අභිලාෂයන් ආරක්ෂා කර ගැනීම සඳහා පියවර ගැනීමේ දී චීනය නොසැලී ක්‍රියාකරන බව කියා සිටියේය.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, උතුරු කොරියානු නායක කිම් ජොන් අන් මුණ ගැසීමට මනාපය පළ කරනු ලැබීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා කොරියානු අර්ධද්වීපයේ න්‍යෂ්ටික ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට ඇති එකම විසඳුම් මාවත සංවාදය පමණක්ය යන්න බේජිං පාලනයේ දිගුකාලීන විශ්වාසය වන බවත් අවධාරණය කළේය.