ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
"පුෂ්පිකා රූ රැජිනකට ගැලපෙන විදියට හැසිරිලා නැහැ"
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2021 ලෝක විවාහක රූ රැජින තරගයට සහභාගී වූ පුෂ්පිකා ද සිල්වාගේ "ශ්‍රී ලංකා විවාහක රූ රැජින" කිරුළ පෙබරවාරි 08 වැනිදා ඉවත් කෙරිණ.
ඒ, ශ්‍රී ලංකා විවාහක රූ රැජින කිරුළ හා සබැඳි ආන්දෝලනය යළි පණගන්වමිනි.
පුෂ්පිකා ද සිල්වාට කිරුළ අහිමි කරනු ලැබුණේ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ සංවිධාන කමිටුවේ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ විසිනි.
නිවේදනයක් නිකුත් කරමින් චන්දිමාල් ජයසිංහ පවසා සිටියේ තම සංවිධානයට පැවරී ඇති බලතල ප්‍රකාරව එම පියවර ගත්බව යි.
ඒ අනුව, පුෂ්පිකා ද සිල්වාට "ශ්‍රී ලංකා විවාහක රූ රැජින" යන නාමය දේශීය වශයෙන් හෝ ජාත්‍යන්තර වශයෙන් හෝ මොනයම් ආකාරයකින් භාවිතා කිරීමට නොහැකිවනු ඇති.
ශ්‍රි ලංකාව නියෝජනය කරමින් ලෝක විවාහක රූ රැජින තරගයට ඉදිරිපත් වූ පුෂ්පිකා, එම කිරුළ දරාගෙන රටේ ගරුත්වයට හානිවන අන්දමට විනය හා සදාචාරාත්මක ගුණාංගයන් උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බව චන්දිමාල් ජයසිංහ නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
ඇය සිය කමිටුවට එරෙහිව අසත්‍ය චෝදනා එල්ලකිරීම හෙළා දකින බවත්, රූ රැජිනකගෙන් බලාපෙරොත්තු වන සදාචාරාත්මක ගුණාංගයන් හා විනය ඇය උල්ලංඝනයකර ඇතැ යි පැහැදිලිව පෙනී යන බවත් එම නිවේදනයේ සඳහන් වේ.
රූ රැජිනකගෙන්, විශේෂයෙන්ම සිය රට නියෝජනය කරන්නාවූ පුද්ගලයෙකුගෙන් බලාපොරොත්තු නොවූ විරූ ක්‍රියාකලාපයක් පුෂ්පිකා ද සිල්වා දක්වා ඇතැ යි ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ සංවිධාන කමිටුවේ අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කරයි.
"විශේෂයෙන් කියන්න ඕනේ, අමෙරිකාවේ පැවැති තරගයෙන් පසු ඇය දිවයිනට පැමිණිලා අත්තනෝමතිව විවිධ ප්‍රකාශ කරමින්, ලෝක සංවිධානය සහ උප සංවිධානය අපහසුතාවයට පත්වන ආකාරයෙන් සහ තරග නීතිරීති සියල්ලක් උල්ලංඝනය වන ආකරයෙන් ක්‍රියා කළා," ඔහු පැවසිය.
"විටින් විට ඉතින් අපි ගොඩක් ඇයට දැනුම්දීම් කළා. නීතිමය කටයුතු දැනුම් දුන්නා. නමුත් ඒ කිසිම දෙයක් භාර නොගන්න සහ ඇය කිසිම දෙයක් අනුමත නොකරන බව පෙනී ගිය නිසා ලෝක සංවිධානය මට දැනුම් දුන්නා මට තියෙන බලතල අනුව ඇයගේ තනතුර ඉවත් කරන ලෙස," ජයසිංහ පවසා සිටියේ ය.
ඔහු අවධාරණය කළේ, මින් ඉදිරියට ඇයට ජාත්‍යන්තරවත්, ලංකාව තුළත්, 'මිසිස් ශ්‍රී ලංකා ෆෝ මිසිස් වර්ල්ඩ්' සන්නාමය භාවිත කළ නොහැකි බව යි.
යම් හෙයකින් මින් ඉදිරියට එම නාමය අවභාවිතා කළහොත් ඇයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද ජයසිංහ සඳහන් කළේ ය.
ඉකුත් ජනවාරි 25 වැනිදා, පුෂ්පිකා ද සිල්වා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්සත් ජනපදයේ ලාස් වේගස්හි දී පැවැති 2021 ලෝක විවාහක රූ රැජින තරගය සඳහා තරග කර අවසන් සයදෙනා අතරට පැමිණිමට සමත්වූවා ය.
එම තරගයෙන් පසු, තමාට හිමිවීමට නියමිතව තිබු ලෝක විවාහක රූ රැජින කිරුළ කුමන්ත්‍රණකාරී ලෙස තමට අහිමි කළේයැ යි ඇය සමාජ මාධ්‍ය ඔස්සේ චෝදනා එල්ලකර තිබිණි.
ඇය සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ, "මාව හැමෝටම තර්ජනයක්. පුෂ්පිකා කියන කෙනාට පුදුම බයක් තියෙනවා," යනුවෙනි.
"මම එදත් කිව්වා, අදත් කියනවා, හෙටත් කියනවා, පුෂ්පිකා කියන කෙනාව මෙතනින් වට්ටන්න හදනවා නම් මේ කාටවත් බැහැ පුෂ්පිකාව වට්ටන්න," ඇය එහිදී ප්‍රකාශ කළා ය.
"කාටහරි කෙනෙක්ට මේ ටයිටල් එක ලොකු වුණාට මට ලොකු නැහැ. මේක මගේ ජීවිතයට පන්නරයක්," පුෂ්පිකා ද සිල්වා සඳහන් කර සිටියා ය.
අන්දෝලනයට ලක්වූ ශ්‍රී ලංකා විවාහක රූ රැජින කිරුළ
පුෂ්පිකා ද සිල්වා 2021 වසරේ අප්‍රේල් මස 04 වැනි දින නෙළුම් පොකුණ රඟහලේ පැවැති තරගයෙන් ශ්‍රී ලංකා විවාහක රූ රැජින කිරුළ දිනාගත්තා ය.
එම තරගය ද දෙස් විදෙස් ආන්දෝලනයට ලක්වූ තරගයක් විය.
ඊට හේතුවූයේ, ඇය ශ්‍රි ලංකා විවාහක රූ රැජින කිරුළ පළඳා සුළු වේලාවකින් 2020 ශ්‍රී ලංකා රූ රැජින හා හිටපු ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි විසින් එම කිරුළ පුෂ්පිකාගේ හිසින් ගලවා, අනුශූරත්වය ලබාගත් තරගකාරියට පැළඳවීම නිසා හටගත් අර්බුදය යි.
එම ආන්දෝලනාත්මක සිද්ධියෙන් ස්වල්ප දිනකට පසු හිටපු ලෝක විවාහක රූ රැජින සිය කිරුළ නැවතත් භාරදෙන ලදී.