ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මෙවර ඊසාන දිග මෝසමෙන් වැඩි බලපෑම කාට ද?
මේ වන විට ඊසානදිග මෝසම ක්‍රමයෙන් දිවයින හරහා ස්ථාපිත වෙමින් පවතියි.
2021 දෙසැම්බර් සිට 2022 පෙබරවාරි දක්වා කාලය තුළ දිවයිනේ උතුරු, උතුරු මැද, නැගෙනහිර, සහ ඌව පළාත්වල සාමාන්‍යයෙන් බලාපොරොත්තුවන වර්ෂාපතනයට වඩා (දිගුකාලීන සාමාන්‍යයට වඩා) වැඩි වර්ෂාපතනයක් ඇතිවීමේ හැකියාවක් මෙවර පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම දෙපාර්තමේන්තුවට අනුව මෙවර ඊසාන දිග මෝසම් කාලසීමාව තුළ ඉහත සඳහන් පළාත්වලට දෙසැම්බර් මාසයේ දී සාමාන්‍යය හෝ එය ඉක්මවූ වර්ෂාපතනයක් අපේක්ෂා කෙරේ.
ලබන ජනවාරියේ දී ද සාමාන්‍ය වර්ෂාපතනයට වඩා වැඩි වර්ෂාපතනයක් දිවයින පුරාම අපේක්ෂා කරන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පර්යේෂණ සහ දේශගුණ විපර්යාස පිළිබඳ අධ්‍යක්ෂ අනූෂා වර්ණසූරිය සඳහන් කළා ය.
වාර්ෂික ඊසාන දිග මෝසම් කාලසීමාව තුළ මෙරට සමස්ත වර්ෂාපතනයෙන් 26%ක් ලැබෙනු ඇතැ යි ගණන් බලා ඇත.
මෙවර මෝසමට බලපෑම් කරන "ලා නිනා"
පැසිෆික් සාගරයේ පවතින උෂ්ණත්වය සමග ශ්‍රී ලංකාවේ වර්ෂාපතන රටාවට විශාල සම්බන්ධතාවක් පවතින බව අධ්‍යක්ෂ වර්ණසූරිය කියා සිටියි.
"ඒකේ අඩුවැඩිවීම් එක්ක අපේ වැස්සේ අඩුවැඩිවීම් වෙනවා. දැනට ලානිනා තත්ත්වයක් පවතිනවා පැසිෆික් සාගරයේ. පැසිෆික් සාගරයේ ඊසාන දිග ප්‍රදේශවල මුහුදේ උෂ්ණත්වය වෙනදාට වඩා අඩු යි. ඒකට කියනවා ලානිනා තත්ත්වයක් කියලා. ඒ තත්ත්වයත් එක්ක බැලුවම ජනවාරි මාසයේ වෙනදාට වඩා වැස්සේ වැඩිවීමක් බලා පොරොත්තු වෙන්න ඕනේ," ඇය පැවසුවා ය.
දිවයින ආශ්‍රිත කැළඹිලි තත්ත්වයන් වර්ධනය වුවහොත් සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැස්ස වැඩිවීමට හැකි බව ද අධ්‍යක්ෂවරිය කියයි.
දැනට පවතින තත්ත්වය අනුව ජනවාරි මාසය තුළ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ තරංගාකාර කැළඹිලි තත්ත්වයන් වර්ධනය වීමට ඇති හැකියාව නිසා දිවයිනේ වැසි තත්ත්වය තවදුරටත් ඉහළ යා හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
ලා නිනා යනු ස්පාඤ්ඤ භාෂාවෙන් "කුඩා දැරිය" යන අරුත දෙන වදනක් වන අතර, ලා නිනා තත්ත්වයන්වල දී වෙළඳ සුළං වෙනදාට වඩා ශක්තිමත්ව, උණුසුම් සාගර ජලය ආසියාව දෙසට තල්ලු කරයි (වෙළඳ සුළං යනු අතීතයේ වෙළඳ නැව් යාත්‍රා කිරීමේ දී උපකාරී වූ වේගවත්, බලගතු සුළං ප්‍රවාහයකි).
ගංවතුර හා නායයෑම් අවදානමක්?
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව මේ වන විට මෙරට ජලාශවල ධාරිතාව 63% මට්ටමේ පවතියි.
බොහෝ ජලාශ වාන් මට්ටමේ පවතින නිසා, දිවයිනේ බොහෝ ප්‍රදේශවල කෘෂිකර්මාන්තයට හිතකර තත්ත්වයක් ඇත.
ආන්තික වර්ෂාපනයක් ඇති වුවහොත් ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, අනුරාධපුර, පුත්තලම වැනි දිස්ත්‍රික්කවල ගංවතුර ඇතිවීමේ අවදානමක් පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
අවශ්‍යතාව පරිදි පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට, දැනට පවතින තත්ත්වය නිරීක්ෂණය කරමින් අදාල කටයුතු සංවිධානකර ඇති බවත් එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.
ඊසාන දිග මෝසම් සමය තුළ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයට බලපෑමක් පැවතිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ ය.
උතුරු - නැගෙනහිර ප්‍රදේශවලට දැඩි නාය අවදානමක් අපේක්ෂා නොකරන බව ද එම සංවිධානය පවසයි.
දැනට දිවයින පුරා පවුල් 15,000ක් පමණ නායයෑම් අවදානම සහිත ප්‍රදේශවල පදිංචිව සිටින අතර, බදුල්ල දිස්ත්‍රික්කයේ පමණක් පවුල් 6,000ක් පමණ නායයෑම් අවදානම් සහිත ප්‍රදේශවල වාසය කරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
වර්ෂාව පවතින අවස්ථාවල බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාව අවදානයෙන් පසුවීම වැදගත් බව එම සංවිධානය සඳහන් කළේ ය.
ඊසාන දිග මෝසම
සාමාන්‍යයෙන් ඊසාන දිග මෝසම් කාලවකවානුව අතරේ පැමිණෙන අධික ශීත උදෑසන කාලයන් කිහිපයක් හැර සාමාන්‍ය කාලගුණ තත්ත්වය ප්‍රසන්න සහ සුවදායක වේ.
ඉන්දියාවේ සිට හමන වියළි ශීත සුළඟ මඟින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල සාපේක්ෂව සිසිල් එහෙත් වියළි කාලගුණ තත්ත්වයක් ස්ථාපනය කරනු ඇත.
වළාකුළු රහිත අහස දීප්තිමත් හිරු එළිය සහිත දිවා කාලයන් ද, ප්‍රසන්න සිසිල් රාත්‍රී කාලයන් ද ඇති කරනු ඇත.
මෙම කාලසීමාව තුළ වැඩිම වර්ෂාපතන අගයන් කඳුකරයේ ඊසාන දිග බෑවුම් ප්‍රදේශවලින් ද, නකල්ස්/රන්ගල කඳුවැටියේ නැගෙනහිර බෑවුම්වලින් ද වාර්තා වේ.
මෙම කාලසීමාව තුළ ඉහළම වර්ෂාපතනය කොබෝනැල්ල වතුයායෙන් ද (මි.මී. 1281), අඩුම වර්ෂාපතනය පුත්තලම අවට බටහිර වෙරළ ප්‍රදේශයෙන් ද (මි.මී. 177ක් හලාවතින්) ද මීට පෙර වාර්තා වී ඇතැ යි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා කාලය ඊසානදිග මෝසම් සමයයි.
ශ්‍රී ලංකාව උතුරු අක්ෂාංශ 5ත් 10ත් අතර පිහිටීම නිසා දිවයිනට උණුසුම් දේශගුණයක්, මුහුදු සුළං මධ්‍යස්ථ ප්‍රමාණයක්, සහ සැලකිය යුතු තෙත් බවක් සහිත කාලගුණයක් හිමිවේ.
දිවයිනේ මධ්‍යන්‍ය උෂ්ණත්වය මධ්‍යම කඳුකරයේ නුවරඑළියේ 15.8°C (ශීත සමයේ දින කිහියක සමහර අවස්ථාවල දී තුහින පතිතවිය හැකි ය) අවම අගයක සිට, ඊසාන දිග වෙරළ තීරයේ ත්‍රිකුණාමලයේ 29°Cක ඉහළ අගයක් (උෂ්ණත්වය 37°C දක්වා ඉහළ යා හැකි ය) දක්වා පරාසයකින් යුක්ත වේ.
සමස්ථයක් වශයෙන් ගත්කල මෙසමයේ දිවයිනේ සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය 16°C - 28°Cක පරාසයකින් යුක්ත වේ.
දිවා-රාත්‍රී උෂ්ණත්ව වෙනස සෙල්සියස් අංශක 4 ත් 7 ත් අතර ප්‍රමාණයකින් වෙනස් විය හැකි ය.
ජනවාරිය සිසිල්ම මාසය බැවින්, විශේෂයෙන්ම කඳුකරයේ වැසියන්ට කබා සහ ශීත ඇඳුම් ඇඳීමට සිදුවේ.