ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
‘සෙසමි ස්ට්‍රීට්’ වැඩසටහනට ‘ඕටිසම්’ චරිතයක්
'බිග් බර්ඩ්' 'කූකි මොන්ස්ටර්' කෙඳිරිගාන 'ඔස්කාර්' යනු වසර පනහක් තිස්සේ රූපවාහිනී නරඹන්නන්ගේ ආදරය දිනූ මපට් (අත් රූකඩ) චරිතවේ.
දැන් 'සෙසමි ස්ට්‍රීට්' නම්වූ මෙම ජනප්‍රිය රූපවාහිනී ළමා වැඩසටහනේ චරිත අතරට නව චරිතයක් ඇතුළත් කර ඇත.
'ජූලියා' නම්වූ කුඩා ගැහැණු ළමයෙකුගේ චරිතය නිරුපණය කරන මපට් (අත් රූකඩ) චරිතය තැඹිලි පැහැති හිසකෙස් වලින් යුතුව කුඩා සෙල්ලම් හාවෙකු අතදරා සිටින්නීය.
'ජූලියා' නම් චරිතය දැනටමත් ඩිජිටල් සහ මුද්‍රිත ළමා කතන්දර පොත්වලට ඇතුළත් කර ඇත.
එහෙත් මෙම වැඩසටහනේ බලධාරීන් බලාපොරොත්තුවන්නේ එම චරිතය ප්‍රවර්ධනය කිරීමටය.
මෑත කාලයේදී 'ඕටිසම්' රෝගී තත්වයෙන් පෙළෙන දරුවන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් පෙන්නුම් කරන අතර සෑම ඇමරිකානු දරුවන් 68 දෙනෙකුගෙන් එක් අයෙකු එම තත්වයේ පසුවන බවට රෝග පාලනය සහ නිවාරණය සම්බන්ධ මධ්‍යස්ථාන පවසති.
එහෙත් ළමා ප්‍රේක්‍ෂකයන්ට 'ඕටිසම්' නමැති මාතෘකාව පිළිබඳව අදහස් සම්ප්‍රේෂණය කිරීම ඒක එල්ලේ කළ හැකි දෙයක් නොවේ.
" මුලින්ම ඇතිවුණු ලොකුම සංවාදය තමයි "අපි කොහොමද මේක කරන්නෙ" කියන එක. "අපි කොහොමද ඕටිසම් ගැන කතාකරන්නේ" යනුවෙන් 'සෙසමි ස්ට්‍රීට්' කතාවේ රචිකාවිය වන ක්‍රිස්ටීන් ෆෙරාරෝ CBS රූපවාහිනියට පැවසුවාය.
"ඒක ටිකක් අමාරු කාරණයක්. මොකද 'ඕටිසම්' කියන්නෙ එක දෙයක් නොවෙයි. ඕටිසම් රෝගයෙන් පෙළෙන පුද්ගලයාට අනුව ඒක වෙනස් වෙනව" යනුවෙන් ඇය අවධාරණය කළාය.
ජූලියා චරිතය දොරට වඩින කතාංගයේදී පොදු චරිත ලක්ෂණ විදහාදැක්වේ. ඇයට 'බිග් බර්ඩ්' හඳුන්වාදුන් මොහොතේ ජූලියා ඔහු නොසළකා හරින ආකාරයක් පෙන්නුම් කරයි.
ජූලියාගේ ප්‍රතිචාරයෙන් වික්ෂිප්ත භාවයට පත් 'බිග්බර්ඩ්' සිතන්නේ "ඇතැම් විට ඇය මට කැමති නැතුව ඇති" යනුවෙනි. එහෙත් අනෙකුත් මපට් චරිත පවසන්නේ "ඇය සමහර දේවල් කරන්නෙ ටිකක් වෙනස් විදියකට" යනුවෙනි.
ඉන්පසුව ළමුන් පිරිසක් 'නම් කිරීමේ' ක්‍රීඩාවක් කරද්දී ජූලියා ප්‍රබෝධයෙන් යුතුව උඩ පැනීම ආරම්භ කරයි.
එය 'ඕටිසම්' තත්වයෙන් පෙළෙන බොහෝ දරුවන් කරන දෙයක් බව ක්‍රිස්ටීන් ෆෙරාරෝ පවසන්නීය.
ජූලියා ප්‍රතික්‍ෂේප නොකර ළමුන් සියලු දෙනා එක්ව උඩ පනිමින් අලුත් සෙල්ලමක් ආරම්භ කරන්නේ ඉන් පසුවය.
ජූලියා අත් රූකඩය ක්‍රියාත්මක කරන ස්ටේසි ගෝර්ඩන් 'ඕටිසම්' තත්වයෙන් පෙළෙන දරුවකුගේ මවක් වූවාය. ජූලියා වැනි චරිතයක් නිර්මාණය කිරීම සුවිශේෂී කාරණයක් බව ඇය පැවසුවාය.
"කලින් ටී වී එකෙන් දැකපු දෙයක් හරි නිසා පන්තියේදී මගේ පුතාගෙ හැසිරීම්වලට හුරුවෙලා හිටපු එයාගෙ යාළුවෝ ඒ හැසිරීම් වලට බය වුණේ නැහැ" යනුවෙන් පැවසූ ස්ටේසි "ඒ ගොල්ලො පුතා අඬන කොට ගණන් ගත්තෙ නැහැ. ඒ ගොල්ලො දැනගෙන හිටිය නිසා පුතා සෙල්ලම් කරන්නෙ වෙනස් විදියකට කියල ප්‍රශ්නයක් වුණේ නැහැ" යනුවෙන්ද පැවසුවාය.
ජූලියාගේ චරිතය 'සෙසමි ස්ට්‍රීට්' වැඩසටහනේ ප්‍රධාන චරිතයක් බවට පත්වේදැයි තවමත් ස්ථිරවම පැවසිය නොහැකි වුවද එසේ කිරීමට කැමැත්තක් ඇති බව වසර 25ක් තිස්සේ වැඩසටහනේ තිර පිටපත් රචනයෙහි යෙදෙන ක්‍රිස්ටීන් ෆෙරාරෝ පැවසුවාය.