ඇමරිකානු ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තාන IS නායකයා මරුට ?

Published

ඇෆ්ගනිස්ථානයේ සහ පකිස්ථානයේ ඉස්ලාම් රාජ්‍ය කණ්ඩායමේ නායකයා වන හෆීස් සයීඩ් ඛාන් පසුගිය මාසයේ එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් මියයන්නට ඇති බව ඇමරිකාව විශ්වාස කරයි.

පසුගිය වසරේ ඇෆ්ගනිස්තාන ඔත්තුසේවාව පැවසුවේ නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ නන්ගර්හාර් පළාතේ සිදුකළ ගුවන් ප්‍රහාරයකින් හෆීස් සයීඩ් ඛාන් මියයන්නට ඇති බවයි.

එහෙත් තම නායකයා ජීවතුන් අතර සිටින බව ඉස්ලාම්රාජ්‍ය සංවිධානය තරයේ ප්‍රකාශ කළේය.

කෙසේවුවද, නන්ගර්හාර් හි අචින් දිස්ත්‍රික්කයේ දී ජූලි 26 වැනිදා ඔහු මරාදැමූ බව ඇමරිකාව සිකුරාදා ප්‍රකාශ කළේය.

ඇෆ්ගනිස්ථානයේ සිදුවූ වඩාත් දරුණුතම IS ප්‍රහාරය ලෙස සැලකෙන සුළු ජාතික හසාරා ප්‍රජාවට අයත් ෂියා මුස්ලිම් පුද්ගලයන් 80 දෙනෙකු මරා දැමුණු කාබුල් අගනුවර ප්‍රහාරයෙන් දින තුනකට පසුවයි අචින් දිස්ත්‍රික්කයේ ගුවන් ප්‍රහාරය එල්ල කළේ.

සුනී මුස්ලිම් සංවිධානයක් වන IS සංවිධානය විසින් ෂියා මුස්ලිම්වරුන් සලකනු ලබන්නේ මුස්ලිම් ආගමිකයන් නොවන පිරිසක් ලෙසටයි.